පණිවුඩයක් තියා ජගත් රණතුංග ගිහින්

 ඡායාරූපය:

පණිවුඩයක් තියා ජගත් රණතුංග ගිහින්

‘කරදිය ලෝලියාගේ තෙතබරිත සැන්දෑව’ නම් අමුතු කවි පොතෙන් අනූව දසකයේදී සිය අනන්‍යතාව තියුණු ලෙස සටහන් කරමින් කරළියට පැමිණි ජගත් රණතුංග, ඊයේ (18) ඊට නොදෙවෙනි තරම් තියුණුකමකින් යුතුව යළිත් වරක් සිය අන්‍යතාව නිහඬව සලකුණු කොට නික්ම ගියේය.

අනූව දසකයේ තරුණ සංහාරයෙන් ඉක්බිති, දිවි ගලවාගත් පරපුර හොර රහසේ හුස්ම ගත් පුවත්පත් කවි පිටු අතර ඔහුගේ නම කළු අකුරින් සලකුණු විය. අනුකාරක ලක්ෂණ බහුල ඒ කවි පරපුර අතර ස්වීයත්වය ඔහුගේ අනන්‍යතා ලකුණ විය. මතු වීමට හෝ බැබැලීමට කිසිදු උද්‍යෝගයක් නොපෙන්වූ ඔහු ගෙවුණු තිස් වසරකට ආසන්න කාලය තුළ දිගු විරාම සහිතව තවත් කෘති 4ක් එළිදැක්වීය. ‘උන් හිටි තැන්’ හා ‘ගඟේ ගිය දවස්’ කාව්‍ය සංග්‍රහ දෙකද, ‘මුරේ’ කෙටි කතා සංග්‍රහයද ‘දඹදිව ගිය හීන් අප්පු ආතා’ නම් ළමා පොතද ඒ අතර වෙයි. තවත් පොත් තුනක වැඩ අවසන් කර ඇති බව, ඔහු ළඟින් ඇසුරු කළ අයට කියා තිබේ. නවකතාවක්ද කෙටිකතා සංග්‍රහයක්ද භාෂාව සම්බන්ධ ශාස්ත්‍රීය කෘතියක්ද වශයෙනි.

සුවිශේෂ අනන්‍යතාවකින් හෙබි චිත්‍රශිල්පියකුද වූ ජගත්, තම කෘතිවල පිටකවරද ඇතුළත සිතුවම්ද නිර්මාණය කළේය. අනූ ගණන්වලදී ඔහු තම කාව්‍ය නිර්මාණ හා චිත්‍ර නිර්මාණ ඇතුළත් ප්‍රදර්ශනයක් කොළඹදී පැවැත්වීය. ජගත් රණතුංග බොහෝ දෙනෙකුට ප්‍රියමනාප, මිත්‍රශීලී මතකයකි. එහෙත් ඔහු කිසිදු කණ්ඩායමක් හෝ ප්‍රවණතාවක් නියෝජනය නොකළේය. ඔහු ‘තනියෙකි.’ ඔහු තමන්ගේ වැඩේ, තමන්ගේ ක්‍රමයට, තමන්ට ඕනෑ විදියට කරගෙන ගියේය.

ඔහුගේ වෘත්තීය ජීවිතය බොහෝ තැන්වල ගෙවිණි. මුල් කාලයේ ඔහු නිවාස අධිකාරියෙහි සේවය කළේය. මාතොට සඟරාවේ ආරම්භක සංස්කාරක මණ්ඩලයේද, බොදුනු සඟරාවෙහිද, ලේක්හවුසියේ දිනමිණෙහිද, news.lk වෙබ් අඩවියෙහිද සේවය කළ ඔහු අන්තිමට ලංකාදීප පුවත්පතේ සේවය කරමින් සිටියේය. ජීවිතයේ 58 වැනි වසර ගෙවමින් සිටි ඔහු දෙදරු පියෙකි.

වසර කිහිපයකට පෙර ඔහු ලියා තැබූ සටහනට හැකි ෙතක් සාධාරණය ඉටු වන පරිද්දෙන් ඔහුගේ සමුගැනීම සංවිධානය කරන්නට තරම් ඔහුගේ සමීපතමයින් ඔහුට ආදරය කළ බව සටහන් කර තැබීම යුතුකමකි. මේ ඔහු ලියා තැබූ පණිවුඩයයි.

මා මළ විට මෙසේ කළ මැන

මා කොහොම මැරේවිදැයි දන්නේ නැහැ. කොහොම මැරුණත් මගේ මරණෙට කළ යුතු දේ මා මේ විදියට ලියා තියනවා. කරුණාකරලා මේක මේ විදියටම කරන්න පවුලේ අය වගබලා ගන්න කියලයි මා ආයාචනා කරන්නේ.
මා හිතනවා මැරුණයින් පස්සෙවත් මගේ කැමැත්තට ඉඩක් ලැබේවි කියලා.

