ශ්‍රී විකාර | ඇස පාදන රැස


ශ්‍රී විකාර

 ඡායාරූපය:

ශ්‍රී විකාර

දෙකෝටි විසි ලක්ෂයකට ආසන්න පිරිසක් ජීවත්වන වර්ග කිලෝමිටර් හැටපන්දාහක භූමි ප්‍රමාණයකින් යුක්ත ශ්‍රී ලංකාවේ ජනතාව ආරක්ෂා කිරීම සඳහා තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් සිටිනවා යැයි අති බහුතරය විශ්වාස කරයි. එනම් එක පුද්ගලයෙකුට ආසන්න වශයෙන් දෙවියන් දහසයක් පමණ සිටී. නමුත් මිනීමැරුම්, ස්ත්‍රී අපචාර, ළමා අපචාර දිනපතා සිය ගණනින් සිදුවන රටකි. එක පුද්ගලයකුට දෙවියන් දාසයක් පමණ සිටියත් ඒවා නවතාලීමට නොහැකි වීම නම්  මට පුදුමයකි..

ගෙදරක සොරකමක් වූ විට පූජාවට්ටියක් අරගෙන දුවන්නේ දේවාලයේ දෙවියන් හමුවීමටය. දේවාලයේ පිං කැටේ හොරු කැඩූ විට පූජකයා කපුවා දිව යන්නේ පොලිසිය වෙතය. තමන්ගේ දේවාලයේ පිං කැටය රැකගැනිමට නොහැකි දෙවියන් මිනිසුන්ගේ දේපල ආරකෂා කරන ආකාරය නම්  මට පුදුමයකි..

ABS බ්‍රේක් සිස්ටම්, Air Bags සවිකර, තත්ව පරීක්ෂා සිදුකර ආරක්ෂිතව නිශ්පාදනය කර ලංකාවට ගෙන්වන වාහනයේ ආරක්ෂාව වෙනුවෙන්, දෙහි ගෙඩි තුනක් සහ මිරිස් කරල් තුනක් එල්ලති. ABS බ්‍රේක් වලට Air bags වලට ලබාදෙන්න බැරි ආරක්ෂාවක් දෙහි සහ මිරිස්වලින් ලබාදෙන ආකාරය  ගැටලුවකි.. මට නම් පුදුමයකි..

මැති ඇමතිවරු තමන්ගේ ඡන්ද ජයග්‍රහණය ලබා ගැනීම සඳහා තිරුපති යයි. යාග පවත්වති. දෙවියන්ට බාරහාර වෙයි. වශීබෝල අතේ තියාගෙන මිරිකමින් සිටිති. වශී බෝලයකින්, යාගයකින්, බාරයකින් ඡන්දය ලබා ගන්නා හැටි මට නම් සිතාගත නොහැක. මට නම් පුදුමයකි..

ජෝතිෂ්‍යයට අනූව ලග්න දොළහකි, ලංකාවේ ජනගහනය දෙකෝටි විසිලක්ෂයකි ආසන්න වශයෙන් එක ලග්නයකට හිමිකම් කියන ප්‍රමාණය ලක්ෂ දහඅටකි, ලක්ෂ දහඅටකට පොදු ලග්න පලාඵල කියා, කුමක් හෝ බොරුවක් කියූ විට එවා විශ්වාස කරන්නෙ මන්දැයි මට නම් වැටහෙන්නේ නැත..

මිනිසුන් ආහාරය උදෙසා භාවිතා කරන පාන් ගෙඩියට මිරිස් දමා පත්තරයක එතූ විට හතුරන් විනාශ වේයැයි තවකෙක් පවසයි. පාන් ගෙඩියෙන් කුසගින්න නිවනවා හැර සතුරන් විනාශ වෙන ආකාරය මට නම් ‍ප්‍රහේලිකාවකි..

විපක්ෂය විසින් ආණ්ඩුව පෙරළීම සඳහා පොල් ගසති. ඡන්ද බලයකින් හෝ කුමන්ත්‍රණයකින් තොරව පොල් ගෙඩියකින් ආණ්ඩු පෙරළන හැටි මට නම් සිතාගත නොහැක.ගෘහ නිර්මාණ ශිල්පී ඉංජිනේරුවන් නිවසේ ආරක්ෂාව පිණිස තොවිල් නටති. නියමිත ප්‍රමිතියකින් යුතුව ගොඩනගන නිවසක ආරක්ෂාව තොවිලයකින් තහවුරු කරන්නේ කෙසේදැයි මට නම් වැටහෙන්නේ නැත. දෙමාපියන් තම දරුවන් විභාගයට යෑමට පෙර නවග්‍රහ පූජා, බෝධිපූජා පවත්වයි. පාඩම් නොකර නවග්‍රහ පූජාවලින් බෝධි පූජාවලින් විභාග සමත්වන ආකාරය මට නම් සිතාගත නොහැක.. මුහුදෙන් ගොඩ ගන්න බෙලි කට්ටකට වාසනාව ගෙන දිය හැකියැයි විශ්වාස කරති, මහන්සිවී කටයුතු නොකර බෙලි කට්ටකින් වාසනාව ගෙනදෙන ආකාරය කුමක්දැයි මට වැටහෙන්නේ නැත..

පෙරහැරක් පැවැත්වූ විට වැසි ලැබේ යැයි මිනිස්සු විශ්වාස කරති. රට පුරා ඇති ගස් කපාදමමින් වනාන්තර විනාශ කරමින් පෙරෙහැර පැවැත්වූ විට වැසි ලැබෙන්නේ කෙසේදැයි මා හට සිතාගත නොහැක..
පිළිකා වැනි බරපතල රෝග, දෙවියන් වහන්සේට යාඥා කළ පමණින් සුව වේයැයි මිනිසුන් විශ්වාස කරති. ප්‍රතිකාර නොගෙන ලෙඩ සුව වන ආකාරය මට නම් සිතාගත නොහැක. එසේ සුව වනවා නම් කෝටි ගණන් වැය කර රෝහල් ඉදිකරමින් බෙහෙත් හේත් සොයාගත්තේ මොකට දැයි මට ප්‍රහේලිකාවකි..

මෙවැනි ජනතාවක් සහ දේශපාලකයින් සිටින රටක් කවදා සංවර්ධනය වේදැයි මට වැටහෙන්නේ නැත. එක දෙයක් නිශ්චිතවම කිව හැකිය. තව වසර සීයක් ගියත් පාසල් විෂය නිර්දේශයෙන් ශ්‍රී ලංකාව යනු දියුණු වෙමින් පවතින රටක් යන වාක්‍යය ඉවත් කරගත නොහැකි වනු ඇත..

මේවා කල්පනා කරන විට ලබන වසරේ අයවැයෙන් හාල්, පොල්, පරිප්පු වැනි අත්‍යවශ්‍ය ආහාරවලට පුන්නක්කු, තණකොළ වැනි ද්‍රව්‍යයද එකතු කරන මෙන් රජයෙන් ඉල්ලීමක් කිරීමටද සිත්වේ...

[සුජිත් ප්‍රියන්ත] [චමල් අකලංක පොල්වත්තගේ]

මාතෘකා