මෙගා නාට්ටිය

 ඡායාරූපය:

මෙගා නාට්ටිය

මෙගා නාට්ටියකි. මුත්තුකරුප්පන් චෙට්ටියාර් මෙන් අතේ කරේ කණේ නහයේ නළලේ ඇහි බැමේ බඩේ ඔළුවේ මාල වළළු තෝඩු අරුංගල් බ්‍රේස්ලට් පැළඳ මංගල සාරියෙන් සැරසුනු ආච්චිලාය. ඇන්ටිලාය. අක්කලාය. නංගිලාය. බැංකුවක් කඩා හදිසියේ පොලිසිය අත්අඩංගුවට ගැනීමට පැමි‍ෙණන විට නිවසේ ඉන්නා හොරෙක් මෙන් ටයි කෝට් සපත්තු දමා සිටිනා සීයලාය. තාත්තලාය. අංකල්ලාය. පුතාලාය. අයියලාය. මල්ලිලාය.

බාල දුවගේ කසාද ප්‍රශ්නයකි. අම්මලා කතා කළ සල්ලිකාර කොල්ලෙකි. කෙල්ලගේ පස්සෙන් එන සල්ලිකාර මැරයෙකි. කෙල්ලගේ පස්සෙන් එන කොලේජ් එකේ කොල්ලෙකි.

දුව... මේක ගැන අපි කතා කරන්න ඕනෙ.. ගෙදර මීටිමකි. පවුලේ දාහතරදාහක් පමණ මැදසාලෙට රැස්වී කතා කරති. අඬති වැළපෙති..

‘මට මෙහෙම දුක් විඳින්න බෑ අම්මේ..අම්මේ... ම්මේ.. මේ..මේ. ඒඑඅ ඒඑ ඒඑ  ඒ...(තුන් වරක් ස්ලෝමෝසන් ආකාරයෙන් අම්මා දෙස බලයි. ) මාගේ හද පත්ලෙන් බුර බුරා නැගෙනා අවංක අකලංක ප්‍රේමයෙන් මන රංජිත වේ නන්දිත වේ..’
කියද්දී.. (ඉයෝව් ඉයෝව් ඉයෝව්.... පසුබිම් වාදනය..)

දොර කඩාගෙන උත්තුංග දේහධාරී මැරයා පැමිණෙයි..  

( සිව්වරක් දොර බිමට වැටෙයි )

සිරිපිනාව බඳින්නේ මම මම මම ම ම ම ම........ ( ප්‍රතාපවත් හඬින් දෝංකාරය)  (වෙළඳ දැන්වීමක්.)

මෙගා නාට්ටිය බලන ප්‍රේක්ෂකයන් -  අනී මම නං කියන්නෙ සිරිපිනාව අද ටින්කර් කන්නා අරගෙන යයි.. අනේ මංදා දැන් සුමානයක් තිස්සෙ තාම මේ ප්‍රශ්නෙ ගැන කතා කරනවනෙ..

ඒ උනාට සංජේ මල්හෝත්‍රාගෙ පුතාට අකමැති වෙන්න හේතුවක් නෑනෙ.. ඌ ආදරෙයි සිරිපිනාට.

එහෙම කොහොමද අජේ තමයි කෙල්ලට වැඩියෙන්ම ආදරේ.. අනේ උන් දෙන්න බැඳලා ළමයි දෙන්නෙක් හදලා පවුලක් වෙලා ඉන්නවනං කොච්චර ලස්සනද.

නාට්ටිය පටන් ගනියි... එහෙම දෙන්න බෑ අපේ දුවව උඹට.. මේ පවුලේ නම්බුවට මොකද වෙන්නෙ.. ඒ ආච්චිය.

‘අනේ උඹලට නැතිවෙන්න නම්බුවක් කොහෙද තිබ්බෙ.. සිරිපිනාව බඳින්නෙ මේ කන්නා විතරයි.. ඒක මතක තියාගනින්...’

(ගෙදර වැඩකාරයා දුවගෙන එයි..) ‘ලොකු නෝනා, ලොකු නෝනා.. ගේට්ටුව ඉස්සරහ ලොකු මාමයිට් බෝතලයක් තියනවා.’

