බාලගිරි අද නොවේ හෙට

 ඡායාරූපය:

බාලගිරි අද නොවේ හෙට

අලුත උපන් දරුවා බැලීම පිණිස මෑතක දිනක යහළුවකුගේ නිවසට යෑමට සිදු විය. දරුවාට උවමනා කරන ඇඳුම් පැලඳුම් හා තවත් උපකරණ කිහිපයක්ද රැගෙන මම එහි ගි‍ෙයමි. නිවසට යන විටත් දරුවා සුව නින්දේ පසු වූ බැවින් යහලුවා සමඟ සුළු පිළිසඳරක යෙදුණෙමි. අපේ කතාබහ අතර තුරදී හිටිවනම දරුවා හයියෙන් හඬන්නට විය.

" මචං... ඇයි දරුවා අඬන්නෙ...?"  

"දන්නෙ නෑ මචං.. හිටපු ගමන් හීනෙන් අඬනව... අම්ම නම් කිවුවෙ බාලගිරි දෝස නිසා කියල....මගෙ නම් ඕවා ලොකු විශ්වාසයක් නැහැ.."

නිවසට ඇතුළුවන විටම ප්‍රධාන දොරටුවට ඉහළින් ‘බාලගිරි දෝසය අද නොවේ හෙට’ යනුවෙන් ලියා තිබෙනු දක්නට ලැබීම නිසා මිතුරාගෙන් මම මෙසේ ඇසිමි.

" එතකොට ඇයි එහෙනම් බාලගිරි දෝසය අද නොවේ හෙට කියල දොර ළඟ ගහල තියෙන්නෙ.. "

" දරුවා ගෙදරට ගේන්න ඉස්සරවෙලා අම්ම ගහපු එකක් බං..."  

"කිවුවට තරහ වෙන්න එපා මචං සමහර විට ඔය බාලගිරියා වෙන භාෂාවක එකෙක් වෙන්න බැරිද ? හිංදි, දෙමළ, ඉංග්‍රීසි, මලයාලම්, තෙලිඟු නැත්තන් ග්‍රීක් වගේ භාෂාවක් දන්න එකෙක් වෙන්න ඇති.  ඒ නිසා සමහරවිට ඔය ලියපු එක කියවගන්න බැරුව ඇතුළට ආවද දන්නෙත් නැහැනෙ."  

යහළුවාගේ මුවෙන් සිහින් සිනහවක් නැගුනි. මම දිගටම කියාගෙන ගියෙමි.

"මචං. ඇත්තටම ඔතන ඇති බාලගිරි දෝසයක් නැහැ. ඕවා හිතේ හදාගත්ත විශ්වාස විතරයි. ඔයා ලෝකෙ වටේ ඇවිදල තියෙනවනෙ, කොහේ හරි වෙන රටක දැකල තියෙනවද බාලගිරි අද නොවේ හෙට කියල වෙන භාෂාවකින් ගහල තියෙන ගෙයක්, නැහැ නේද ? ඔහොම දෝස තියෙනව නම් ඇයි ලංකාවෙ දරුවො විතරක් හොයාගෙන එන්නෙ, වෙන රටවල ඉන්න දරුවො හොයාගෙන යන්න එයාලට හැකියාවක් නැද්ද ? ලංකාවෙ එහාට යාගන්න බැරි භූතයෙක් ගැන පෙරේතයෙක් ගැනද මේ අපි විශ්වාස කරන්නෙ ? අපි එහෙම එකෙක්ටද බය වෙන්නෙ...? "

උඹලගෙ අම්මා තව ටික දවස්කින් යාවි හොර කපුවෙක් හරි, කට්ටඩියෙක් ගාවට හරි, ගිහින් අහයි දරුවට නින්ද යන්නෙ නෑ අනේ දරුව සැරින් සැරේ නින්දෙන් ඇහැරෙනව මොකද්ද ඒකට කරන්න ඕනි කියල. ඊට පස්සෙ හිමීට රුපියල් ලක්ෂ  දෙක තුනකට විදල තොයිලයකුත් කරයි. ඒත් දරුවට සනීප වෙයි කියල හිතනවද? "විවාහ වෙච්ච යුවළකට දරුවෙක් කියන්නෙ මහා සම්පතක් කියල දන්නා ඔය කට්ටඩියො, කපුව  ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නව. දරුවන්ට තියෙන ආදරේ වැඩිකමටම දෙමාපියොත් මේ වගේ මිථ්‍යා මත විශ්වාස කරන්න පෙළඹෙනව. අවසානයෙ සල්ලිත් නැහැ, දරුවගෙ අසනීපෙ හොඳ වෙන්නෙත් නැහැ.
කතාව අසා සිටි මාගේ මිතුරාගේ මූහුණ හැඟුම්බර වී තිබුණි.  

" මචං තව දෙයක්, මේ දවස්වල දරුවා බලන්න නෑදෑයො, යාළුවො හැම දිහාවකින්ම එනව නේද? එ් මිනිස්සු එන්නෙ පාරෙ බස්වල, කෝච්චිවල නේද? ආපු ගමන් දරුවා අල්ලනව, ඉඹිනව නේද? ඒ මිනිස්සුන්ගෙ අත්වල මොන වගේ විස බීජ තැවරිලා ඇත්ද කියල නිකමටවත් හිතුවද? දරුවෙක් කියන්නෙ ඉතාම ඉක්මනින් ආසාදනයට ලක් වෙන්න පුළුවන් සංවේදී සමක් හිමි කෙනෙක්, කවදාවත් නොදැකපු බාලගිරියෙක් ගැන විශ්වාස කරල අද නෙවෙයි හෙට එන්න කියල බෝඩ් ගැහුවට දරුවා ඉක්මනින්ම අසනීප කරන්න පුළුවන් විසබීජ නවත්තන්න ක්‍රමයක් උඹ හිතුවෙ නෑ නේද? හිතේ තියෙන විශ්වාස එහෙම පිටින්ම නැති කරල දාන්න කියල කියනව නෙවෙයි. ඒවා එහෙම තියාගන්න, ඒවා පස්සෙ එල්ලිලා දුවන එක නවත්තන්න. ඒ විශ්වාසවලට තැන දෙනවට වඩා තැනක් දරුව අසනීප කරන්න පුළුවන් විසබීජ නැති කරල දරුවා ආරක්ෂා කරන්නත් කාලේ වෙන් කරන්න. දරුවගෙ ඇඳ ගාව විසබීජ නාශක දියර බෝතලයක් තියල තියන්න. එන අයට ඒකෙන් අත් පිහදගෙන දරුවා අල්ලන්න කියන්න, බාලගිරිට වඩා විනාශයක් ඔය විසබීජවලට කරන්න පුළුවන් කියල විතරක් හිතේ තියාගන්න "  

මගේ කතාව අසා සිටි මිතුරා එය බොහෝ දුරට පිළිගත් බවක් දක්නට ලැබුණා. බාලගිරි දෝෂයට වඩා දෝෂ ඔබ වටපිටාවේ ඇති විසබීජ මගින් දරුවාට රැගෙන එන බව පමණක් අවසාන වශයෙන් පැවසීමට කැමැතියි.

[චමල් අකලංක පොල්වත්තගේ] [සුජිත් ප්‍රියන්ත]

මාතෘකා