1. ගෙදරදී මැරුණොත් මුලින්ම ග්‍රාමසේවක සහතිකය ගන්න.
2. ළඟම තියෙන මල් ශාලාවට දුරකථන ඇමතුමක් දෙන්න.
3. ඒ කට්ටිය ආවම මගේ මළකුණ වහාම අරන් යන්න කියන්න. අරන් ගිහින් ඇඳන් හිටපු ඇඳුම් පිටින්ම භූමදාන කරන්න කියන්න. නැත්නම් ආදාහනාගාරයක දවන්න කියන්න.

මගේ මළකුණ බලන්න කව්රුවත් මල්ශාලාවට යන්න ඕන වෙන්නෙ නෑ. මළමිනියට අන්දන ඇඳුම් අන්දවලා මල්ශාලාවෙ පෙට්ටියක තියන්න එපා. ගෙදර කට්ටිය කවුරුවත් මගේ භූමිදානය හෝ ආදාහනය හෝ බලන්න යන්නත් එපා. ගෙදරින් මළකුණ ගෙනිච්චාට පස්සෙ වැඩේ සදහටම ඉවරයි කියලා හිතාගන්න.

වැඩේ ඉවරවුණාම අපේ ගෙවල්වල කට්ටියට කියන්න.

මරණෙ තියා නොගත්ත අපවාදෙන් බේරෙන්න මේ රාමු කරපු ලියවිල්ල දොස් කියන කට්ටියට පෙන්වන්න.

මරණෙට ප්‍රසිද්ධිය ඔන නෑ. කොළ අච්චුගැහිලි, තොරංබැඳිලි, පත්තරේ දැමිලි, බැනර් ආදිය කිසිවක්ම එපා. ආරංචි වෙලා ආපු කට්ටියට පුංචි පහේ සංග්‍රහයක් කරන්න. දාන දෙන්න ඕන නෑ. මොකද, මට පිං කිසිවක් ඕන නැති නිසා. අනික කාටවත් කාගෙවත් පිං දෙන්න බැහැ. තම තමන් කර කියාගත්ත දෙයක් විතරයි ඉතුරු වෙන්නෙ. අනික, පින් අනුමෝදන් කරනවාය කියන කතාව බුදුහාමුදුරුවෝ කියපු කතාවක් නෙවෙයි. මිහිඳු හාමුදුරුවො අශෝක රජ්ජුරුවන්ගෙ බුද්ධාගම ලංකාවට අරන් එනකොට ලංකාවෙ ජනතාව අදහමින් හිටියේ මළවුන්. ඒක කරනවට වඩා පින් අනුෙමා්දන් කරන එක හොඳයි කියලා උන්නාන්සෙ හඳුන්වලා දීපු පාර තමයි මේ කට්ටිය පින් අනුමෝදම කරන්නෙ. රේරුකාණේ හාමුදුරුවෝ කියනවා වගේ මළාට පස්සෙ දර කෑල්ලක් තරංවත් වටින්නෙ නැති මළකුණ ගෙදර තියාගෙන උත්සව පවත්වන මෝඩයන්ටයි මේ කියන්නෙ. දෙයියො ගැන මට කිසිම විශ්වාසයක් නැහැ. දවස් හතෙන් කරන, තුන් මාසෙන් කරන බණ දේශනා, හාමුදුරුවො ගෙන්වීම්, පිංකං මොනවත් එපා. ජීවත් වෙලා ඉන්නකම් මා දාන මාන දීලා තියෙනවා. ඒවා පිං බලාගෙන කරපුවා නෙමෙයි. මනුස්සකමේ නාමයෙන් කරපුවා. පිං දෙන්නත් බැහැ. පින් ගන්නත් බැහැ. සංසාරයක් තියේ නම් ඒ චක්කරේ ඕන තැනක් මට ඔට්ටුයි. අද තියෙන, ලෝකෙ වෙන කොහේවත් නැති සිංහල බුද්ධාගමට මම කැමැතිත් නැහැ. බුදුහාමුදුරුවො ලංකාවට ආවෙත් නැහැ. ඒක මහාවංශය ලියපු මහානාම හාමුදුරුවෝ ලංකාවෙ යශෝරාවය පිණිස ලියපු සාහිත්‍ය පරිකල්පන මායාවක්.

කොහොම වුණත් මළ විට මගේ මරණය කිසිවෙකුට කරදරයක් කරන්න එපා.

මෙයට ආදරණීය ජගත් රණතුංග
වයස අවුරුදු 56යි. ඉපදුණේ 1959
ජුනි 14
2014-10-27-

[ජයසිරි ජයසේකර]

මාතෘකා