මිනිස් නිදහස සහ අධිකරණය

 ඡායාරූපය:

මිනිස් නිදහස සහ අධිකරණය

"ව්‍යවස්ථාව කන්ඩද?"

අපට ජීවත් වෙන්ඩ විදියක් තියනව නං මොකා මොන ව්‍යවස්ථාව කැඩුවත් අපට කමක් නෑ."

"ව්‍යවස්ථා මර උගුලෙන් රට බෙදන එක නවත්වමු"

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පසුගිය දිනවල නිතර අසන්නට ලැබුණු කතා එපරිදිය. මේවා උගත් නූගත් භේද ඉක්මවා පොදු කතා බවට පත් විය. කටවල් ඇවිස්සීමේ ආසන්නතම හේතුව විධායකය 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇතැයි එල්ල වූ චෝදනාවයි. ඒ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් දී ඇති හෙයින් වැඩිදුර ලිවිය යුතු නොවේ. මෙහිදී මගේ අවධානයට ලක්වන්නේ අතීත‍ෙය්දී විධායකය අත්තනෝමතික ලෙස කටයුතු කරන අවස්ථාවල අධිකරණ තීන්දු රටේ යහපතට බලපෑ ආකාරයයි.

විධායක ජනාධිපති ධුරය හරි අපූරු එකකි. එය අහෝසි කරන්නට පැමිණි අය පුටුවට වශී වූ පසුව අහෝසිය පැත්තක දමා වෙන වෙන වැඩ පටන් ගනිති. ඒ අනුව නීතිය යනු තමාය. තම තීන්දුවලට කිසිවකුට අභියෝග කළ නොහැකිය.

එය ජනතා පරමාධිපත්‍යයට පටහැනි චර්යාවකි. එසේ සිතන අය දඬුකඳේ ගැසීමේ හැකියාව අධිකරණයට ඇත. තමා රටේ බාරකරුවා මිස හිමිකරුවා නොවන බව එවිට වටහාගත යුතුය. අධිකරණය සිය ගරුත්වය ආරක්ෂා කර ගනිමින්ද මහජන යුක්තියට ගරු කරමින්ද ලබා දුන් ඓතිහාසික නඩු තීන්දු ලිඛිත සාහිත්‍යයෙහි හොඳ මූලාශ්‍ර බවටද පත් වනු පෙනෙයි.

දේශීය සම්පත් විදෙස් සමාගම්වලට කොල්ල කෑමට ඉඩදීමට එරෙහිව ලබාදුන් නඩු තීන්දුවක් මගේ සිත් ගත්තේය.

එනම් එප්පාවල ඓතිහාසික පොස්පේට් නිධිය සම්බන්ධයෙනි. මෙය විකුණා දැමීමේ තදියමක් විධායකයට තිබිණි. කේවට්ටයන්ගේ උපදෙස් ඊට බලපෑවේය. එදා අධිකරණය, කේවට්ටයන්ට හා විධායකයට යස පාඩමක් ඉගැන්වීය. 1971 වසරේදී ශ්‍රී ලාංකීය විද්‍යාඥයන් විසින් සොයා ගනු ලැබූ පොස්පේට් නිධිය 1990 දශකයේදී ඇමෙරිකාවේ ප්‍රීපෝර්ට් පැන්මොරන් සමාගමට විකිණීමේ සැලසුම ක්‍රියාත්මක විය. එයින් සිදු වන විශාල හානිය පිළිබඳ පුළුල් කථිකාවතක් දේශීය මට්ටමින් ඇරඹිණ.

පොස්පේට් නිධිය රහසිගතව බදු දීමට කටයුතු කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි ප්‍රකාශ කරමින් එප්පාවල ගල්කන්ද රාජමහා විහාරයේ මහනාන්කඩවල පියරතන හිමි ඇතුළු සත් දෙනෙක් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළහ. මාර්ක් ප්‍රනාන්දු, වඩුගොඩපිටිය සහ ගුණසේකර යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල විසින් නඩුව විභාගයට ගන්නා ලදි.

