සුරාංගනීට පෙම් බැඳි මනෝහරන්

 ඡායාරූපය:

සුරාංගනීට පෙම් බැඳි මනෝහරන්

ඒ එක්සත් එමීරයට පා තැබූ මුල් දින කීපයයි. සති අන්තයේ ඇතැම් දිනක සුපුරුදු රිද්මයක්, නුහුරු උච්චාරණයකින් ගැයෙනු ඇසෙයි. ‘සිංහල කුණුහරපයක්’ හෝ ඇසීම හිත ⁣කුල්මත් කරවන එදවස "අපේ සිංදුවක්" ඇසීමම කොතරම් සතුටක්ද?

ගීතය අපේ "සුරාංගනී-සුරාංගනී" ය.

නමුත් ගයන්නේ අල්ලපු රටේ දෙමළුන්ය.

"අපි" ගෙඩි පිටින් කොපි කර ඇති බැවින් කෙතරම් කැමැති වුණත් ජෝතිපාලගේ සින්දුවක්වත් සද්දෙට නාසන අපිට මේ නම් වෙනම විෙනා්දයක්මය.

"මානුෂික මෙහයුමේ" අවසානය දකින ඒ දිනවල ඔවුන්ට අපත්, අපට ඔවුනුත් නයි සහ මුගටිය. මුහුණට හිනාවුනත් හිත යට ගිණි පුපුරුය. 2009 මැයි සති අන්තයක "උන්ට" රිද්දන්න අපි හොඳ හැටි බිව්වාද මතකය. ( එදවස් මතකයට නැගෙද්දි පොළව හාරාගෙන වැළලෙන තරම් ලැජ්ජාවක් දැනේ )

අතරතුර දිනක මම "අන්නා"ට හොද තුරුම්පුවකින් දීලා ඇද්දෙමිය.. චෙන්නායිවල ඔයාලා කොහොමද අපේ සිංදුවක් හොඳට කියන්නේ??

පිළිතුරු ලැබෙන්නේ මා විලියෙන් රතු කරවන මහා සිනාවක් මැදිනි.

"සුරංගනී" අපි අඩියක් ගැහුවම අනිවාර්යෙන් කියන සිංදුව. ඉස්කෝලේ ට්‍රිප් එකක් යද්දි වුනත් ඒක අපේ කැමතිම එකක්. අනික වචන සිංගලම් වුනාට සිංදුව කියන්නේ ටැමීලියන් කෙනෙක්. එයා දැන් ඉන්නෙත් චෙන්නායිවල.

“අපේ සිංදුවක්" - "ඉන්දියන් දෙමළෙක්" මේ මොන ⁣විකාරයක්ද?  එතකොට සුරංගනී "අපේ" නෙවෙයිද?

ඒ.ඊ.මනෝහරන් - "දෙමළ බයිලා චක්‍රවර්තී" ගැන මා දැන ගන්නේ එදිනය. ලංකාවේ ඉපැදුණ "මනෝහරන්" ගැන මට කියාදෙන්නේ අන්නාය. ඔව්" සිලෝන් මනෝහර්" මට නන්නාඳුනන දේශයකදි සතුරු සිතින් සිටි "අපේ එකෙක්" මිතුරු කර දෙන්නේය.

ගායකයෙක් ලෙසින් හැඳිනගත්තද මනෝහරන් නළුවෙක්ද විය. ඔහු සිය රංග කුසලතාවයෙන් රිදී තිරය ජය ගන්නේය. යාපනයෙන් නිර්මාණය වන පළමු දෙමළ චිත්‍රපටිය වන ජෝ දේවානන්ද් ගේ " පාස නිලා" හී වීරයාගේ චරිතයට පණ පොවන මනෝහරන් මනෝහරන් භාෂා පහකින් චිත්‍රපටි දෙසිය පනහකටත් එහා තම රංග කුසලතාවයෙන් ආලෝකමත් කරන්නේය. ෂිවාජි ගනේෂන්, රැජිනිකාන්ත්, කමල් හසන් ඇතුළු දකුණු ඉන්දීය යෝධ තාරකාවන් සමග හරි හරියට පෑහෙන්නේය. කලක් ගුවන් විදුලි සංස්ථාවේ නිෂ්පාදකවරයෙක් ලෙසද සේවය කල මනෝහරන්,1977 දී "වාදි කාට්රු"චිත්‍රපටියේ චරිත නිරූපණය වෙනුවෙන් ජනාධිපති සම්මානයෙන්ද පුද ලබන්නේය.

සිංහලත් - දෙමළත් අතර සදාතනික "සුරඟනමය" පාළමක් තැනවූ මනෝහරන් පසුගිය දිනක චෙන්නායි වාතලයට තම අවසන් හුස්ම මුසු කරන්නේය.මව්බිමෙන් ඈත්ව සිටි නමුත් මවුබිමේ නමට කීර්තියක් ගෙන ආ "සිලෝන් මනෝහර්" ඔබට සුබ ගමන්.

 [වරුණ හේරත්]

මාතෘකා