සමසෙනෙහස

 ඡායාරූපය:

ලිංගිකත්වය යනු පුද්ගලයාගෙන් පුද්ගලයට ආවේනික  වුත් අතිශය පුද්ගලික වුත් කරුණකි. වෛද්‍ය විද්‍යාවට අනුව ලිංගිකත්වය යන මාතෘකාව ඉතා පුළුල් පරාසයක් තුළ දිවයන එකක් වන අතර පුද්ගලයෙකුගේ ලිංගිකත්වය ස්වාභාවික වුත් එය දරුවෙකු මවුකුස තුළ වැඩෙන විට තීරණය වන්නකි. මා මෙම ලිපිය ලිවීමට තීරණය කරන ලද්දේ පසුගිය කාල වකවානුව තුළ මා සහභාගී වූ කතිකාවතක ප්‍රතිපලයක් වශයෙනි. කාන්තාවක් පුරුෂයෙකුට හෝ පුරුෂයෙක් කාන්තාවකට ආකර්ෂණය වීම සාමාන්‍යය සම්බන්දතාවයක් වන අතර ඉන් එහාට ගිය සම්බන්දතාවන් සමාජ විරෝධී හෝ අශික්කිත ඒවා ගණයට අයත් වන බව සමාජ මතයයි. ඒවා නීතියෙන් මෙන්ම ආගමික බලපෑම් මඟින්ද තහනම් කොට ඇත.

විශාල සමාජ කතිකාවතක් ඉතා නිහඬව ගොඩනැගු නිර්මාණයකි “සයපෙති කුසුම” චිත්‍රපටය. තුන්කොන් ආදර අන්දරයක් පිළිබඳව කියාපාන ෆ්‍රැන්ජිපානි නොහොත් සයපෙති කුසුම චිත්‍රපටය ආදරය සඳහා ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය පිළිබඳව කතා කරන නිර්මාණයකි. පසුගිය වසරේ ඔක්තෝම්බර් මස තිරගත වීම ආරම්භ වුනු මෙම චිත්‍රපටය නොයෙකුත් බාදක කම්කටොලු මැද්දේ පුරා දින 30ක පමණ කාලයක් සිනමාහල්වල තිරගත විය. සමහර සිනමාහල් හිමියන් හා කළමණාකාර වරුන් සිනමාහලට මෙම චිත්‍රපටය නිසා ප්‍රේක්ෂකයන් ගල් ගැසුවාය යන බොරු ප්‍රචාර යවමින් තම සිනමා හලෙන් මෙම චිත්‍රපටය ඉවත් කිරීමට වහ වහා  කටයුතු කළෝය.  

තිරගත වීම අවසාන වීමෙන් පසුව පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන්  ආරම්භ කෙරුණු මෙම චිත්‍රපට සවාරිය විශ්වවිද්‍යාල කිහිපයකම උණුසුම් සංවාදයක් ගොඩනැගීමට සමත්විය.

බොහෝ විශ්වවිද්‍යාල තුළදී මතු කළ  කරුණ වන්නේ මේක අස්වාභාවික දෙයක් හා සමාජ සංස්කෘතියට පටහැනි දෙයක් ලෙසිනි. මෙම චිත්‍රපටය තුලින් එම සමාජ සංස්කෘතියට පටහැනි විකෘති දෙයක් ඉස්මතු කර දැක්වීමට උත්සහ කරනවාය කියාය. තවත් සමහරු කියා සිටියේ සමලිංගික අයිතිවාසිකම් ඉල්ලීමට මෙය ප්‍රමාණවත් නොවන බවත් සමලිංගිකත්වය ප්‍රචාරය කිරීමට අප විසින් මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කරන බවයි. එලෙසම සභාවේ  සිටී බොහෝ දෙනා  පවසන ලද්දේ මෙය ඉතාමත් උසස් පියවරක් ලෙසයි.

