විශේෂ කොමිටි, කොමඩියක් වීමට ඉතාම සමීපව ඇත

 ඡායාරූපය:

විශේෂ කොමිටි, කොමඩියක් වීමට ඉතාම සමීපව ඇත

අපේ ගෙදර ප්‍රශ්නයක් ආවා රාත්‍රී කෑම වේලට කන්නේ මොනවද කියලා. බිරිඳ කියනවා, බත් කියලා. මම කීවා ඉඳි ආප්ප කියලා. කතාව ඇදෙනකොට අපි තීන්දුවක් ගත්තා රාත්‍රී කෑම ගැන තීන්දුවක් ගන්න අපේ අක්කාගේ පුතා, බිරිඳගේ අක්කගේ දුව, අපේ පුංචි, බිරිඳගේ නැන්දා සහ සමෘද්ධි නියාමක ඉන්න පංච පුද්ගල කොමිටියක් පත්කරන්න. කොමිටියේ වාර්තාව එනකල් දවස් දෙකක්ම බඩගින්නේ ඉන්න බැරි නිසා අපි විවිධ දේවල් කාලා බීලා සාමාන්‍ය විදිහට ජීවත් වුණා. අවසානයේ, කොමිටිය දවස් දෙකක් රැස්වෙලා නිගමනයක් දුන්නා වඩාත්ම සුදුසු, අපි දෙන්නා කතාබහ කරලා සුදුසු දෙයක් කරන එකයි කියලා. අක්කගේ පුතා ඒ වාර්තාවේ ෆුට් නෝට් එකක් දාලා තිබ්බා, ගෘහ මූලිකයා ඔයා නම් පිරිමියෙක් වගේ තීරණයක් ගන්නැතුව ඇයි මාමේ මේ පොඩිදේටත් කොමිටි දදා කොමඩියක් වෙන්න හදන්නේ කියලා.   

ඒක වෙනම කතාවක්. මං මේ කියන්න ආවේ වෙන දෙයක්. ප්‍රශ්නයක් ආවහම තනි හිතුවක්කාර තීන්දුවක් නොගෙන අවබෝධය ඇති අයගේ සහ ප්‍රාමාණික වියතුන්ගේ උපදෙස් අරගෙන යම් තීන්දුවක් ගැනීම හොඳ ලක්ෂණයක්. නායකත්වයකට පත්වුණාම ‘මං තමයි පොර’ කියන හැඟීම ආරූඨ කරගන්න මිනිස්සු අතරේ පිරිසක් සමඟ සාකච්ඡා කරන්න තීන්දු කිරීමම එක්තරා කොලිටියක්. නමුත්, ඒක කොච්චර හොඳ වුණත්, ඒ ක්‍රමය බත්පතේ ඉඳලා රටක් ඇල්ලීම දක්වා කුදු මහත් සෑම අවස්ථාවකටම උචිත උපක්‍රමයක් නොවන බව නම් තේරුම් ගත යුතුය. උවමනා වෙලාවට හැමෝටම කන්දීලා තීන්දු ගන්නත් උවමනා වෙලාවට තනියම තීන්දුවක් අරගෙන ක්ෂණික උත්තරයක් දෙන්නත් නායකයෙක් දක්ෂ වෙන්න ඕනේ.      

පහුගිය කාලයේ රටේ මතුවුණු බොහෝ ප්‍රශ්නවලට නානාප්‍රකාර කොමිටි දාන බව නිරන්තරයෙන් අපි දැක්කා. සමහර ඒවා ඉතා ප්‍රශංසනීයයි. ඒත් සමහර කොමිටි සහ ඒවා දැමීම ගැන සමාජය තුළ තියෙන්නේ කල්මැරීමේ හෝ ඍජු බවක් නැතිකමේ ලක්ෂණයක් හැටියට ඒවා උපන්නා කියන අදහසක්. මොන ප්‍රශ්නයක් ආවත් මේකටත් කොමිටියක් තමයි කියලා කවුරු වුණත් පූර්වාකල්පනය කරන තත්ත්වයටම දැන් කොමිටි සුලබ වෙලා.   

