තරුණකම “බෝ” කරමු

 ඡායාරූපය:

තරුණකම “බෝ” කරමු

වර්තමාන භාවිතය තුළ දේශපාලකයා යනු හොරෙකු, වංචාකාරයෙක් මිනීමරුවෙක් ස්ත්‍රි  දූෂකයෙක් හෝ කොමිස්කරුවෙකු විය හැක.     දේශපාලන  සංස්කෘතිය යනු මඩ ගසාගන්නා, ගහ මරා ගන්නා, ජනතා දේපල තමන්ගේ යැයි සිතනා,  කොම්ස් කුට්ටි මත තීරණ ගනු ලබනා, බලය පවතින පැත්තට පක්‍ෂ මාරු කරනු ලබන,  අධ්‍යාපනයක් බුද්ධියක් නොමැති, ආරක්‍ෂකයින් පිරිවරාගෙන රජයේ දේපල  අවභාවිතාවන අපකිර්තිමත්ම වෘත්තියක් වේ. පාසල්වල ඉගෙන ගන්නා දේශපාලකයින්ගේ  දරුවන් තම පියා දේශපාලකයෙකු බව නොකියන තරමට දේශපාලනය පිරිහී තිබේ. මෙකී  අවාසනාවන්ත පරිසරය තුළ නිදහස ලැබීම අභාග්‍යයක් ලෙස ජනතාවගේ මතය වී තිබේ.  සුද්දන් තවත් කලක් රට පාලනය කළා නම් රට සෑම අංශයකින්ම සංවර්ධනය වී ඇති බවත්  මෙතරම් ණය කන්දරාවක් ගෙවීමට සිදු නොවන බවත් වර්තමාන පරම්පරාවේ මතයයි.

දේශපාලනයට නොගැළපෙන පහත් ආත්මාර්ථකාමී පිරිසක් රටේ පාලනය බලය හසුරුවන  බව මෙන්ම සැලසුමක් නැති සංවර්ධන ව්‍යාපෘති, මහා පරිමාණ වංචාව, දූෂණය,  නාස්තිය සහ කෙටි කාලීන දේශපාලන ව්‍යාපෘති මෙන්ම, ප්‍රතිපත්තිමය දේශපාලනයක්  සිදු නොවීම නිසාත් රට මෙවැනි නැවත හිස එසවිය නොහැකි ආගාධයකට පත්වී ඇති බව  ජනතාවගේ මතයයි. දේශපාලන වේදිකාවේදී ආශ්චර්යමත් වචන වලින් ජනතාව  මුලා කළ ද මූලික අවශ්‍යතාවන් ඉටුකරගත නොහැකි අති බහුතර ජනතාවක් ජීවත් වීම  පිළිබඳව දේශපාලකයන් වගකිව යුතුය. පාර්ලිමේන්තුවේ සිටින සෑම නියොජිතයෙක්ම  වගකිව යුතුය. වසර 70ක් නිදහසින් පසුව පාලනය කළ දේශපාලන පක්‍ෂ වගකිව යුතුය. අහිංසක  දුප්පත් ජනතාව දරුවන් සමඟින් ආහාර, නිවාස, සෞඛ්‍ය පහසුකම්, ජලය,  විදුලියවත් නොමැතිව අධ්‍යාපනයට මුදල් නොමැතිව ජීවත් වෙද්දී ජාතික ධනයෙන්  ආහාර, ආරක්‍ෂාව, සෞඛ්‍ය, මන්දිර, සැප වාහන, රක්‍ෂණ ලබා ගනිමින් සැප විදින  දේශපාලන නායකයින් ලජ්ජා විය යුතුය.

රැකියා, අනාගත දේශපාලන නායකත්වය වැනි බලාපොරොත්තු ලබා දී ස්වකීය මැතිවරණවලට තරුණ පෙරමුණ හරහා අහිංසක තරුණයන් යොදා ගන්නා පරිණත දේශපාලකයන් ස්වකීය දරුවන් විදේශ රටවල උසස් අධ්‍යාපන යොමු කරති. ඊළඟ පළාත් සභා මැතිවරණ වලදී සාමාන්‍ය තරුණයන් ඉවත් කර විදේශ රටවල අධ්‍යාපනය ලැබූ තම දරුවන් අපේක්‍ෂකයින් ලෙස මැතිවරණයට යොදා ගනිති.

