‘ටැබ්’ අද නෙවෙයි හෙට

 ඡායාරූපය:

‘ටැබ්’ අද නෙවෙයි හෙට

පාසල්වල ළමයින්ට ගුරුවරුන්ට ටැබ් දෙන්න ගෙනාපු යෝජනාව නවත්තලා කියලා දැනගන්න ලැබුණා.  

දෙවනි ලෝක යුද්දෙ ඉවර වෙනකොට ජපානෙ කියන්නෙ දූවිලි අලු ගොඩක්. පරමාණු බෝම්බ දෙකකින් මිලියන ගාණක ජනතාවක් අහිමි කරගෙන හිටපු ජපන්නු තණකොළත් කෑවා බඩගින්නට. ජපානෙ ආයෙ ගොඩනගන්න ජපන්නු කළේ මොකක්ද? ජපන්නු ලෝකෙ ආක්‍රමණය කරන්න යුද්ධය උපකරණයක් කරගන්න එක පැත්තකින් තිබ්බා. අතට ගත්තා අධ්‍යාපනය. යුද්දෙන් කෑලි කැඩිලා ගිය වහලයක්වත් නැති ඉස්කෝලවල ජපන්නු කළේ උගන්නපු එක. පරණ කෝච්චි පෙට්ටි, ගිනිගත්ත බස් ඇතුළෙ පවා ඉස්කෝල දාලා කළේ උගන්නපු එක. හරියට කෑමක්වත් නැතුව හිටපු ජපන්නු උන්ගෙ දරුවන්ට දුන්නා ඒ වෙනකොට ලෝකෙ තිබ්බ දියුණුම තාක්ෂණය. ටොයෝටා ගෙනාවා. මිට්සුබිෂි ගෙනාවා. අද ජපානය ඉඳිකට්ටෙ ඉඳන් අභ්‍යාවකාශ යානාව වෙනකන් හදනවා. දැන් ජපානෝ ඉස්කෝලොවල අවුරුදු 10, 12 පොඩි උන් කතා කරන රොබෝලා හදනවා.   

වැසිකිළි  නෑ කියලා අපි හිනාවෙන ඉන්දියාව... මේ මොහොත වෙනකොට ලෝකෙ දියුණුම තාක්ෂණික සමාගම් වන ගූගල්, මයික්‍රොසොෆ්ට්, ඇපල් සමාගම්වල ප්‍රධානීන් ඉන්දියානුවො. කිලෝමීටර් 5000ක දිගුදුර බැලැස්ටික මිසයිල යවන්න තරමටම න්‍යෂ්ටික බලාගාර හදන තරමටම ඉන්දියාව දැවැන්තයෙක් අද. අබ්දුල් කලාම් ඔහුගේ Wings of Fire ස්වයං චරිතාපදානයේදි කියනවා ඉන්දියාවෙ මිසයිල වැඩපිළිවෙළට තාක්ෂණික සහය ගන්න ඉන්දිරා ගාන්ධි මැතිණිය ඔහුට දීපු සහයෝගය ගැන. අසාර්ථක වෙද්දි රජය තාක්ෂණික සහය ගන්න ප්‍රංශයට පවා යවලා ඔවුන්ව දිරිමත් කරපු ආකාරය ගැන. අද ඉන්දියාවෙ මුම්බායි කියලා කියන්නෙ තොරතුරු තාක්ෂණ නගරයක්. ඉන්දියාව තාක්ෂණික අංශයෙන් ලෝකෙ දැවැන්තයෙක් විදිහට චීනෙට පවා අභියෝගයක් වෙන තරමට ඉස්සරහට යනවා. ඉන්දියාවෙ වෙනසට හේතුව ලෝකෙට ගැළපෙන්න දීපු අධ්‍යාපනය.

එතකොට දෙවනි ලෝක යුද්දෙන් රට දෙකඩ වෙලා දූවිලි වෙච්ච ජර්මනිය අද ලෝකෙ විශාලතම ආර්ථික දැවැන්තයෙක්. යුරෝපා සංගමයේ බලවත්ම රාජ්‍යය. ලෝකෙ බලවත්ම කාර්මික රාජ්‍යයක්.
සිංගප්පූරුව, චීනය. ඊශ්‍රායලය. මේ හැම රටක්ම ගොඩනැගුණෙ එහෙම.

මතකද මුඩුක්කු දැක්කම කොරියාව කියලා හිනා වුණා. අද කොරියාවෙ උන් මුඩුක්කු දැක්කම කියනවලු ලංකාව වගේ කියලා.

