අරුම පුදුම රට

 ඡායාරූපය:

අරුම පුදුම රට

රාත්‍රී සුවදායී නින්දකින් පසු අවදි වූ මට උදෑසනම දක්නට ලැබුණේ අන්තර්ජාලය තුළසැරිසරන ඡායාරූප කිහිපයකි. ඉන් පළමුවැන්න අගරදගුරු මැල්කම් රංජිත් පියතුමාගේ ප්‍රධානත්වයෙන් මීගමුව ප්‍රදේශයේ පැවති මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක ඡායාරූපයි. වේදිකාවේ සිට අගරදගුරුතුමා පැමිණ සිටින පිරිසගෙන් ප්‍රතිඥාවක් ලබාගන්නා මොහොතේ රැස්ව සිටි පිරිස අතර් හුන් එක පුද්ගලයකු අසල මගේ නෙත් නතර විය. හෙතෙම පසුගිය වකවානුව තුළ මත්කුඩු ගෙන්වීම පිළිබඳව චෝදනා ලබා සිටි ප්‍රබලයෙකි. ඔහු මත්කුඩු ජාවාරමට සම්බන්ධ බව ප්‍රසිද්ධ රහසකි. මට ඇති අරුමය නම් ඔහු මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක ප්‍රතිඥා දෙන්නේ කෙලෙසද යන්නයි. ඇත්තටම එය ගිනස් වාර්තා පොතට ඇතුළත් විය යුතු සිද්ධියක් යැයි මුලින් සිතුණත් මිනිසුන් නවසීය අනූ නවයකගේ ජීවිත අහිමි කළ අංගුලිමාල, මිනිසුන් දුකින් මුදවාගැනීම පිණිස බණ දේශනා කළායැයි දොහොත් මුදුන් දී පිළිගන්නා රටක මත් කුඩු ජාවාරමේ යෙ‍ෙදන පුගලයින් මත්කුඩු නිවාරණය වෙනුවෙන් පෙනී සිටීම වැනි දේවල් සිදුවීම අරුමයක් නොවන බව සිතා හිත හදාගත්තෙමි.

දූෂණ වංචා චෝදනා ලැබ සිටින ඇමතිවරු මන්ත්‍රීවරු දූෂණ වංචාවලට විරුද්ධව පෙනී සිටින රටක හෙතෙම මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් පෙනී සිටීම අරුමයක් නොවන බව සිතමින් හිත හදාගත්තෙමි.

අනාගතයේ දවසක ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිස සිරකරුවන්ගේ මානව අයුතිවාසිකම් ගැන කතා කිරීම පිණිස එක්සත් ජාතීන්ගේ සමුළුව වෙත ගියාටද අප පුදුම වියයුතු නැත. ඌව මහ ඇමති චාමර සම්පත්ලා ගුරුවරුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් මහමගට පැමිණ උද්ඝෝසණය කළාටද අප පුදුම විය යුතු නැත. සාරුව සුනිල්ලා කාන්තා අපචාරවලට විරුද්ධව මහමග විරෝධතා පැවැත් වුවද අප පුදුම විය යුතු නැත. මර්වින් සිල්වලා මාධ්‍යය අයිතීන් මාධ්‍යය නිදහස වෙනුවෙන් උපවාස කළද අප පුදුම විය යුතු නැත. බලය උදෙසා සියල්ල කණපිට පෙරළී ඇති රටක එවැනි කාරණා සිදු වීම අරුමයක් නොවේ. අවාසනාව නම් ඔවුන් ජනතාව රැවටවීම නොව ජනතාව ඔවුන්ගේ රැවටිලි වලට හසු වීමය. කුමන නාටකය රඟ දැක්වුවත් ඔවුන් ඡන්දය ලබා දෙන්නේ පුරුදු පරිදිම තමා රවටන දේශපාලකයින්ටය.  ඊටත් වඩා අවාසනාවට කරුණ නම් ජනතාව වෙනුවෙන් සිටිනවා යැයි සිතන පූජ්‍යපක්ෂයේ ආශිර්වාදය ඔවුන්ට නොඅඩුව ලැබීමය. මීගමුවේදී අගරදගුරු මැල්කම් රංජිත් පියතුමා කුඩු ව්‍යාපාරිකයකුගෙන් මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා ප්‍රතිඥා ලබා ගනියි. ගුරුවරිය දණගැස්සවූ ඇමති අත හාමුදුරුවරු පිරිත් නූල බඳිති. සර්වාගමික පූජකවරු ඔහුට ආශිර්වාද කරති.

ආගම යනු තවදුරටත්  පීඩිතයාගේ ගැලවුම්කරු නොවේ. එය  පීඩකයාගේ ගැලවුම්කරු පමණක්ම වේ..

උදෑසන දුටු දෙවන ඡයාරූපය නම් ආසිරි වනිගරත්න නම් මිථ්‍යාදෘෂ්ටික ෆෙන්ශුයි වෙළෙන්දාගේ සම්මන්ත්‍රණයකට සහභාගී වී ඉදිරි පෙළ අසුනක අසුන් ගෙන සිටින බෞද්ධ භික්ෂුවකගේ ඡායාරූපයකි. ලෞකික ආශාවන්ගෙන් මිදී ආධ්‍යාත්මික ජීවිතයක් ළඟා කරන්නේ කෙසේදැයි පහදා දුන් දර්ශනයකට අද හිමි තත්වය දුටු විට ඇතිවන්නේ මහත් කනගාටුවකි. මිනිසුන්ට අත්හැරීමේ ආනිශංස කියාදෙන භික්ෂුන් මෙලෙස පහසුවෙන් ධනය උපයන ක්‍රම සොයමින් මිථ්‍යාදෘෂ්ටික වෙළෙන්දන් පසුපස යන්නේ මන්දැයි එකවරම සිතුණත් පසුව බොදුබළ සේනා, සිංහල රාවය වැනි ජාතිවාදී අරමුණුවලින් හාමුදුරුවරුන්ගේ අනුශාසනාවෙන් පවත්වාගෙන යන සංවිධාන මතක් විය. සියල්ලටම මෛත්‍රී කරන්න කියා දුන් දර්ශනයක අනුගාමිකයින් තමන්ගෙ ජාතිය ආගම හොඳයි කියමින් අනෙකා පීඩාවට පත් කරන රටක එක් ස්වාමීන් වහන්සේ නමක් ආසිරිගේ සෙවන පතා යෑම පමණක් අරුමයක් නොවන බව සිතා හිත හදාගත්තෙමි. පටාචාරාට, කිසාගෝතමියට, රජ්ජුමාලාට පිහිට වූ අතීතයක් ඇති බුද්ධ ශාසනය තුල එක්නැලිගොඩ නම් මාධ්‍යවේදියාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩට බැන වදින නානසාර හිමි වැන්නවුන් සිටින රටක එක් භික්ෂුවක් ආසිරි සරණ සොයා යෑම අරුමයක් නොවන බව සිතා හිත හදාගත්තෙමි.

[චමල් අකලංක පොල්වත්තගේ] [සුජිත් ප්‍රියන්ත]

මාතෘකා