තරුණ පෙරමුණ හරහා රැකියා බලාපොරොත්තු වූ තරුණ තරුණියන්ට වඩා තම  පන්තියේ පාසලේ හිතවතුන්ට සල්ලිකාර පවුල් අතර ඉහළ රැකියා බෙදා, අධ්‍යාපනය නිම කළද ඉහළ රැකියා බලාපොරොත්තුවෙන් දේශපාලකයින්ගේ සංවිධාන කටයුතු වල නිරත වූ තරුණ තරුණියන්ට අවසානයේ කම්කරු රැකියාවක නිරත වීමට සිදු වී තිබේ.

මෙවන් දේශපාලන සංස්කෘතියක් තුළ  ගමේ සංවර්ධනයක් රටේ සංවර්ධනයක් කිසිදා  බලාපොරොත්තු විය නොහැක. විනයක් සදාචාරයක් බුද්ධියක් නොමැති නායකයින්ගෙන්  සංවේදී බවක් බලාපොරොත්තු විය නොහැකිය. එබැවින් එක් පක්‍ෂයක් වෙනුවට අනෙක්  පක්‍ෂය මාරු කර වැඩක් නැත.

රටට නොගැළපෙන ජනතාවට ආදරය නැති දේශපාලකයින් ඉවත් කර දේශපාලනය වෘත්තීමය මට්ටමින් සිදු කළ හැකි දියුණු රටවල දේශපාලනය සිදු කළ හැකි උගත් තරුණ නිර්මාණශීලී ගමට රටට ආදරය කළ හැකි අභියෝග මැදින් ඉදිරියට පැමිණෙන අවංක නායකයින් පත්වන තුරු බලා නොසිට ඉදිරියට ඇදගෙන එ්මට ජනතාව කටයුතු කළ යුතු දිනය උදාවී ඇත.

වසර 70ක් ආපස්සට ඇදගෙන ගිය රට ඉදිරියට රැගෙන යා හැකි නායකයින් ජාතික තලයට ගෙන ඒමට මෙවර මැතිවරණයේ දී ගමේ සුදුසුම තරුණ අපේක්‍ෂකයින් ජයග්‍රහණය කරවිය යුතුය. පක්‍ෂ පාට වැඩක්ම නැත. වැදගත් වනුයේ අලූත්ම පිරිසකට වෘත්තීමය දේශපාලන සංස්කෘතියක් ඇති කිරීමට මඟ හෙළි පෙහෙළි කිරීම නොවේද?

රටේ දේශපාලන බලය තම පරම්පරාවේ බූදලයක්, රටේ සම්පත් තමන්ගේ බූදලයක් යැයි සිතා කටයුතු කරන දේශපාලනයේ පැවැත්මට තිත තබා මුළු රටම ණයකර ලැබෙන මුදලින් බිලියන ගණන් කොමිස් ගසන, වංචා කරන නායකයින් පත්වන තුරු බලා නොසිට ඉදිරියට ඇදගෙන එ්මට ජනතාව කටයුතු කළයුතු දිනය උදාවී ඇත.

පසුගිය ප්‍රාදේශීය සභා පාලන අවධියේ දී දේශපාලන බලය අසහාය ලෙස යොදා ගනිමින් ජනතාවගේ අයිතිය නිදහස සතුටු මෙන්ම ජීවිත අහිමි කරමින් කොන්ත්‍රාත් සිදු කරමින් මුදල් අයතා ලෙස සිදු කරමින් ගමේ දේශපාලනය ජනතාවට තිත්ත කරවූ දේශපාලකයන් ජයග්‍රහණය නොකරවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිමු.

සෑම ගමකම රාජ්‍ය නිලධාරීන් රාශියක් පූර්ණ කාලීනව කටයුතු කරන බැවින් ප්‍රාදේශීය සභාව හරහා ගමට තෝරා පත්කර ගත යුත්තේ තවත් නිලධාරියකු හෝ බලපුලුවන්කාරයකු නොව ගමේ මානව හා භෞතික සම්පත් සම්බන්ධීකරණය කරමින් මහජනතාවට පහසුකරණය සපයන ප්‍රජා නායකයෙකි. ඔබේ දරුවන්ගේ පාසලේ ජාතික කොඩිය ඔසවන්නට  දරුවන්ට කුසලතා ලබාදීමට පොත් බෙදා දීමට විහාරස්ථානයේ කොත නිරාවරණය කිරීමට මිනීමරුවකු හොරකු ස්ත්‍රී දූෂණකයකු අතින් සිදුවනවාට ඔබ අකමැති නම් ඔබ කළ යුත්තේ ඔබේ ගමේ අනාගතය ගමෙන් ඉල්ලන වටිනාම පුද්ගලයාට ලබාදීම නොවේද?

ඉතිං මේ මැතිවරණයේදී අපි තරුණකම බෝ කරමු .

[අරුණ කුමාර] [Vote for Youth]

මාතෘකා