ජීවිතෙන් වන්දි ගෙව්වා ඇති ය.

 ඡායාරූපය:

ජීවිතෙන් වන්දි ගෙව්වා ඇති ය.

අඩෝ පුපුරලා නේ..

ආ ඔව්.. ඉතින්

ආ දැන් සතුටුද..  

ඒ මොකද මනුස්සයො බෝම්බයක් පිපිරුනම සතුටු වෙන්නෙ..

ඇයි යකෝ ආයෙ කොටි නැගිටලනේ..  

පිස්සුද බං උඹට.. කොහෙ ඉන්න කොටියෙක්ද.. පොලීසිය කියලා තිබ්බෙ ආමි එකේ සෝල්ජර් කෙනෙක්ගෙ කේස් එකක් කියලා..

අනේ  නිකන් හිටහන්.. දිනූ දේසය අනතුරේ යකෝ.. කොටියට රට ගිහින් තියෙන්නෙ.. දැන්  ඉවරයි.. තව පුපුරන්න ඕනෙ තේරෙන්න.. අරයව අගමැති කරන්න පුළුවන් දැන්..
-----
පිපිරීමක් උනා කිව්වම ලංකාවේ සම හරක් උන් හැසිරෙන්නේ ඔහොමය..උන්ට  ඕනේ මිනිස්සු සීයක් මැරිලා හෝ තමන්ගේ දේශපාලන අවශ්‍යතාව ඉෂ්ට කර ගන්නය.  තමන්ගේ අරමුණ ඉටු වෙනවානං උන්ට රටට ඕනෑ දෙයක් වුනාට කමක් නැත.බොරු ප්‍රචාර කටකතා පතුරා රට ගිනි තියනා ලිඳ ළඟ සංගම් බයියන්ට නීතිය ක්‍රියාත්මක කරනවා ඇරෙන්න ඔය මිනිස්සුන්ට බැනලා තේරුමක්ද නැත.  

මේ  රටේ එදා පටන් පැවතගෙන එන ගතානුගතික දේශපාලන විඥානය අපේ මිනිස්සුන්ගේ ඔලු  වලින් ඉවත් වෙනකන් ඔය තත්වයෙන් ගොඩ ඒමක් නැත.. කැපුවත් නිල් කැපුවත් කොල  රතු මානසිකත්වයේ ඉන්නකන් පක්ෂ දේශපාලනයට වහලුන් වී සිටින තාක් කල් රට  වෙනුවෙන් පක්ෂය හා පක්ෂය වෙනුවෙන් රට යන්නෙහි වෙනස තේරුම් කිරීමට නොහැක.අපේ  මිනිස්සු හිතාගෙන ඉන්නේ දේසපාලකයා යනු දෙයියෙකි. ඌට අපි වැඳිය යුතුය  කියාය.. දේසපාලකයා පත් කරගන්නේ අපේ ඡන්දයෙනි. ඌව පත් කරන්නේ අපේ වැඩ කර  ගැනීමටය.. ඒ වැඩ කරනවාට ඔහුට වැටුපක් හා ඇදහිය නොහැකි වරප්‍රසාද ලැබෙනවාය..   උන් කරන්නේද වෛද්‍යවරුන් ගුරුවරුන් කම්කරුවන්ම මෙන්ම රස්සාවකි.. ඒ නිසා  කළ ගුණ සැලකිය යුතු නැතිය කියා තේරුම් ගන්නේද නැත.

ඔය  කොටි භීතිකාව හදන්නේද එහෙම මිනිස්සු ඉන්න නිසාය. අපේ අහවලා ගැලවුම්කරුවාය.  එයා දෙයියාය.. එයාට වැඳිය යුතුය.එයා නැත්තං මේ රට විනාසය. ඒ නිසා එයා මිනි  මැරුවද හොරකං කෙරුවද එයා මැරෙනකන් බලේ සිටිය යුතුය කියා වපුරනා බොරු වලින්  අර කලින් කියූ මානසිකත්වයේ සිටින මහජනතාවව ගොනාට ඇන්දීම සිදු කරයි.බොරු පතුරයි. භීතිකා මවයිඒ දේසපාලකයා = දේශප්‍රේමය කියා මතයක් හදයි.

