තාම බබාලා නැද්ද? | ඇස පාදන රැස


තාම බබාලා නැද්ද?

 ඡායාරූපය:

තාම බබාලා නැද්ද?

මේ ළඟකදි හරිඅපූරු සිද්ධියක් මාධ්‍යය ආයතන වලින් වාර්තා කරල තිබ්බා. මාතර ප්‍රදේශයෙ එක්තරා ස්ථානයක පවත්වාගෙන ගිය දේවාලයක් පොලිසිය විසින් වැටලීම තමයි ඒ පුවත වුනෙ. මේ අදාළ දේවාලය කරගෙන ගියපු පුද්ගලයා දරු ඵල අහිමි අය සඳහා දරුඵල ලබා දෙනවා කියමින් දහස් ගණන් මුදල් වංචාවක නියැලීම තමයි ප්‍රධාන චෝදනාව උනේ. එම ස්ථානයට පැමිණෙන කාන්තාවන්ට යම්කිසි කුඩු ද්‍රවයක් දියකර බීමට ලබා දී පසු දිනයක පැමි‍ෙණන ලෙසත් සඳහන් කරයි. නැවත පැමිණි පසු එම ස්ථානයේදී කාන්තාවගේ මුත්‍රා සාම්පල පරීක්ෂණයකින් පසු ඇය ගැබ් ගෙන ඇතිබව සඳහන් කරමින් මුදල් ලබාගනී. තවද වෙන කිසිම තැනකින් නැවත පරීක්ෂා නොකරන ලෙසද තරයේ ඉල්ලා සිටී. සතියක් දෙකක් ගතවන විට ගැබිනි කාන්තාවකට අදාළව සිදුවන ශරීර වෙනස්කම් සිදු නොවන නිසා  ප්‍රතිකාර ලබාගත් කාන්තාවන් මේ ගැන සොයන්නට ආරම්භ කර අදාළ ස්ථානයට ගොස් මුදල් ඉල්ලා ඇති අතර මුදල් නොලැබීම සහ තමන්ගේ අපේක්ෂාවන් නැවතත් සුනු විසුනු වීම නිසා ඇතිවන කේන්තිය සහ දුක හේතු කොටගෙන නීතියේ පිහිට පතා ඇත.   

එම සිද්ධිය සාරාංශයක් ලෙස එසේය. මෙතනදී අපි සලකා බැලිය යුතු කාරණා කිහිපයක් ඇත. මේ කාන්තාවන් දරුඵල සොයමින් මෙවැනි ස්ථානයන්ට යොමු කරන්නේ කවුද?   
දෙන්නෙක් කසාද බැඳපු ගමන් දකින දකින සැරේ ඒ යුවලගෙන් විමසන කාරණාව තමයි " කවද්ද තුන් වෙනියෙක් ගේන්නෙ" "තාම බබාලා නැද්ද" " ඇයි අනේ බබාලා හදන්නෙ නැත්තෙ... බලන්න අර යසවතී නැන්දගෙ දුව බැඳලා අවුරුද්දයි.. ළමයෙක් ලැබෙන්නත් ඉන්නව." මෙවැනි කාරණා සමාජයේ නිතරම අහන්න දකින්න ලැබෙන සිද්ධීන්ය.   

මෙවැනි දෑ ඇසීම මගින් අදාළ පාර්ශවය කොතරම් පීඩාවට පත්වනවා ඇත්දැයි ඔබ සිතනවාද.. " අන්න.. වඳ ගෑනි යනව, උදේ පාන්දර දැක්කොත් මූසලයි.. ඔය ගෑනිට ළමයෙක්වත් නෑ. ගෙදරකට වද්දගන්න හොද නෑ මූසලකම.." " අපෝ අරූට ළමයෙක් හදාගන්න බැරි එකානෙ. නපුන්සකයා.."  දරුඵල අහිමි පිරිස පීඩාවට පත්කරන්න මේ කතා ඉවහල් වෙන්නෙ නැද්ද. ගඟේ ගහගෙන යන මනුස්සයා තමන්ගෙ අතට අහුවෙන පිදුරු ගහේ හෝ එල්ලී ජීවිතය රැකගැනීමට උත්සාහ කරනවා කියා අපි අසා ඇත. සමාජය ඉදිරියේ හෑල්ලුවට ලක්වන මනුස්සයා සමාජය ඉදිරියේ අනික් අය මෙන් ජීවත් වීමට ආශා කරන නිසා ඒ පිළිගැනීම ලැබීමට ආශා කරන නිසා කෙසේ හෝ දරුඵල ලබා ගැනීමට උත්සාහ කරයි.   

