සංශෝධනේ | ඇස පාදන රැස


සංශෝධනේ

 ඡායාරූපය:

සංශෝධනේ

පොඩි කාලේ කිලෝ පහළොවක් විතර බර බෑග්ගෙක පිටේ දාගෙන උදේ පාන්දර ඇහැරගෙන කබ කඩ කඩ ඉස්කෝලෙ ගිය එකේ අමුතු මෙව්වා එකක් නැත්තේද නැත..ඒත් සමනළ රෑනක් සේ ඉගිලී අකුරට ගිය පාසල් කාලේ ආයේ එන්න කියා පතන්නටද උවමනාවක් ද නැත. ඉස්කෝලෙ හැමදාම තියෙන්නේ දහයට ඇහැරිලා පරණ කොට කලිසමක් හොයාගෙන යාලුවො එක්ක සෙට් වෙලා සෙල්පි ගහන්න බැක්ටු ඉස්කූල් වගේ නං කමක් නැත.   

බෑග්ගෙක බර නිසා මම පොඩි කාලේ ඉස්කෝලෙට අච්චු පොත් ගෙනිච්චේ නැත. කොච්චර බරද කියනවානං මං මුලින් හිතුවේ ඉස්කෝලෙ ගිහින් ඉවර වෙද්දී කොන්ද නැවිලා නැවිලා නැවිලා නැවිලා අන්තිමේදි මූණ සපත්තුවේ ගෑවෙයි කියාය.   
පස්සෙ කාලෙකදී ඊට වඩා ණය බර, ජීවන බර , බොහෝ වැඩි බව අවබෝධ කරගත්තෙමි.   

අවසානයේ මගෙ දෙවන සැලැස්ම ලෙස සිලබස් එකම පන්තියේ ඩෙස් එක යට තැන්පත් කළෙමි. ඒ නිසා බෑග් එකේ තිබුණේ අම්මා හදා දෙන කෑම එක හා පිටු අසූවේ පොත් දෙක තුනකි. සමහර දාට කෑම එක කැන්ටිමෙන් නිසා ඒ බරිනුත් නිදහස් විය.   

දෙක තුන හතර වගේ වසරවල පන්තියෙ තිබ්බේ කණ්ඩායම් හදලාය. ඩෙස් පහ හයක් එක ළඟ තබා ඒ වටා පුටු තබා පන්තියේ උන් වාඩි කරවා තිබුණි.   

දැන් වගේම ඒ කාලෙත් මගේ කටට බ්‍රේක් නැත. වැඩේම කියවන එකය. ටීචර් උගන්නන විට ඇසීමට මොකක් හෝ ප්‍රස්නයක් මට කිබුණා. කොච්චර කට රිදුණත් මට ගාණක් නැත. හොරෙන් පෑන් ගේම් ගැසීම.. ක්ලිප් ගේම් ගැසීම. පුටු වලට වතුර දැමීම. රබර් පටි වලින් දෙපැත්ත බෙදී විද ගැනීම.., සින්දු කීම., කොල ගුලි ගසා ගැනීම. වැනි දරුණු ගණයේ පාතාල ක්‍රියා වලට හවුල් විය. පොඩි කාලේ කරන ලද ඔය පාතාල වැඩ ඕලෙවල් ඒලෙවල් කරන විට ත්‍රස්තවාදී ක්‍රියා බවට පත් විය. ගුරුවරුන් දෙමව්පියො දැනුවත් කිරීම කොච්චර කලාද කියනවානං මගෙ ගුණ වර්ණනාවක් කිරීමට ගෙදරට කෝල් කලත් ගෙදරින් හිතන්නේ මේ නම් මගේ නොහොඹිනා යාළුවෙක් ලබා දුන් කෝල්ලෙකක් කියාය. හොරු ඇල්ලීම තරමටම එය ගෙදරට ජෝක්ස් එකක් වී තිබුණි.   

ඉතින් ටීචර්ලාට ඒ කාලේ සිට උසස් පෙළ පන්තිය දක්වාම මාව පෙන්නන්නට බැරිය. ඔහොම පොඩි කාලෙ පන්තියේ කතා කර කර ඉද්දී ටීචර් කරන්නේ කණ්ඩායම මාරු කිරීමය. එක කණ්ඩායමක ළමයි හයක් පමණ ඉන්නා විදිහට කණ්ඩායම් කර තිබුණි.   

කණ්ඩායමක දඟලන එකෙක්ව වෙන කණ්ඩායමකට දැමීම හම්බන්තොටින් අල්ලපු අලියෙක් වන්නිතම්මැන්නාවෙ කැලේකට ගෙනල්ලා දැම්මා වගේ හැඟීමක් ටීචට ඇති වුණත් මට එහෙම එකක් ඇතිවෙන්නේ නැත.   

මම ඒ කණ්ඩායමට දැම්ම පසු මුල් විනාඩි කිහිපයේ සද්ද නැතුව සිටිමි. පන්තියේ ඔක්කොම උන් ඉස්සරහ තමුසෙ එනවා මෙතෙන්ට මගෙන් ගුටි නොකා කියා අත පුරෝලා පිටට එකක් ගසා කණ්ඩායම මාරු කරන විට අනිත් උන් මූණ දිහා රැවුළ කපන්න වගේ බලං ඉන්නවාය. ඒ කාලේ රැවුල නැතත් උන් බලන් ඉන්නේ එහෙමය. ටීච ගහන පාර රිදෙනවා කියා උන් හිතුවාට ඇත්තටම ඒක රිදෙන්නේ නැති අතර " කතා කළොත් දඬුවම් කරනවා." කියා පෙන්වීමට යොදාගන්නා ගුටියකි. සමහර උන් නෝන්ඩියට හිනාවෙයි.   

ඒ බයිට් එක නිසාම මුල් විනාඩි කිහිපයේ නැන්දම්මගෙන් බැනුම් අහපු ස්වප්නා වගේ හිටියෙමි. ඊළඟට ආයෙත් මගෙ ඔලුව දෙපැත්තේ සුදුපාට පිහාටු තියන දේවදූතයෙක් වගේ චමලෙක්. රතුපාට අං තියන පරාස්සයෙක් වගේ චමලෙකුත් මැවෙයි.. සුදු පාට එකා චමල් ඔයා පාඩම් කරන්න. ටීච කියන එක සද්දෙ නැතුව අහගෙන ඉන්න කියා කියයි.. ඒ වෙලාවෙම රතු පාට එකා සුදු එකාගේ බෙල්ලෙන් අල්ලා බිම දාගෙන පහරදෙයි. සුදු එකා මෝටාර් එකක් වැදුණා සේ අමාරුවෙන් අතුරුදන් වෙයි. රතු එකා ඒ වෙලාවේ ප්‍රශ්නෙකට උත්තර දීමට නැගිට සිටින එකෙක්ගේ පුටුව සහ මේසෙ උඩ ඇති වතුර බෝතලේ මට පෙන්වයි.   

ඉතින් ආයෙත් මං අර පරණ එකා බවට පත්වෙයි.   

හදිස්සියෙ ඕක මතක් වුණේ කැබිනට් සංසෝදනේ දුටු විටය. 

[චමල් අකලංක පොල්වත්තගේ] [සුජිත් ප්‍රියන්ත]

මාතෘකා