ලිංගික නැමියාවක් ප්‍රචාරය කල නොහැක. එලෙසම ලිංගික නැමියාවක් කිසි විටම බලෙන් ඇති කල නොහැක. ඒක තමාටම අයිති වූ දෙයක් හා තම කැමැත්ත මත සිදුවන  දෙයක් මිසක කෙනෙක්ව කිසිඳු කලෙක බලෙන් කෙනක් හා ශාරීරිකව සම්බන්ධ කළ නොහැකියි. එම යතාර්ථය තේරුම් ගත නොහැකිව සිටින මේ පිරිස, පුද්ගලයන්ගේ ලිංගිකත්වයට අප චිත්‍රපටය හරහා බලපෑම් කරන බවට නඟන චෝදනාව පදනම් විරහිතය. එහෙත් සමාජ භීතිකාවට බියව සැඟව සිටින සමසෙනෙහස් ප්‍රජාවගේ යම් පිබිදීමක් මේ තුළින් සිදුවුවායයි යම් පුද්ගලයෙකු ප්‍රකාශ කරයිද, එය මම පිලිගනිමි.  

පුද්ගලයන් මෙම සිනමා පටය නැරඹීමට කැමැත්තක් දැක්වුවද සමාජභීතිකාව හා තමන්ද සමලිංගික පුද්ගලයකු ලෙස හංවඩු ගසාවියයි බියෙන් සිනමා ශාලාවන් වෙත පැමිණීමෙන් වැලකි සිටියෝය. කුමක් කෙසේ සිදුවුවද, මෙම සිනමාපටය සමාජ කතිකාවතක් ගොඩනැගීමට සමත්විය. එලෙසම සමාජය කෙතරම් කුහක අන්දමින් මේ සමසේනේහස් බැදීම්  දිහා බලනවාද යත් ඔවුන් නිතරම ප්‍රශ්න කරන්නේ කොල්ලන් දෙදෙනකු හෝ කෙල්ලන් දෙදෙනකු එකට එකතු වී කුමක් කරන්න්වාදැයි නොදන්නා බවයි. කීමට ඇත්තේ මා හට ඉතා සරළ දෙයකි. දෙදෙනෙක් අතර ඇතිවන සම්බන්දතාවයක් කාමරයකට පමණක් සීමා නොවේ. එය අපි සාමාන්‍යයි කියන්නාවූ කාන්තාවක් හා පුරුෂයකු සමඟ ඇතිවන්නා වූ සම්බන්ධතාවයක් හා සමානය. ඇත්තේ සුළු වෙනස්කමක් පමණි. ඒ ජීව විද්‍යාත්මක ලිංග බේදය, නීතිමය පිළිගැනීම හා සමාජමය ආකල්ප පමණි.

පුද්ගලයන්ගේ වටිනාකම පුද්ගලයාගේ හැකියාව, යහපත් ආකල්ප හා සමාජයට සංවර්ධනයට ඔවුන්ගෙන් ලැබෙන දායකත්වය මත පදනම් වන අතර ඔවුන් ආදරය කරන්නේ ගෑනියෙක්ටද පිරිමියෙක්ටද නොඑසේ නම් ඔවුන් සමඟ සයනය බෙදාගන්නේ තවත් පිරිමියෙක්ද ගැහැනියෙක්ද යන්න මත නොවේ. අපේ ඇති ලිංගික කුහකත්වය නිසා පුද්ගලයන් කොටසක් අප විසින්ම තාඩන පීඩනයන්ට ලක්කොට සමාජයේ සැබෑ මිනිසත්කම හා මානව අවිහිංසාවාදය කෙළෙසමින් සමාජයක් තුල ඍණාත්මක සිතුවිලි පතුරවමින් ජාතික කොඩියේ සඳහන් වන මෙත්තා මුදිතා කරුණා උපේක්ඛා යන කරුණු ක්‍රියාවෙන් බැහැර කරන්නක් සිදු නොවන්නේද?

[භූමි හරේන්ද්‍රන්]