පෙත්සම්කරුවන් විසින් පවරා තිබූ අංක 884/99 ජේ දරන නඩුවෙහි තීන්දුව ලියුවේ කීර්තිමත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වූ ආචාර්ය ඒ.ආර්.බී. අමරසිංහ විසිනි.

ශ්‍රී ලංකාවේ ස්වාභාවික සම්පත්වල ආරක්ෂකයා ආණ්ඩුව මිස උසාවිය නොවේ යැයි නඩු විභාගයෙහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥවරයා විසින් ප්‍රකාශ කර තිබිණි. ඒ අනුව පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස කරන ලද තර්ක නොපිළිගනිමින් විනිසුරුවන් විසින් දක්වන ලද කරුණු සහ උපුටන ඓතිහාසික සාධක ඔස්සේද තහවුරු කෙරිණ. ඒ කෙසේද යත්;

“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි ඇති පරිදි පරමාධිපත්‍යය ජනතාව සතුය. ව්‍යවස්ථාදායක බලය” පාර්ලිමේන්තුවට පැවරෙන අතර විධායක බලය ජනාධිපති / ජනාධිපතිනිය මඟින් ක්‍රියාත්මක වේ. ජනතාව සතු ස්වාභාවික සම්පත්වල භාරකාරත්වය දරන්නේ ආණ්ඩුවයි. එහෙත් මහජනයා විසින් බලයට පත් කරන ආණ්ඩුව එම සම්පත් නිසි කළමනාකාරිත්වයකින් පාලනය කළ යුතුය.”

එම සංකල්පය අතීතයෙහි සිට පැවති බවට සාධක ගෙනහැර දක්වන ශ්‍රේෂ්ඨාධිකරණය මහාවංශයෙහි ඡේදයක් උපුටා දක්වයි. එහි දැක්වෙන්නේ රජතුමා රාජකාරිවල යෙදෙන්නන් අමතා දෙනු ලැබූ එක්තරා උපදෙසකි.

ඒ කෙසේද යත්;

“මාගේ රාජධානියෙහි වැසි දියෙන් අස්වද්දන කුඹුරු විශාල ප්‍රමාණයක් ඇත. එහෙත් ඇළ දොළ ගංගා දියෙන් සහ වැව් දියෙන් වගා කරන කුඹුරුද තිබේ. මේ භූමියෙහි කඳු හෙල්, වනගහනය සහ වගුරුද බහුලය. එවැනි භූමියක අහසින් වට එක් දිය බිඳකුදු මිනිසාගේ ප්‍රයෝජනයට නොගෙන අපතේ නොයැවිය යුතුය. සියලු බිම්වල කෙත්වතු ඇති කළ යුතුය. එහෙත් මැණික්, රත්රන් වැනි වටිනා සම්පත් පිහිටි බිම්වල එසේ නොකළ යුතුය.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙහි දක්වා ඇති පරිදි සම්පත් කළමනාකරණයෙහිදී විධායකයට ඉතා වැදගත් වැඩ කොටසක් පැවරේ. එහෙත් විධායක බලය යෙදීම සම්බන්ධයෙන් අධිකරණ විමර්ශනයට යටත් වේ. පාර්ලිමේන්තුවට නීති පැනවිය හැකි වුවත් නීති අර්ථ නිරූපණය කිරීමද පාර්ලිමේන්තුවෙහි අභිමතය පරිදි එයට ජනතා කැමැත්ත ඇතුළත් කිරීමද අධිකරණයට අයත් කාර්යයකි. මිහිඳු හිමියන් දේවානම්පියතිස්ස රජතුමාට දුන් උපදේශයද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙහි ඇතුළත්ය.

ඒ කෙසේද යත්;

“මහරජ, මේ භූමියෙහි ඕනෑම තැනක ජීවත්වීමට සහ යෑමට ඒමට ඔබට ඇති අයිතියම අහසේ සරන පක්‍ෂීන්ටද වනයෙහි සරණ සතුන්ටද ඇත. භූමිය අයත් වන්නේ ජනතාවට සහ අනෙක් සියලු ජීවින්ටය. ඔබ එහි ආරක්‍ෂකයා පමණි. ”

මාතෘකා