දස රාජ ධර්මේ

 ඡායාරූපය:

දස රාජ ධර්මේ

මේ ළඟකදි දවසක් ගෙවල් ළඟ පන්සලේ හාමුදුරුවො බණකට කියනව ඇහුණා ,දසරාජ ධර්මයෙන් රාජ්‍යය පාලනය කරනව නම් ඒ රාජ්‍යය ඇතුළෙ කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ කියල.  

දසරාජ ධර්මයේ කියැවෙන විදියට කරුණු දහයකට අනුකූලව රාජ්‍යය පාලනය කළොත් රට යහපත් තැනක් වෙනවලුනෙ.. ඔය කරුණු දහය වෙන වෙනම දැන් රටේ ක්‍රියාත්මක වෙන විදිය බලමු...   

01) දානය   
පහුගිය කාලෙ දානය කියන එක අපිට ඕනි තරම් දැකගන්න ලැබුණා.. අරලියගහ මන්දිරය ඉස්සරහ පෝළිම් ගහගෙන මිනිස්සුන්ට කන්න බොන්න දුන්නා.. ඒ විතරක්ද පෙළපාලිවලට මිනිස්සු ගෙන්නන්න මැයි රැළියට මිනිස්සු ගෙන්න ගන්න කොයිතරම් දාන දෙනවද අරක්කු බාගයයි, බත් පැකට් එකයි රුපියල් පන්සීයකුයි දෙනව කියන්නෙත් දන් දීමක් තමයි.   
2. පරිත්‍යාගය   
අපේ පාලකයො කොයිතරම් පරිත්‍යාගශීලීද කියල පහුගිය කාලෙ අපි දැක්කා.. රටේ අමාත්‍යාංශ බෙදීමෙ ඉඳල පහළ තනතුරු වෙනකම්ම තිබ්බ තනතුරු ටික බෙදල දුන්නෙ තමන්ගෙ නෑ හිතමිතුරන්ට. හැම තැනම රැකියා දුන්නෙ තමන් වෙනුවෙන් පොස්ටර් ගහපු පෙළපාලිවලට ආපු අය වෙනුවෙන්. ඒවා අයිති වෙන්නෙ පරිත්‍යාග ගණයට නෙවෙයිද..   
3. ශීලය   
හැම පෝයටම අරලියගහ මන්දිරයෙ ඉඳල සිල් ගන්න එක පහුගිය කාලෙ පුරුද්දක් වෙලා තිබ්බා.. ජනතාව ඒකට පොළඹවන්න රූපවාහිනී නාලිකාවල සජීවිව විකාශය කිරීමත් කලා. බලන්න කොයි තරම් සිල්වත් පාලකයොද..   
4. තපස   
 පාලකයො හැසිරෙන්නෙ හරියට තපස් රකින තාපසයන් වගේ. පුදුමාකාර සරලකමක් එතුමන්ලට තියෙන්නෙ.. අත්සන් කරන්නෙ බොල්පොයින්‍ට් පෑනෙන්.. කන්නෙ බොන්නෙ නෙළුම් කොළේ. අඳින්නෙ ජාතික ඇඳුම. ඒ තරම් සරලකමක් තාපසයෙක්ටවත් නැති තරම්.   
5. අවිහිංසාව   
අපේ පාලකයො කොයි තරම් අවිහිංසාවාදීද කියනව නම් කොතරම් ධනය කොල්ල කෑවත් ඒ හොරුන්ට දඬුවම් දෙන්නෙ නෑ.. ඒ තරම් අවිහිංසාවක් තියෙන පිරිසක් නෙවෙයිද එතුමන්ලා..   
6. අක්‍රෝධය,   
දවල්ට වේදිකාවට නැගල ප්‍රතිවාදියාට විරුද්ධව කොයිතරම් හයියෙන් කෑ ගැහුවත් බැන්නත් හවසට ගිහින් ක්ලබ් එකේදි පාටියෙදි එකට කන බොන එකෙන්ම කියන්න පුළුවන් ක්‍රෝධයට එතුමන්ලා කොයිතරම් විරුද්ධද කියල. ඒ වගෙම දේවාල, පන්සල්,පල්ලි,කෝවිල් හැම එකකම ගිහින් කරන්නෙ ජාතීන් අතර සමගිය ගොඩ නගන්න දායක වෙන එක ක්‍රෝධය මැඩලන්න දායක වෙන එක නෙවෙයිද..   
7. සෘජු භාවය   
මේ ලක්ෂණය නම් අපි පහුගිය කාලෙ හොඳටම අත්දැක්කා. තමන්ට විරුද්ධ වෙන අයට සුදු වෑන් සවාරියක්. වෙඩි උණ්ඩයක් දෙන එකම සෘජු බවට කදිම උදාහරණයක්..   
8. මෘදුභාවය.   
කොයිතරම් මෘදු භාවයකින් යුක්තද කියනව නම් විපක්ෂයෙ මන්ත්‍ර‍ෙවරුන්ට පවා අමාත්‍යාංශයක් නැතුව වේලි වේලි දුකෙන් ඉන්නකොට මිලියන ගණන් මුදල් එක්ක වරප්‍රසාද දුන්නා මතක ඇති..   
9. ඉවසීම   
අපේ පාලකයන්ට කොයිතරම් නම් ඉවසීමක් තිබුණද/ තියෙනවද. මුළු රටම හොරා හොරා කියල කියද්දිත් ඉවසගෙන හිටියා කියන එකම ඉවසීම ප්‍රගුණ කලා කියන්න හොඳම උදාහරණයක් නෙවෙයිද..   
10. අවිරෝධතාවය.   
අසල්වැසි පාලකයන් සමග විරෝධයක් ඇති කරගන්නෙ නැතුව ඒවා මග හැරගෙන සමගියෙන් රාජ්‍යය පාලනය කිරීම තමයි අවිරෝධතාවය කියන්නෙ. බලන්න කොයිතරම් අවිරෝධතාවයකින් යුතුව රට පාලනය කරාද කියල ආරක්ෂක අමාත්‍යාංශය සතු ඉඩම් ඇතුළු තවත් ඉඩම් අසල්වැසි රාජ්‍යයන්ට විකුණල ඒ සමගිය වර්නධය කරගැනීමම කොයි තරම් නම් දෙයක්ද..   

ඇත්තටම බලාගෙන යද්දි මේ රට පාලනය උණේ වෙන්නෙ දසරාජ ධර්මයට අනුකූලව නේද ?

[චමල් අකලංක පොල්වත්තගේ] [සුජිත් ප්‍රියන්ත]

මාතෘකා

 
 
 
රටේ අපරාධ රැල්ල අඩු කිරීමට කළ යුත්තේ ?