සම තැනද නිසි තැනද

 ඡායාරූපය:

සම තැනද නිසි තැනද

මෑතකදි ඉතාමත් තදින්ම කතා බහට ලක්වෙච්ච කාරණයක් තමයි කාන්තාවන්ට හිමිවිය යුත්තේ සම තැනද නිසි තැනද කියන එක. හුඟක් කාන්තාවන් පවා කියා සිටියේ තමාට හිමිවිය යුත්තේ නිසි තැන මිසක සම තැන නොවන වගයි. මේ කතාව ඇසුණු විට මට ඔවුන්ගෙන් ඇසීමට සිත්වන කාරනා කිහිපයක් ඇත.

යුද සමයේ හා පශ්චාත් යුද සමයේ අතුරුදහන් වූ සංඛ්‍යාව හැට දහසකට ආසන්නය. ඉන් බහුතරයක් පිරිමින් වේ. ඒ අතුරුදහන් වූ පිරිමින්ගේ බිරින්දෑවරුන්ට නිසි තැන කනවැන්දුම් භාවයද ?.. ඒ අතුරුදහන් වූවන්ගේ මවුවරුන්ට හිමි නිසිතැන දරු දුක වෙනුවෙන් හඬා වැලපීමද ?

පසුගිය රජය සමයේ මරාදැමූ ලසන්ත වික්‍රමතුංග නම් වූ මාධ්‍යවේදියාගේ බිරිඳට හිමි නිසි තැන නම් කන්වැන්දුම් භාවයද..

පසුගිය රජය සමයේ අතුරුදහන් කරවූ ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ තම සැමියාගේ අතුරුදහන් කරවීමට සම්බන්ද වූවන්ට දඬුවම් කරන මෙන් ඉල්ලා කන්නලවු කරමින් මහපාරේ හඬා වැලපෙනු කවුරුත් දැක ඇත. සියලු සාක්ෂි තිබියදී නීතිය ඉටු නොකර තිබෙන්නේ ඇයට හිමි නිසි තැන මහපාර නිසාද?

රතුපස්වල වෙඩි තබා මරා දැමූ දරුවාගේ මවට හිමි නිසි තැන දරු දුකද?

කටුනායක රොශේන් ගේ මවට හිමි නිසි තැන දරු දුකද? මීගමුවෙ ඇන්තනී ගේ බිරිඳට හිමි නිසිතැන කනවැන්දුම්භාවයද?

සුදුවෑන්වලින් අතුරුදහන් කරවූවන්ගේ බිරින්දෑවරුන්ට හිමි නිසි තැන කනවැන්දුම් භාවයද ? වැලිකඩදී පෝලිම් ගස්සවා මරාදැමූ සිරකරුවන්ගේ බිරින්දෑවරුන්ට හිමි නිසි තැන කනවැන්දුම් භාවයද?

වැරදි කරුවන් කවුද අපරාද කරුවන් කවුද යන්න සාක්ශි සහිතව ඔප්පු වී තිබියදී දඬුවම් නොදී ඉන්නේ හිංසනයට පීඩාවට පත්වූවන්ගේ පවුල්වලට  හිමි නිසි තැන ලැබී ඇතියැයි පාලකයන් සිතන නිසාද?

කාන්තාවන්ට හිමිවිය යුත්තේ නිසි තැන කියන කාන්තාවන්ගෙන්ම මා යමක් ඇසීමට කැමතිය. මෙම අතුරුදහන් වීමකට හෝ මරාදැමීමකට ඔබ සැමියා, දරුවා ගොදුරුවුවහොත් ඔබට හිමි නිසි තැන කනවැන්දුම්භාවය හෝ දරුදුක වෙනුවෙන් හඬා වැලපීම යැයි ඔබ පිළිගැනීමට කැමතිද?

දහස් ගණනක් කාන්තාවෝ අරාබිකරයේ ගෘහ සේවයේ නියතු වී සිටිති. ඇතැම් කාන්තාවන් එහිදී විවිද අතවර වලට ගොදුරු වෙනවා ඔබද මා ද අසා ඇත. එම අතවරවලට ගොදුරුවීම හා ඔවුන් ගෘහ සේවයේ යෙදීම ඔවුන්ට හිමි නිසි තැන යැයි ඔබ සිතනවාද?

උපාධිධාරීන්ගෙන් 65%-70%අතර ප්‍රමාණයක් සිටින්නේ කාන්තාවන්ය. එක උපාධිධාරියකුට ලක්ෂ පහළොවකට වඩා වැඩි බදු මුදල් ප්‍රමාණයක් වියදම් කරමින් උපාධි ලබා දී නිවෙස්වලට වී කුස්සියේ බත් තම්බමින් සිටින්නේ තමාට හිමි නිසි තැන කුස්සිය යැයි සිතන පසුගාමී මානසිකත්වය නිසා ද?

මේ මානසිකත්වය ඇතිකිරීම රටක ආර්ථිකයට කෙතරම් හානිකරද?

කාන්තා නිදහස සම්බන්ධයෙන් ඉතාම පසුගාමී තැනක පසු වූ කාන්තාවන්ට ඉතා තදබල ලෙස නීති රීති පනවා තිබූ සෞදි අරාබිය පවා මෑතකදී තම නීති රීති ලිහිල් කරමින් කාන්තාවන්ට රියපැදවීමේ අයිතිය, ක්‍රීඩා කිරීමේ අයිතිය වැනි අයිතීන් ලබාදීම මගින් ලෝකයා සමග එකතුවීමට මාන බලන කාලයක, තම රටේ ආර්ථිකය ශක්තිමත් කරගැනීමට අවස්ථා සොයන කාලයක ඔවුන්ට වඩා වසර ගණනාවකට කලින් එම අයිතීන් ලබාදුන් රටේ, ලොව ප්‍රථම අගමැතිනිය බිහිවූ රටේ කාන්තාවන් තමන්ට හිමි සීමාවන්ට වැට බඳින විට නිහඬව සිටින්නේ ඇයි දැයි කියන කාරණය මා හට වැටහෙන්නේ නැත..

අවසාන වශයෙන් එක කාරණයක් පමණක් පැවසීමට කැමැත්තෙමි. නීතිය යනු ජාතිය පදනම් කරගෙන හෝ ආගම පදනම් කරගෙන හෝ ලිංගිකත්වය පදනම් කරගෙන හෝ බලය පදනම් කරගෙන එකිනෙකාට වෙනස් විය යුතු කාරණයක් නොවේ. නීතිය යනු කාටත් සමාන වියයුතු දෙයකි. කාන්තාවට නීතිය ඉදිරියේ හෝ සමාජය තුළ හිමිවිය යුත්තේ සම තැන මිසක නිසි තැන නොවේ. මන්ද යත් නිසි තැන මෙතන කියා සීමා සලකුණු කිරීමට කිසිවෙකුට නොහැකි නිසාවෙනි. නිසි තැන එකිනෙකාට සාපේක්ෂ නිසාවෙනි.

[චමල් අකලංක පොල්වත්තගේ] [සුජිත් ප්‍රියන්ත]

මාතෘකා