‘මොකක්..!!’ (පවුලේ සියල්ලන්ගේ ඇස් විශාල වී ඇසි පිය ගැසීම නවතියි.. සියල්ලෝම නැගිටිති.. එකිනෙකාගේ මූණු වලට කැමරාව ගමන් කරයි..  තාත්තාගේ මූණේ දාඩිය වැටී ඇත. කැමරාව නවතියි.. ඩිෂ් ඩිස් ඩිෂ් ඩිස්.. ලෙස අද්භූත වාදනයක් ඇසෙයි..)

‘අරන් වරෙන් ඇතුළට... තුළට.. ලට.. ට ට.’ (මාමයිට් බෝතලය පෙරළාගෙන පැමිණ සාලේ මැද කෙළින් සිටවයි. සියල්ලෝම තුෂ්ණිම්භූතව ඇසිපිය නොහෙළා බලා සිටිති. පවුලේ සිය ගණනකගේ මුහුණු හරහා කැමරාව ගමන් කරයි)

වෙළඳ දැන්වීමක් -  මාමයිට් බෝතලයේ මූඩිය කැරකි කැරකී ඉහළට එයි.. නිවැසියෝ අඩියෙන් අඩිය පසුපසට යති.

‘හහ් හහ් හා.... කවුරුත් නෙමෙයි සිරිපිනාව බඳින්නෙ මම මම මම ම.....!’

(එක්වරම මිනිසෙක් එතුළින් කෑගසාගෙන ඉහළට එයි.) සියල්ලන්ම කටට අත තබාගෙන විස්මයෙන් කෑගසයි..

(ප්‍රේක්ෂකාගාරය - ‘හානේ සිරිපිනාගෙ තාත්තගෙ කොම්පැනියෙ කලින් හිටපු බොස්නෙ ඒ..’) ‘ඩේයි විඩම්මාට්ටා.. සිරිපිනා මගේ... මේ කන්නා සිරිපිනාව කාටවත් දෙන්නෑ..’

නෑ මගේ....නෑ මගේ මගේ.... ‘නෑ ඔය දෙන්නගෙම නෙමෙයි.. සිරිපිනා මගේ...’ (ටයි කෝට් පැළඳ රෝස මල් පොකුරක් දරාගෙන කඩවසම් තරුණයෙක් බිම වැටුණු දොරට උඩින් අඩිය තබමින් පැමිණෙයි.. පවුලේ සියල්ලෝම ඒ දෙස බලති..)

‘අම්මේ මේක කරන්න බෑ.. ඔයාම තීරණය කරන්න.. සිරිපිනා බඳින්නෙ කාවද කියලා..’ තාත්තා ආච්චි අම්මාට කියයි..

ම්ම්ම්ම්ම්.. කන්නා පුතා හොඳයි.. සංජේත් හොඳයි.. අජෙත් හොඳ කොල්ලා ඉතින්.. (සිරිපිනා කඳුළු සලමින් හඬයි..) හොඳයි මම කියන්නම් කවුද කියලා... (ඩිෂ් ඩිෂ් ඩිෂ් ඩොෂ්.. ලබ් ඩබ් ලබ් ඩප්.. ලබ් ඩබ්..)  සියලු දෙනාගෙම මුහුණුවලට කැමරාව ගමන් කරයි.. මේ අතර ප්‍රේක්ෂකාගාරය - ‘අම්මේ අම්මේ.. ඉක්මන්ට එන්න..’ මොකද ළමයො බෙරිහන් දෙන්නෙ.. ආච්චි කියන්න හදන්නෙ කාවද සිරිපිනා බඳින්නෙ කියලා.. (මතු සම්බන්ධයි.. සිරිපිනාගේ අත ගන්නේ කවුද.. ඊළඟ කොටස ලබන සතියේ බලන්න...)

‘අයියෝ.. දැන් ඒක දැනගන්න ඊළඟ සතිය වෙනකන් ඉන්න එපැයි. ෂික් අපරාදෙ.’ ‘මේ මොකද ළමයො කෑ ගැහුවෙ..’ ‘අනේ අම්මේ මෙන්න හොරේඒඒඒඒඒඑක්...!!!! අපේ අල්මාරිය ඇරලා.. බඩු ඔක්කොම ඇදලා....!! අම්මේ.........!!!’

[චමල් අකලංක පොල්වත්තගේ] [සුජිත් ප්‍රියන්ත]

මාතෘකා

 
 
 
රටේ අපරාධ රැල්ල අඩු කිරීමට කළ යුත්තේ ?