ඉතිහාසෙ ගැන ආඩම්බරද පද්මාවතී?

 ඡායාරූපය:

ඉතිහාසෙ ගැන ආඩම්බරද පද්මාවතී?

දීපිකා පදුකෝන්, රන්වීර් සිං, ෂාහිඩ් කපූර් රංගනයෙහි යෙදෙන පද්මාවතී චිත්‍රපටය හරහා හින්දු ඉතිහාසෙට අපහාස වුණා කියලා ඉන්දියාවේ පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂයේ, හර්යානා ප්‍රාන්තය නියෝජනය කරන හින්දු ජාතිකවාදී නායක සුරාජ් පාල් අමූ ඇතුළු ජාතිවාදීන්, දීපිකා පදුකෝන්ගෙයි පද්මාවතී චිත්‍රපටයේ අධ්‍යක්ෂක සංජය ලීලා බන්සාලිගෙයි හිස්වලට ඉන්දියානු රු.කෝටි 100ක මිලක් නියම කළානෙ මේ ළඟදි. ඔය නඩු සිද්ධි තාමත් ඒව මේව වෙවී තියනවා. සමහර ප්‍රාන්ත තහනම් කරනවා උසාවියෙන් අයින් කරනවා ඒවා මේවා ප්‍රශ්න.   

මම මේ කියන්න හදන්නෙ ඒක ගැන නෙමෙයි..  

ඕක අහලා ලංකාවෙ අයියලා අක්කලා ඉකේයියා ඉන්දියන් බයියො වගේ කියලා හිනා වුණාට ඒ හිනාවෙන ගොඩක් අයත් එහෙමම තමයි..  

ඉතිහාසෙ කියන්නෙ කරේ තියාගෙන පම්පෝරි ගහන්න මෙව්ව එකක්ද? නෑනෙ. එහෙම නෙමෙයි. ඒ ඒ කාලවල මිනිස්සු කරපු දේවල්. එච්චරයි.. ඉතින් ඒවා අපිට කිසිම අදාළත්වයක් නෑ..  

ඒවා ලස්සනයි.. විඳින්න.. දැනුම ආදර්ශ ගන්න..   

පහුර එගොඩ වෙන්න විතරක් පාවිච්චි කරන්න..  

අනිත් එක අපේ එක ලොකුයි කියල පම්පෝරි ගැහුවට අපිට වැඩිය ලොකු ඒවා මේ ලෝකෙ ඕන තරමක් තියනවා.. ඒ වගේම රජ කාලෙ ඉතිහාස කොහොමත් ආඩම්බර වෙන්න දෙයක් නෑ.. රජවරු ඉතිහාස හැදුවෙ කඩුවෙන්, ලේ වලින්..  

රටේ කුඹුරු කොට කොට ජීවත් වෙන අහිංසක මිනිස්සුන්ව ඕන ඕන වෙලාවට මරලා දාපු. දකින ඕනම ගෑනු ළමයෙක්ව තමන්ගෙ අන්තඃපුරේට උස්සගෙන ගියපු රජතුමාල හදපු ඉතිහාසෙ ගැන ආඩම්බර වෙන්න නං කොහොමත් මට බෑ..   

කොච්චර නෑ කිව්වත් ඒක එහෙමම තමයි.  

ඉතිහාසෙ කියන්නෙ ප්‍රබන්ධයක්. පුරාවිද්‍යාත්මක සාක්ෂි වලට බෑ ඇත්ත ඉතිහාසෙ සම්පූර්ණයෙන් ගොඩනගන්න. මොකද ඉතිහාසෙ ලියන්නෙ ජයග්‍රාහකයා හින්දා.. පරාජිතයො මිලියන ගාණකගෙ ලේ කඳුළු එක්ක ගොඩනගපු ඉතිහාසෙකට ආඩම්බරයි කියන්න බෑ මට. රදල පවුලක දරුවෙක්ව වංගෙඩියෙ දාලා කොටපු එකේ අනිත් පොඩි මිනිස්සුන්ගෙ දුක ගැන අමුතුවෙන් කියවන්න දෙයක් නෑ කොහොමත්..  

ඒ වගේම තමන්ටම කියලා ආඩම්බර වෙන්න දෙයක් නැති අය තමයි තමන්ට අවුරුදු දාහකට විතර කලින් හිටපු අය හදපු ආගමක් ජාතියක් ඉතිහාසයක් හරි ගමක් හරි අල්ලගෙන දඟලන්නෙ..  

ඔය ඉතිහාසෙ ගැන ආඩම්බර වීම ගැන මගේ මතය ඇහුවොත්..  

