ආගම් විකාරය

 ඡායාරූපය:

ආගම් විකාරය

කලකට ඉහතදී මිනිස්සු ගස් ගල් වන්දනාමාන කළෝය. තමන්ට ආරක්ෂාව සෙවණ, ආහාර, ලබාදෙන නිසා ඔවුහු ගස් ගල් වැඳීමට පෙලඹිනි. පසුකාලීනව එයද මිත්‍යාවන් බව වැටහී ක්‍රමයෙන් අඩුවී ගියේය. නමුත් දැනටත් ඇතමුන් ගස් ගල්වල විවිධ ස්වරුපවලට වන්දනාමාන කරනු දක්නට ලැබේ. ඔවුහු එය ආගම ලෙසද හදුන්වාගනු ලබති.  

බසයේ යන විට පාර දෙපස ඇති ඇසතු ගස් දැක හුනස්නෙන් නැගී සිටින මිනිසුන් දැක ඇත. පාර දිගටම ඇසතු ගස් සිටවා තිබුණා නම් පොදු ප්‍රවාහන සේවාවලට අසුන් අවශ්‍යය නොවේ යැයිද මාහට සිතුණ අවස්ථා එමටය.   

වසර දෙදහස් පන්සීයකට ප්‍රථම විසූ ගෞතම බුදුන්, බුදුවී ඇසතු ගස දෙස සතියක් ඇසිපිය නොහෙලා බලා සිටියා යැයි සාහිත්‍යයේ සඳහන් වේ. උන්වහන්සේ එසේ කරනු ලැබුවේ තමන්ට බුදුවීම පිනිස සෙවණ දුන් වෘක්ෂයට කෘතගුණ සැලකීමක් වශයෙන් යැයිද මා අසා ඇත. වසර දෙදහස් පන්සීයක් ගතවූ පසුත් ඇසතු ගසක් දකින දකින හැමතැනම නැගී සිට ආචාර කරන්නේ මන්දැයි මට වැටහෙන්නේ නැත.   

විවිධ සංවර්ධන ව්‍යාපෘතිවලදී ඇසතු ගසක් ඉවත් කිරීමට නොදී උද්ඝෝෂණය කිරීම ආදිය දැක ඇත්තෙමි. ඒ තරම් ඔවුන් ඇසතු ගසට සලකන හේතුව කුමක්දැයි මට වැටහෙන්නේ නැත. බුදුන් වහන්සේ එකල සෙවණ ලබාගැනීම සඳහා කොස් ගසක් තෝරාගත්තා නම් අද කොස් ගස මෙලෙස පූජනීය තත්වයට පත්වනු ඇත. එසේනම් අවම වශයෙන් කොස් ගස් ටික හෝ ඉතුරුවී කිහිප දෙනෙක්ගේ කුසගින්න හෝ නිවා දමනු ඇතියැයි මට හැඟේ.   

හොඳ වෙලාවට අටවිසි බුදුන් පිටදුන් සියලුම ගස්වලට වැඳීමට මොවුන් පෙළඹී නැත. එසේ වූවා නම් ළමයෙකුට සරුංගලයක් යවාගැනීමට වැනි කටයුත්තකට පවා උණ බටයක්වත් කපා ගැනීමට නොහැකිවනු ඇත.  

ගල්වලට වැඳීම මිත්‍යාවක් ලෙස සලකන බොහෝ දෙනා ගලින් හැඩවූ පිළිමයකට වඳින්න පෙළඹෙති. බුදු රූප, දෙවි රූප, යේයුස් රූප අඹාගෙන වඳින්නේ මන්දැයි මට වැටහෙන්නෙ නැත. බුදුන් දේශනා කළ ධර්මය අනුගමනය නොකර යේසුස් කියූ මාර්ගයේ නොයා මෙලෙස පිළිම වන්දනා මාන කිරීමෙන් ලැබෙන දේ කුමක්දැයි කියා මා හට වැටහෙන්නේ නැත. ඇතැමුන් කියන පරිදි එය හිතේ විශ්වාසයක් ඇතිකිරීම පිණිස කරනා දෙයකි. ගහකින් පිළිමයකින් හිතේ විශ්වාසය වැඩිදියුණු වන්නේ කෙසේදැයි මට වැටහෙන්නේ නැත.   

