ධන වාසනාව

 ඡායාරූපය:

ධන වාසනාව

මම ඊයේ ගෙදර එන විට ගුණවතී ආච්චි උදැල්ලකුත් ගෙන දාඩිය පෙරමින් වත්තේ වළක් හාරමින් සිටියාය. ඡන්දෙ ළඟ නිසා තාජුඩීන්ව හෝ ගොඩගැනීමට යනවාද කියා ආ සැකය මත කතාවට වැටුණෙමි.

"ආච්චි මොකද මේ වළවල් හාරන්නෙ..සෝමෙ අයියා එනකන් ඉන්න තිබ්බනෙ..."  

අනේ බෑ පුතේ ඌ එද්දි මහ රෑ වෙනවනෙ. රාහු කාලෙ එන්න කලින් මේක හාරගන්න ඕනෙ..  මේ ධන ලක්ස්මි වාලම්පුරියක් ගෙනාවනෙ පාළොස්දාහක් දීලා.. ඒක වළලන්න හදන්නෙ..

හෑ.. ඒ මොකටද ආච්චි ඒ..

වාසනාව එනවනෙ දරුවො..

වෙල ගාව වාසනක්ක ද..??

පිස්සුද කොලුවො උඹට.. මං මේ කියන්නෙ ධන වාසනාව ගැන..

හඳහන බලපු අමනදාස සිරිතොටවත්ත ගුරුන්නාන්සේ කිව්වා කවුරුහරි හූනියමක් කරලා කියලා. සෝමෙට අපලයි කියලත් කිව්ව.. දැන් හැම සෙනසුරාදම කාක්කො දාහතරකට ආප්ප තියන්න ඕනෙ.ආප්ප කෑවම ආයෙ උන් පලාතක එන්නෑලු.ගෙදර උලුවහු දෙකකුයි ජනෙල් තුනකුයි මාරු කරන්න හෙට බාසුන්නැහේට එන්න කිව්වා.. කොලුවට මගුලක් හරියන්නැත්තෙත් ඒකලු.

පස්සෙ හංදියෙ චීන පෙංසුයි කඩෙන් බඩ තියන පිළිමෙකුයි ගෙම්බො දෙන්නෙකුයි ගණදෙයියන්ගෙ පිළිමෙකුයි ගෙනල්ලා ගේ මැද්දෙන් තිබ්බා..ඒ කඩේ උත්තමයා ගණ දෙයියො යාලු කරලා දෙනවලු.

ඒ එන ගමන් වාලම්පුරියක් ගෙනාවා සල්ලි උනන්න වළලන්න කියලා..

පුතාටත් ඕන්නං දෙන්නං.. පාඩං කරන්න මන්තරයක් තියනව. පොත කොට්ටෙ යට තියන් නිදාගන්න තියෙන්නෙ. මං උඩහගෙදර ඒලෙවල් කරන කෙල්ලට දුන්නා.. අනේ දැන් අර නිදි මර මර පාඩං කරපු කෙල්ල යස අගේට අට නමය වෙද්දි කාලා බුදියගන්නවා.පොත කොට්ටෙ යට තියලා.විබාගෙට යන දවසෙ අර ගාල්ලෙ මන්ත්‍රීතුමා බෙදන ගණදෙවි පෑනක් අරන් ගියානං ඕකි විස්සවිජ්ජාලෙටම යන්න පාස් වෙයි.

ඔය සෝමෙගෙ බිසොනොස් එකට හරියන්න කියලා ගුරුන්නාන්සෙ ඌට බෝලයක් වගේ යන්තරයක් දුන්නා තඹ වලින් හදලා මතුරලා. ඒක මිරිකන්ට කිව්වා දවසෙම.. හොඳ රාජ්ජ නායකයොත් එහෙම කරනව කියන්නෙ.

දැන් ඔය ඔක්කෝම කරලා ඉවරවෙලා දඹදිව යන වෙලාවක පුතේ තිරුපතිත් ගොහින් බාරයක් උනානං ඔක්කෝම හරි.."