දවසක් ආචාර්ය සුරේන් රාඝවන් මට මෙහෙම කියනව අපි ඉතිහාසෙ ගැන කරපු සාකච්ඡාවකදි.. චමල් මේ ලෝකෙ හැම සංස්කෘතියකටම මම කැමතියි.. ඒ හැම එකක්ම මගේ..  

මගේ මතයත් ඕකම තමයි..  

ලොකුයි කියලා උත්කර්ෂයට නගන්න දෙයක් නෑ.. හැම එකක්ම එක වගේ වටිනාකම් තියන සංස්කෘති.. ඉතිහාස. ඉතින් ඒවා එකක්වත් අපිට අයිති නෑ.. ඒ වගේම ඒ හැම එකක්ම අපේ..   

එකක් උත්කර්ෂයට නගන තැනම තමයි ගැටුම ඇතිවෙන්නෙ.  

ඉතින් ඒ හැම එකම මගේ වුණාම මට කවුරු එක්කවත් ගැටුමක් නෑ.  

ඉතිහාසෙ අධ්‍යනය කරන්න ඕනෙ අනිවාර්‍යයෙන්   ඉතිහාසෙන් පාඩම් ඉගෙනගන්න ඕනෙ.  

හැබැයි ඒකෙ එල්ලිලා ඒක වෙනුවෙන් මරාගන්නව කියන්නෙම ඔබෙයි අර දීපිකාගෙ බෙල්ල කපන්න ඉල්ලන ගෝත්‍රිකයන්ගෙයි වෙනසක් තියනවද.  

ඉතිහාසෙ අපිට අයිති නෑ.. ඒක අයිති ඒ ඒ වෙලාවෙම ගොඩනගපු අයට.  

අයිති නැති දෙයක් වෙනුවෙන් අපි මරාගන්න ඕනෙද.. අයිති දෙයක් වෙනුවෙන් මරාගැනීමත් විසඳුමක් නොවන ලෝකෙක..මතවාද හැප්පෙන්න ඕනෙ අලුත් ලෝකයක් හැදෙන්න. මේ ලෝකෙ හැම දේම ප්‍රශ්න වෙන්න ඕනෙ..   

ගෞතම බුද්ධ බ්‍රාහ්මණ කුලවාදය ප්‍රශ්න නොකර හිටියනං අනේ අපේ ඉතිහාසෙ කියලා ඇතිවෙන තත්ත්වය මොකක්ද..  

පෘථිවි කේන්ද්‍රවාදය ප්‍රශ්න නොකර හිටියනං. අපි අදටත් බයිබලේ ඇත්ත කියලා පිළිගන්නවා..   

පරිණාමවාදය ගෙනාවෙ නැත්තං අපි තාම හිතන් ඉන්නෙ ලෝකෙ දෙයියො මැව්වා කියලා.  

ඒක හින්දා සමහර දේවල් වලට රිදෙන්න පුළුවන්.

හැබැයි ඒකට විසඳුම ප්‍රචණ්ඩත්වය නෙමෙයි.. මතවාද හප්පන එක.. එතකොට තමයි අලුත් අදහස් බිහි වෙන්නෙ. අලුත් ලෝකයක් හැදෙන්නෙ  චිත්‍රපටය ගැන ගත්තම..  

කලාව ඇතුළෙ.. තමන්ගෙ නිර්මාණය ඇතුළෙ.. මැවුම්කාරයා කලාකරුවා පමණයි.. දෙවියන්වහන්සේද මහාබ්‍රහ්මයාද කලාකරුවාම පමණයි.. ඊට ඉහළින් කිසිවෙක් නැත..  

ඕක තමයි මගේ මතය ආට් සහ අනෙක් දේවල් ගැන..  

ඉතින් හින්දුන්ට තිබ්බා අර කෝටි සීය දාලා තමන් ඇත්ත කියලා පිළිගන්න ඉතිහාසෙට අනුව දීපිකාවම දාලා පද්මාවතී බැරිනං විමලාවතී හරි නමක් දාලා අලුතෙන් චිත්‍රපටයක් හදන්න.. එතකොට ඇත්ත මොකක්ද කියලා ප්‍රශ්න වෙයි. අලුතෙන් ඉතිහාසෙ කතා වෙයි.. අලුත් මතවාද ගොඩනැගෙයි..  

ඔබට ආඩම්බර වෙන්න ඕනෙමනං ඔබ අලුතෙන් ඉතිහාසය ගොඩනගන්න.. දැන් ඔබ ආඩම්බර වෙන ඒවා උත්කර්ෂයට නගන ඒවා අනුන්ගෙ.. ඒවා එයාලටම බාර දෙන්න..

[චමල් අකලංක පොල්වත්තගේ] [සුජිත් ප්‍රියන්ත]

මාතෘකා