එලෙසම කුඩා කල සිට මෙම වන්දනාමාන කිරීම අනිවාර්ය දෙයක් ලෙස දරුවාට උගන්වනු ලබයි. දකින දකින පිළිමය ඉදිරිපසට ගොස් සාදු කියන්න පුතා කියමින් වන්දනා මාන කිරීම කියාදෙන වැඩිහිටියන් බහුලය. එතැන් පටන් දරුවාගෙ මනසේ තැම්පත් වන්නේ මේ මිත්‍යාවන්ය. දරුවා ලොකු මහත්වු පසුත් තමන්ගේ මනසේ තැම්පත්වූ දේ අනූව ක්‍රියාකරයි. සමාජයට එන්නේ මිත්‍යාව හිතේ තැන්පත් වූ මිනිසෙකි. තමන්ගේ උත්සාහයෙන් ක්‍රියාකරනු වෙනුවට ගස් ගල් වලින් සරණ පැතීමට ඔවුන් නිරායාසයෙන් පෙළඹෙන්නේ ඒ නිසාය.   

ජනවාරි පළමුවැනිදා ලබන විට, සිංහල අලුත් අවුරුදු දවසට කතරගම දේවාල භූමිය පිරී ඉතිරී යයි. එ තමන්ගේ වසර සාර්ථක වේවා කියා දෙවියන්ගෙන් ඉල්ලීමටය. සිමෙන්තියෙන් කරවූ පිළිමයක් තමන්ගේ වසර සාර්ථක කරන ආකාරය මට නම් සිතාගත නොහැක. තමන්ගේ වසර කෙසේ වෙතත් දේවාලේ කපු මහතාගේ වසර නම් සාර්ථක වන බව මා හොඳාකාරවම දනිමි. ඒ පූජා වට්ටිය සමග ලැබෙන මොණර කොළ ඔවුන්ට ලැබෙන නිසාය. පූජා වට්ටියෙන් ලැබෙන හඳුන්කූරු පැකට්ටුව, පොල් ගෙඩිය නැවත දේවාලයේ පසුපසින් ගෙනවිත් ඉදිරිපස ඇති කඩයට විකුණා ලැබෙන ආදායම යන්නේද කපු මහත්වරුන්ගේ සාක්කුවට නිසාය.   

ආගමික භාවිතයන් නිසා සිතට සහනයක් ලැබෙන බව ඔවුහු පවසති. එම කතාව ඇසීමෙන් ආගම යනු අබිං යැයි විටෙක කාල් මාක්ස් විසින් පැවසූ ප්‍රකාශය මගේ මතකයට නැගෙයි. අතීතයේ අබිං පාවිච්චි කරනු ලැබුවේ මත්ද්‍රව්‍යයක් වශයෙන් නොව ශල්‍යයකර්ම සිදු කිරීමේදී වේදනා නාශක ද්‍රව්‍යයක් වශයෙන් රෝගියාට දැනෙන වේදනාව අවම කිරීම සඳහාය. ආගම යන්නද එසේමය. මිනිසාට දැනෙන පීඩනය වේදනාව අවම කිරීම උදෙසා මිනිසා තෝරාගන්නා කෙටිම ක්‍රමය එයයි.   
 

මෙය හොඳාකාරවම දන්නා පාලකයෝ ආගම් නඩත්තු කිරීම පිනිස විශාල පරිශ්‍රමයක් දරති. විශාල මුදල් ප්‍රමාණයක් වෙන් කරනු ලබයි. වෙහෙර විහාර ඉදිකරමින්, පල්ලි ඉදිකරමින් ජනතාව ආගම සඳහා නැඹුරු කිරීම සඳහා පෙලඹෙයි. එවිට තමන් කුමන පීඩනයක් එල්ල කළත් ජනතාව තමන් වෙත පෙරළා පීඩනයක් එල්ල නොකරන බව ඔවුහු හොඳාකාරවම දනිති. ආගම් ඇදහීම හෝ ආගම් පවත්වාගෙන යෑමට අනුබල දීම යනු තමාගේම වල තමාගේම අතින් කපාගැනීමක් බව ජනතාවට වැටහෙන විටදී බොහෝ දේ සිදුවී හමාරය.

[සුජිත් ප්‍රියන්ත][චමල් අකලංක පොල්වත්තගේ]

මාතෘකා