මේ රටේ අනන්තවත්  පාසල්වල ප්‍රශ්න තියනවා. විශ්වවිද්‍යා‍ලවල ප්‍රශ්න තියනවා. ඔව්. අපි යාළුවො එකතු වෙලා හැම අවුරුද්දෙම ලංකාවෙ මොණරාගල වගේ දුෂ්කර පැතිවල තියන පාසලක් තෝරගෙන ඒ ඉන්න හැම ළමයෙකුටම අලුත් අවුරුද්දෙ පොත් ලැයිස්තු අරගෙන දෙන වැඩසටහනක් කරනවා. ගිය අවුරුද්දෙ පරිගණකයකුත් පරිත්‍යාග කළා. අත්දැකීමෙන්ම දන්නවා ඒ තියන ප්‍රශ්න. ඒවා 100% ක් ඇත්ත.

හැබැයි අපි රටක් විදිහට ලෝකෙ එක්ක තරගකාරීව ඉස්සරහට යන්න හිතන් ඉන්නවනං හැම ඉස්කෝලෙටම හොඳම ගොඩනැගිලි හැදිලා ළමයිට හොඳම පහසුකම් ලැබිලා, ලයිට් වතුර පාරවල් ඔක්කොම දීලා ඉවර වේලා ටැබ් දෙන්න හිතන් ඉන්නවනං හිත හදාගන්න, ඉපදෙන උන්ගෙ මුණුබුරාලටත් කියන්න වෙන්නෙ මේක සංවර්ධනය වේමින් පවතින රටක් කියලා තමයි.  මේ ලෝකේ ඉස්සරහට යන්නෙ අපි කවදාවත් නොහිතපු වේගයකින්. අපි ලෝකෙ ඉන්න තාක්ෂණික දියුණුව එක්ක අපිට සමානව හිටපු අනිත් රටවල් එක්ක අපි ඉන්නෙ ආලෝක වර්ෂ ගාණක් පිටිපස්සෙන්. අපේ විශ්වවිද්‍යාල පවා එහෙමයි. ඉතින් පාසල් ගැන කතා කරලා තේරුමක් නෑනෙ. අපි රටක් විදිහට ජාතියක් විදිහට ලෝකෙ එක්ක තරග කරලා දිනනවද? නැත්තං පැරදිලා කපුටන්ට කිරිබත් කව කව ඉන්නවද? කියලා තීරණය කරන්න ඕන තීරණාත්මක අවස්ථාව මේක.

අපිට තෙල් නෑ. අපේ මුතුන් මිත්තො හම්බ කරපු සල්ලිත් නෑ. අපිට යටත් විජිත නෑ . තෙල් තියන සෞදිය පවා කාන්තාවන්ට අධ්‍යාපනය දෙන්න පටන් අරන්.

අපිට ගොඩ එන්න තියන එකම ක්‍රමේ අධ්‍යාපනේ විතරයි. දැනුම විතරයි. ජපානෙ යුද්දෙන් කෑලි කැඩුණ රටේ පාරවල් හදලා බිල්ඩින් හදලා පස්සෙ උගන්නමු කිව්වනං, ඉන්දියාවෙ ඔක්කොටම වැසිකිළි දීලා උගන්නමු කිව්වනං, දකුණු කොරියාව, චීනෙ සිංගප්පූරුව, ජර්මනිය එහෙම හිතුවනං උනුත් තාම තුන්වෙනි ලෝකෙ හිඟන රටවල් විතරයි. ඉස්කෝලවලට ළමයින්ට පහසුකම් දෙන්න ඕනෙ අනිවාර්යයෙන්. හැබැයි මේ තාක්ෂණෙත් දෙන ගමන්.

හොඳට මතක තියා ගන්න. ඔය දෙන්නෙ පාට පාටට ලයිට් පත්තු වෙන යකඩ කෑල්ලක් නෙමෙයි. ඔය අතට දෙන්නෙ මේ ලෝකය. ඔය අපිට මේ අපායෙන් ගොඩ එන්න තියන එකම ක්‍රමය. ඔය දෙන්නෙ ටැබ් නෙමෙයි. ඔය දෙන්නෙ දැනුම. අනේ අපේ පොඩි උන්ගෙන් ලෝකෙ උදුරගන්න එපා. අඩු තරමෙ ගුරුවරුන්ටවත් දෙන්න.

[චමල් අකලංක පොල්වත්තගේ] [සුජිත් ප්‍රියන්ත]

මාතෘකා