දූෂණය පරදවමු ගමෙන් අරඹමු

 ඡායාරූපය:

දූෂණය පරදවමු ගමෙන් අරඹමු

මෙවර පළාත් පාලන මැතිවරණයේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇත්තේ දූෂණය පැරදවීමයි. රාජ්‍ය දේපළ අවභාවිතාව හා දූෂණය නිසාම 2015 පැවති මැතිවරණ දෙකම පරාජයට පත්වූ කණ්ඩායමට පවා තමන් දූෂණයට එරෙහි යැයි පපුවේ අත තබා පවසන්නට සිදුව තිබේ. අද වන විට ලෝකයේ අන්ත දූෂිත රටවල් ත්‍රිත්වය අතරට ශ්‍රී ලංකාව ඇද වැටී තිබේ.

ස්වභාවික සම්පතින් හා කදිම දේශගුණයකින් යුක්ත ශ්‍රී ලංකාව වැනි සුන්දර රටකට මෙසේ සිදු වූයේ ඇයි? අප රටේ වෙසෙන ජනතාව දූෂිත ජනතාවක් නොවෙති. ඔවුන් ආගන්තුක සත්කාරයෙහි ලැදි සුන්දර මිනිස් කොට්ඨාශයකි. ලෝක දූෂිත දර්ශකයේ කප් ගැසීමට ශ්‍රී ලංකාවට හැකි වූයේ එහි වසන ජනතාව නිසා නොව ඒ ජනතාව පාලනය කළ හා කරන පාලකයන් නිසා ය. ඒ පාලකයන් ද අහසින් හෝ පොළොවින් ඉබේ මතු වූවා නොව ජනතාවගේ ඡන්දයෙන්ම තේරීපත් වූවන් බව ද අමතක නොකළ යුතු ය. ආසියාවේ එකදිගට දිගු කාලයක් මැතිවරණවලින් බලයට පත් පාලකයන් සිටින ශ්‍රී ලංකාව අද මුහුණ දී ඇති සෝචනීය තත්ත්වය පාලයකයන්ට පමණක් චෝදනා කිරීමෙන් ඵලක් නැත. කොතරම් සාධනීය චෝදන විවේචන එල්ල කළ ද ඒ අනුව වෙනස් වන පාලන තන්ත්‍රයක් කිසි දිනක අපට තිබී නැත. එනිසා පාලකයන් වෙනස් කිරීමට කලින් ජනතාව වෙනස් විය යුතුව තිබේ.

රටක ජනතාව විසින් රජයට බදු ගෙවනු ලැබේ. ඒවා සෘජු බදු මෙන්ම වක්‍ර බදු ද වේ. ශ්‍රී ලංකාවේ බදු ආදායමින් 82% ක්ම වක්‍ර බදු ය. එනම් අප එදිනෙදා පරිහරණය කරන කෑම බීම, ඉන්ධන, ඖෂධ, ඇඳුම් පැළඳුම් මත ක්‍රියාත්මක වන බදු ය. දේශපාලඥයන් හා රාජ්‍ය නිලධාරීන් එකතුව සොරාකන්නේ ජනතාවගේ මෙම බදු මුදල් ය. මේ දෙකොට්ඨාසයේ ඒකාබද්ධතාවයකින් හා අන්‍යෝන්‍ය අවබෝධයකින් තොරව කිසිදු රාජ්‍ය මුදල් වංචාවක් සිදු කළ නොහැක. දේශපාලඥයාට පමණක් කිසි දිනක රාජ්‍ය මුදල් වංචාව හෝ අවභාවිතාව සිදු කළ නොහැක.

භාණ්ඩාගාරයට එකතුව බදු මුදල් සොරාකෑමේ ආදීනව භුක්ති විඳින්නේ කවුද? ඒ බදු ගෙවන ජනතාවමය. ජනතාවගේ දරුවන්ගේ අධ්‍යාපනයට රජය වියදම් කරන්නේ ඒ ජනතාවගේම බදු මුදල් ය. එය සොරාකෑ විට අධ්‍යාපනයට වෙන් කරන මුදල අඩු වේ. එවිට අධ්‍යාපනයේ බර දෙමාපියන් වන ජනතාව මත පැටවේ. බදු මුදල් සොරකම් කරන්නේ තමන් පරම්පාරාවෙන් ඡන්දය දුන් හෝ තමන් ආදරය කරන දේශපාලන නායකයන් වුවද ඒ බර අවසානයේ පැටවෙන්නේ ජනතාව මතය. ඒ බර ගෙවීම සඳහා සිය විවේකය, විනෝදය කැපකිරීමෙන් ද වැඩියෙන් වැඩ කිරීමට සිදු වීමෙන් ද යළි යළිත් තම ජීවිත දුක්ඛිත තත්ත්වයකට ඇදවට්ටවා ගන්නේ ද ඒ ජනතාවමය. තමන්ම කතිරය ගසා පත්කරගන්නා අයම තමන්ගේ බදු මුදුල් වංචා කරන විට නිහඬව සිටින ජනතාවට ඒ නායකයින්ට හුරේදමන ගමන්ම වැඩි වැඩියෙන් ජීවිතවලින් වන්දි ගෙවීමට සිදු වේ.

රාජ්‍ය මුදල් අවභාවිතාවේ හා වංචාවේ පාඩුව මූල්‍යමය අංශයට පමණක් සීමා නොවේ. එවැනි රටක රජය කෙරෙහි ජනතාවගේ විශ්වාසය බිඳවැටේ. කිසිදු ආයතනයක් හෝ සංස්ථාවක් පිළිබඳ ජනතාව තැකීමක් කරන්නේ නැත. අවිශ්වාසය හා සැකය බුර බුරා වැඬේ. එවැනි සමාජයක ආගමික සංස්ථාව ද, අධිකරණය ද ජනතාවගේ ගර්හාවට පත් වේ. අවසානයේ මහා අරාජික තත්ත්වයකින් එම සමාජය කෙළවර වේ. මැතිවරණය යනු ජනතාවට සිය පරමාධිපත්‍ය බලය ප්‍රකාශ කිරීමට හා ක්‍රියාවේ යෙදවීමට ලැබෙන අවස්ථාවකි. සොරකම් හා වංචා නොකරන ජනතාව, හොරකමට හා වංචාවට එරෙහි වීමට අධිෂ්ඨාන කර ගතහොත් රටක් වෙනස් කළ හැක. එය කොතැනකින් හෝ ඇරඹිය යුතු ය. ගම් දෙක තුනක් සහිත පුංචි කොට්ඨාසයකින් වංචාවට හා දූෂණයට එරෙහි ව්‍යාපාරය ආරම්භ කළ හැකි වුවහොත් එය නුදුරු අනාගතයේදීම රටේ ජයග්‍රහණයක් වනු ඇත. පෙබරවාරි 10 යනු එවැනි ආරම්භයක් ගැනීමට පැමිණෙන සුභ දිනයකි.

[නලින්ද ජයතිස්ස]

මාතෘකා