වෙඩින් එක ගැන හිතන තරම් ජීවිතේ ගැන හිතුවොත් නරකද? | ඇස පාදන රැස


වෙඩින් එක ගැන හිතන තරම් ජීවිතේ ගැන හිතුවොත් නරකද?

 ඡායාරූපය:

වෙඩින් එක ගැන හිතන තරම් ජීවිතේ ගැන හිතුවොත් නරකද?

අද කාලේ ගෑනු ළමයෙක් සම්බන්ධයක් ඇති කර ගත්ත ගමන්ම පළවෙනියටම වෙඩින් එක සැලසුම් කරන්න පටන් ගන්නවා. අරයට දෙවෙනි මනමාලියෝ 4ක් හිටියා, ඒ නිසා මම 5 ක් ගන්නවා. මෙයා හිල්ටන් එකේගත්තේ මම එයාට දෙවෙනි වෙන්නේ ඇයි?  අහවලානේ එයාට ඇන්දුවේ. මාර ලොකුකමෙන් හිටියේ. ඒක නිසා මමත් කීය ගියත් අහවලා ගන්නවා. මේ හැම දෙයක්ම ඇයි?

තමන්ගේ ජීවිතේ සතුට ගැන අමතක කරලා වෙන මිනිස්සු එක්ක තරඟයක් හදාගෙන ඉන්න නිසා. හැබැයි වැදගත්ම දේවල් ගැන හිතන්නේ නැහැ.

සැමියා වෙන්න ඉන්න කෙනාගේ ගතිගුණ මොනවද? ඔහුගේ රුචි අරුචිකම් ඔබේ දේවල් එක්ක ගැටෙන්නේ කොහොමද? ඔහුගේ පවුල සහ එහි සාමාජිකයෝ සමග ගනුදෙනු කරන්නේ කොහොමද? විවාහ වුණාට පස්සේ මුදල් පාලනය කරන්නේ කොහොමද? අනාගත ආයෝජන මොනවද ? උපත් පාලනය කරනවද? ඔබට කිසියම්  ජානගත රෝග තිබෙනවද? මේ මොනවත් ගැන හොයන්නේ බලන්නේ නැහැ.

එකම දේ දිවා රෑ නැතුව පිස්සුවෙන් වගේ සාරියයි, මල් පොකුරයි, දෙවෙනි මනමාලිගේ ඇඳුම ගැනයි සැලසුම් ගහනවා. ලොකු මුදලක් වැයකර ගන්නවා. ඉන් පස්සේ විවාහය එක දවසින් ඉවරයි. බොහෝ දෙනෙක් වෙඩින් එකට ණය ගන්නවා. එකට ඉන්න මුල් කාලෙම දෙන්නට එළියට ගිහින් කන්න බොන්න, විනෝද ගමන් යන්න අතේ මිටේ මුදල් හිඟ වෙනවා. ඇයි ණය වාරික ගෙවන්න එපැයි. අන්තිමට ලක්ෂ ගාණක් දීල හදවපු ඇල්බම් එක එන්නත් කලින් දෙන්නා නයි මුගටි වගේ ගහ මරා ගන්නවා. දික්කසාද වෙන්න උසාවි යනවා.

ඔබ අදම හිතන්න. වෙඩින් එක ජීවිතේ එකම එක  දවසක් විතරයි. හැබැයි විවාහ ජීවිතේ කියන්නේ ජීවිතේ තරම්ම දිගු ගමනක්. එහි යන්න පෙර ඔබ කායිකව, මානසිකව, අධ්‍යාත්මිකව සන්නද්ධ වෙන්න ඕනේ. එකිනකා ගේ ගුණ දොස් වටහා ගන්න ඕනේ. වෙඩින් එකක් නොගත්ත කියල හරි, චාමෙට ගත්තා කියල හරි විවාහය අසාර්ථක වෙන්නේ නැහැ.  ඕනෙවට වඩා වෙඩින් එක ගැන විතරක් හිතල වැඩ කරද්දී, විවාහ ජීවිතේ සතුට කියන වැදගත් කාරණේ ඔබෙන් ගිලිහෙන්න දෙන්න එපා.වෙඩින් එක අනුන්ව සතුටු කරාට ඔබව සතුටු කරන්නේ විවාහ ජීවිතේ සාර්ථකත්වය විසින් කියල අමතක කරන්න එපා.

[රෙශිකා දිසානායක ගොඩකන්ද]

මාතෘකා