නමුත්  චීන පටස් එකක් පිපිරුවත් බෝම්බයක් පිපිරිලාය , මිනිස්සු ගොඩක් මැරිලා  ඇතිය.. හම්මේ ඇතියන්තන් දැන්නං අපි ගොඩ කියා සතුටු වන්නේද ඔය දේස ප්‍රේ  මීයන් ය. තමන්ගේ රටේ බෝම්බ පිපිරීමක් වූ විට සතුටු වන උන් දේසප්‍රේමියන් වන්නේ කෙසේද යන්න තවමත් සිතා ගත නොහැක.

තාම මිනිස්සුන්ගේ හිතේ මවන්නේ දෙමළා කොටියා කියාය..ඊයේ  කොටින්ගේ කියා බොරු ලිපියක් සිය ෆේස්බුක් ගිණුමේ පල කළ ඇතැම් දේශපාලකයන්  විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතාට පරයා කියා බැන තර්ජනය කර තිබුණි.දේසප්‍රේමි මීටරය ඇත්තේ උන්ගේ අතේය. අපිට කැමතිනම් තලේබාන් කාරයෙක් හරි කමක් නෑ දේසප්‍රේමිය. අපිට අකමැති ඔක්කොම කොටිය.උන්ගේ  දේශපාලනේ ඕකය. සම්බන්ධන් මහතා හෙට සිට එයාලාට සහය පළකරනවා කිව්වොත් මාධ්‍ය  සාකච්ඡාවක් තියා සංහිඳියාවේ ප්‍රතිමූර්තිය කියා කිරිවලින් නාවන්නේද  එයාලාමය.  

කෙසේ හෝ හිටපු  ආණ්ඩුවටවත් වර්තමාන ආණ්ඩුවටවත් රටේ සැබෑ සංහිඳියාවක් ඇති කිරීමේ උවමනාවක්  ඇති බව පෙනෙන්නට නැත. ටකරමක් වැටුණ ගමන් දැන් සතුටුද හොඳ වැඩේ කියා අසනා  අවස්ථාවාදී ත්‍රස්තවාදීන් සිටිනා රටක සංහිඳියා යාන්ත්‍රණය ගැන මීට වඩා බොහෝ  සංවේදී විය යුතුය. සියල්ලෝම කරන්නේ තම ඡන්ද පදනම රැක ගැනීම වෙනුවෙන්  ජාතිවාදය ඉලිප්පීම හෝ නිශ්ශබ්දව සිටිමින් තම පෞද්ගලික න්‍යායපත්‍ර ඉෂ්ට කර  ගැනීමට උත්සහ දැරීමයි.

නැවත  අර්බුදයක් ඇති නොවීමට ගත යුතු ක්‍රියාමාර්ග ගැන කිසිවෙකුටවත් ඕනෑකමක් නැත.  ජාතික ගැටළුවට දේශපාලන විසඳුමක් දීමට චන්ද්‍රිකා ආණ්ඩුවද මහින්ද ආණ්ඩුවද  මෛත්‍රී ආණ්ඩුවද පොරොන්දු දුන් නමුත් තවමත් කිසිවෙකුත් ඊට පිළියමක් යෙදිමට  අපොහොසත් වී ඇත. 13 න් එහා විසඳුමක් දීමට මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිද  ජාත්‍යන්තරයටද පොරොන්දු විය. දැන් ඒ ගැන කතා කරන්නන් ඊලාම් වාදී ලෙස  හඳුන්වන්නේ එතුමාගේ පක්ෂයමය. මෛත්‍රීපාල සිරිසේන ජනපතිද ව්‍යවස්ථා  සංශෝධනයක් ගැන දේසපාලන විසඳුම් ගැන පොරොන්දු වුවත් දැන් වසර තුනක් අවසානයේ  කිසිදු ප්‍රගතියක් දකින්නට නැත..

යුද්ධ කලා ඇතිය ලැජ්ජා නැතිව ජාතියක් අල්ලාගෙන ගහගත්තා ඇතිය.මේ  කිසිදු දේකට අබමල් රේණුවකට සම්බන්ධයක් නැති සිංහල දෙමළ මුස්ලිම් තරුණයක්  දරුවන් ඇතුළු ලක්ෂ ගණනක මිනිසුන් ජීවිතෙන් වන්දි ගෙව්වා ඇතිය..අනේ මහත්වරුනි..මේ හොඳටම ඇති...!! තව හළන්න අපේ කැහැටු ඇඟවල් වල ලේ ඉතුරු වෙලා නෑ...!!!

[චමල් අකලංක පොල්වත්තගේ] [සුජිත් ප්‍රියන්ත]

මාතෘකා