තමන් විසින් පාලනය මෙහෙයවීමේ ක්‍රමවේදය සහ ප්‍රතිපත්ති පිළිබඳ යෝජනා ඇතුළත් මැතිවරණ ප්‍රකාශනයක් ජනතාව වෙත ඉදිරිපත් කරලා, ඒ ප්‍රකාශනය ජනතාව විසින් අනුමත කිරීමෙන් පසු, ජනතාව, තමන්ගේ විධායක බලය ජනාධිපති සහ අමාත්‍ය මණ්ඩලය වෙතත්, ව්‍යවස්ථාදායක බලය පාර්ලිමේන්තුවටත් පිරිනමලා තියනවා. එවැනි පසුබිමක, අවශ්‍ය විධායක සහ පරිපාලන තීන්දු ගැනීමේදී පාලකයින් කුකුසක් ඇතිකර ගැනීමේ අවශ්‍යතාවක් නෑ. යළි යළිත් ඒ ගැන ජනතාවගෙන් අසමින් ජනතාවට කරදර කරමින් ජනමතය හෑල්ලූ කරන්න උවමනාවකුත් නෑ. සිදු කළ යුත්තේ ඒවා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය යාන්ත්‍රණය නිවැරදිවත් වේගවත්වත් ඇතිකිරීම පමණයි. ජනතාව ආණ්ඩුවත් එක්ක විරසක වෙන්නේ තමන් විසින් අනුමත කළ ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොකරන විටදී විනා, ඒවා ක්‍රියාත්මක කිරීමේ දී නොවේ. ජනතාව නායකයින්ට කොන්ද පණ නෑ කියලා බණින්නේ, පොරොන්දු ඉටු නොකරන විටදී විනා ඒවා ඉටු කිරීමේදී නොවේ.   

අනෙක් අතට, ආයතන, දෙපාර්තමේන්තු ආදිය උපදේශකයන්ට හා නිලධාරීන්ට ඕනෑ ඕනෑ විදිහට හිතුමනාපෙට කරන්නට දී, යහපාලනේ නිසා අඟිලි ගහන්නෑ, කියා පැවසීම යනු යහපාලනය නොවේ. යහපාලනය හෝ නීතියේ පාලනය යන්නට අනවශ්‍ය පරිදි ඇඟිලි නොගැසීම වගේම, උවමනා පරිදි මැදිහත් වීමද යන දෙකම අයත්වන බව සිහියේ තබා ගත යුතුය. නොඑසේ නම්, ධුරාවලියේ පහළින් සිටින ග්‍රාම නිලධාරීවරයෙක් විධායකයේ සාමාජිකයකු වන ඇමතිවරයෙකුගෙන්, ඔයා කවුද මට උපදෙස් දෙන්න කියලා ඇහුවා වගේම හෙට දවසේ ජනාධිපතිවරයාගෙන්ද එවැන්නක් විමසිය හැකිය. ග්‍රාම නිලධාරිවරයා තමන් කවුද කියලා දැනගන්නවා වගේම, ඇමතිවරයා ද තමන් කවුද කියාත් දැනගත යුතුය. එසේ නොවන්නේ නම් එය යහපාලනය යැයි වරදවා තේරුම් ගෙන ගෝණි නැතිව කරේ යාමත්, පාලනයක් නොමැතිව දඩාවතේ යාමත් වැළැක්විය නොහැකි වනු ඇත. එහෙයින්, යහපාලනය, නීතියේ පාලනය, ප්‍රජාතාන්ත්‍රවාදය වැනි දේවල් සහ නෝන්ජල්කම, බයාදුබව, නොදන්නාකම වැනි දේ සමඟ පටලවා නොගත යුතුය.   

ලොකු හාමුදුරුවන්ගෙන් යමක් ඇසූ විට, පොඩි නමගෙන් අසන්න, ඇබිත්තියාගෙන් අසන්නැයි නිතර නිතර කියන්නේ නම් කලක් ඇවෑමෙන් නිරායාසයෙන්ම ලොකු හාමුදුරුවෝ කොන් වී පොඩි හාමුදුරුවෝ සහ ඇබිත්තියෝ ලොකු වීම වැළැක්විය නොහැක. එය ආණ්ඩුවකට හෝ රටකටද එසේමය. පාලකයා හෝ පාලනය යන්න කෝෂ්ඨාර්ථයෙන්ම ගත්තත් පාලනයක් තිබිය යුතුය. නායකත්වයක් තිබිය යුතුය. එය අත්හළ නොහැක. අත්නොහළ යුතුය. අවසන කියමි, කාගේවත් සිත් නොරිදවන ‘ඉතා හොඳ මිනිහෙක්’ වීම සහ ‘හොඳ පාලකයෙක්’ වීම යන සම්මාන දෙකම එකවර දිනාගත නොහැක. කරුණාකර එකක් තෝරා ගන්න.

[භාරත ප්‍රභාෂ්වර]

මාතෘකා