නිකමට හිතන්න මේ කියවන ඔබලාත් අර අසරණ වෙච්ච මිනිස්සුන්ට වංචා කාරයන්ට හසු වන්න කී පාරක් නම් උදව් කරල තිබේද යන්න. ඒ අසරණ භාවයට පත්කරල තියෙනවද යන්න. යම් කාන්තාවක් ගැබ් ගැනීමට නම් කාන්තාවක් හා පිරිමියකු ලිංගිකව එකතුවීම මගින් සාරවත් ශුක්‍රානු හා සාරවත් ඩිම්බයක් එකතුවී කාන්තාවගේ ගර්භාශය තුළ තැන්පත්වීම සිදුවිය යුතුය. මේ ගැබ් ගැනීම සඳහා අපි දන්නා සරළම ක්‍රමයයි. කවුරු හෝ පිස්සෙක් කුමක් හෝ කුඩක් දියකර බොන්න දුන් පමණින් ගැබ් ගැනීම සිදුවනවා යැයි සිතීමට තරම් 21 වන සියවසේ ජිවත්වන අපි තාමත් පෙළඹෙනවායැයි අසන්නට ලැබීමත් ඛේදවාචකයකි.   

සරලවම ලිංගික අධ්‍යාපනය ගැන සමාජය තුළ කතා කිරීමට බිය වීම. නිසියාකාර ලිංගික අධ්‍යාපනයක් නොලැබීම මෙයට හේතුවයි. අප ජීවත් වන සමාජයේ ඇති සංස්කෘතික පසුබිම මගින් ඇති කරනු ලැබ ඇති ලැජ්ජාව බය නිසා ලිංගිකත්වය යනු හුදෙක් කුණුහරුපයක් බවට පත්කර ඇත. යම් කුඩක් දියකර පොවා ගැබ් ගැනීම සිදුවනවා යැයි අසරණ මිනිසුන්ගෙන් මුදල් ගැරීමට හොර තක්කඩින්ට පාර කපනුයේ මේ අධ්‍යාපන ක්‍රමයේම හිඩැස් නිසාවෙනි. යම්කිසි යුවලකට දරුඵල නොමැති නම් ඒ සඳහා ගත හැකි ක්‍රියාමාර්ග තිබේ. දරුඵල නොමැතිවන්නේ ජෛව විද්‍යාත්ම කාරණා නිසාවෙනි.   

කාන්තාවගෙ ගර්භාශය ශක්තිමත් නොවීම, නිසියාකාර ලෙස ඩිම්බ සංසේචනය නොවීම යන කාරණා එයට බලපායි. පිරිමියෙකුගේ ශුක්‍රාණු වල ශක්තිය හීන වීම ප්‍රධාන වශයෙන් පිරිමියකු දරුඵල නොලැබීමට හේතුවේ. කෙසේ හෝ මේ හේතු දෙකටම වෛද්‍යය විද්‍යාවෙන් පිලිතුරු සොයාගෙන ඇත. ශුක්‍රානු බැංකුවකින් ගුණාත්මක ශුක්‍රානු සොයාගෙන ගර්භාශය තුළ තැන්පත් කිරීම වැනි ක්‍රම ලෝකයේ ක්‍රියාත්මක වේ. එසේ ක්‍රියාත්මක වී තිබියදීත් කුඩු වර්ගයක් දිය කර බීමෙන් ගැබ් ගැනීම සිදුවනවා යැයි සිතන්නට තරම් අධ්‍යාපනය කෙතරම් පසුගාමීදැයි සිතිය යුතුය. ගඟේ ගහගෙන යන මිනිසෙකුට ජීවිතය බේරාගන්න ලනුවක් දැමීමට කොටයක් දැමීම නොහැකි නම් අවම වශයෙන් ඔවුන් ගඟට තල්ලු කිරීමෙන් වැලකී සිටින්න.. දරුඵල අහිමිවීම මත හෝ දරුවන් නොසෑදීම මත ඔවුන් සමාජය ඉදිරියේ හෑල්ලුවට ලක් කරමින් මානසික පීඩනයට පත් කිරීමෙන් වලකින්න.

[චමල් අකලංක පොල්වත්තගේ] [සුජිත් ප්‍රියන්ත]

මාතෘකා