ඉතින් පුතාට කියන්න පු....

ආ හරි හරි ආච්චි මං එහෙනං යන්නං කියා එතැනින් මාරු වී ආවෙමි..

ගුණවතී ආච්චිගේ කතාව අසා  කියන මං මේ කල්පනා කළේ ලංකාවේ මේ ඡන්ද තියාගෙන කෝටි ගණන් නාස්ති කර කර ඇමතිලා පත්කරමින් කරන්නේ අපරාදයක් කියාය.

ඔය කියන පෙංසුයි මන්තරකාරයාව ඊළඟ ඡන්දෙන් ජනාධිපති කළානං ගණ දෙයියන්ගේ යාලුවා නිසා රටට කිසි ප්‍රශ්නයක් වෙන්නේම නැත.ගුණවතී ආච්චිව ජනාධිපති උපදේසක කර හැටදාහකුයි වාහනේකුයි දුන්නානං හොඳටම ඇතිය. ඕනෙමනං ලාන්ස් කෝප්‍රල් ගුණවතී ලෙස හමුදාවට දමා එහෙන් පඩිය හදාගත හැක.

ඊට පස්සේ මහබැංකුවේ ධනලක්ස්මි වාලම්පුරියක් වැළලිය යුතුය. බැඳුම්කරේ ණය අර්බුදේ උද්දමනේ බඩු මිල වගේ දැවෙන ප්‍රශ්නවලට ක්ෂිණික ජලප්‍රහාරයක් එල්ල කර ධනවාසනාව උදාකර ආර්තිකේ ගොඩදාගත හැක.

ඔය කියනා විදිහට පාර්ලිමේන්තුව හදා ඇත්තේ පෙරේත පාදයක විය යුතුය. හැමදාම රටට හෙණ ගසා, මන්ත්‍රීවරු ගහගන්නේ ඒ නිසා විය හැක. ජනෙල් උලුවහු මාරුකර ගුරුන්නාන්සේ කෙනෙක් ගෙන්වා තොයිලයක් නැටුවානං දෙසිය විසි පහක් වූ සියලු බූත දෝස තුස්නිම්භූතව යනු ඇත.   

ඊළඟට ඔය ඉස්කෝල හදන්න විස්සවිද්‍යාල හදන්න යන සියලු සල්ලි ඉතුරුකර ගත හැකි අතර ගණ දෙයියන් යාලු නිසා ළමයින්ට සිලබස් කොට්ටෙ යට තියා නිදාගෙන අර පෑන අරගෙන ඔක්ස්පර්ඩ් කේම්බ්‍රිජ් විබාග පවා ලියන්න කියා කිව හැකිය.

හොරු තක්කඩි මිනීමරුවො වඳවෙලා යන්න කියා තිරුපති ගිහින් බාරෙකුත් උනානං ඔක්කෝම හරිය.අනේ දෙයියනේ මෙච්චර ලේසි ක්‍රමයක් තියෙද්දිනෙ අපි මේ දුක් විඳින්නෙ..

අනේ ජනාධිපතිතුමනි. ඔබතුමා රැස පත්තරේ බලනවානං මේ ගැනත් පොඩ්ඩක් හිතන්න..අපි මේ කළ උදව්වට ඇමතිකම් නං ඕනෑ නැතිය.චමල් අකලංක පොල්වත්තගේ පුතාගේ ග්‍රහ අපල දුරුවේවා දීපිකා පදුකෝන්ව ලැබේවා... සුජිත් ප්‍රියන්ත දරුවා ශිෂ්‍යත්වය සමත් වේවා...!! කියා කොඩියක් එල්ලා එන්නට රාජ්ජ දූත පිරිසක් යැව්වානං ඇතිය.

[සුජිත් ප්‍රියන්ත] [චමල් අකලංක පොල්වත්තගේ]

මාතෘකා