ජීවිතය මරණය අතරතුර...

 ඡායාරූපය:

ජීවිතය මරණය අතරතුර...

වාට්ටුවට ඇතුළු වන තැනම තියා ඇති ප්ලාස්ටික් නත්තල් ගහ වටේ ඔතා ඇති දැල්වෙන නිවෙන විදුලි පහන් එළිය මලානික බවක් ගෙන ආවේය. නත්තල් දවසේ රෑ සුපුරුදු පරිදි රාත්‍රී වැඩ බාර වුණේ මටය. මධ්‍යම රාත්‍රිය පසුවෙද්දී ප්‍රසව හා නාරිවේද වාට්ටුවෙන් ආ දුරකථන ඇමතුමෙන් කියවුණේ හදිසි සීසර් සැත්කමක් සිදු කරන්නට යන නිසා හැකි ඉක්මනින් ශල්‍යාගාරය වෙත එන ලෙසය.

ශල්‍යාගාරයට දිව ගිය විගස අප කළ යුත්තේ ඇඳුම් පැලඳුම් සහ පාවහන් මාරු කරගැනීමය. පාවහන් ගලවා ශල්‍යාගාර පාවහන් පැලඳ ඇතුළු වන දොරෙන් ආපසු ඇඳුම් ආයිත්තම් සියල්ල ගලවා තබා විශේෂ ශල්‍යාගාර ඇඳුම්වලින් සැරසී අනෙක් දොරෙන් කෙළින්ම ශල්‍යාගාරයට පිවිසි මට දකින්නට ලැබුණේ බොහෝ කලබලකාරී ලෙස ට්‍රොලිය මත දඟලමින් සිටි මවකි.

“නත්තල් දවසේ ජේසු බබෙක් ඉපදෙන්න යන්නේ” කියමින් මම ඔවුන් අසලට යද්දී,

“ඇඳුමක්වත් ගෙනත් නෑ ඩොක්ටර්” යැයි ඇය ආම්බාන් කරමින් සිටි මිඩ් වයිෆ් මිස් මා දුටු සැණින් කීවේ විටින් විට මගේ හිත මිතුරියන් විසින් පරිත්‍යාග කරන ලද ළදරු ඇඳුම් සහ මවුවරුන්ට අවශ්‍ය දෑ සංචිතයක් අපේ වාට්ටුවේ තිබෙන නිසාය.

“එහෙන් ඉල්ල ගන්න” මම කීවෙමි.

ඇගේ සායනික සටහන් ඇති ෆයිල් කවරය රැගෙන එහෙ මෙහෙ පෙරළා බැලූ නමුත් මාතෘ සායන සටහනක් එහි නොවීය.

“ක්ලිනික් ගිහින් නෑ. දින දන්නෙත් නෑ. ආ ගමන් ස්කෑන් කරලා ආසන්න වශයෙන් දිනේ මම ලියලා තිබ්බා. රණ්ඩුවක් වෙලා තාත්තා බඩට ගැහුවා කියලයි කියන්නේ, ගෙයක් නෑ පාලමක් යට ඉන්නේ. හිඟා කන පිරිසක්.”

මවගේ ඉතිහාසය මා හමුවේ දිග හැරියේ ප්‍රසව වාට්ටුවේ වෛද්‍යවරයාය.

නොනවත්වා රුධිරය ගැලීම හේතුවෙන් මේ මව රෝහලට ඇතුළු වී තිබූ අතර ඇයගේ කුස තුළ සිටි දරුවාගේ හෘදස්පන්දන වේගය අඩුවෙමින් පැවති නිසාත් වැදෑමහ තුළින් රුධිරය ගැලීමක් යැයි සැක කළ නිසාත් දරුවාගේ තත්ත්වය සලකා හදිසි සැත්කමක් සිදු කළ යුතු විය.

ඔවුන් සැත්කමට සූදානම් වන අතර ඒ මව හැසිරුණේ කුඩා දරුවෙක් මෙනි. “මට රිදෙයි. අනේ මොනවද ඔය බලන්නේ, මල කෝලම්, කරන මඟුලක් ඉක්මනින් කරනවා.” වැනි දෑ කියමින් සිටි ඇය වෛද්‍යවරයා වෙත එල්ල කළ වාග් මාලාවෙන් පැවසුණේ ඇය සිටිනා පරිසරයේ අරුමයම පමණි. ඒ සියල්ල මෙහි සටහන් කිරීම අපහසුය.

හෘදය බොහෝ සේ දුර්වල, වයසක් පවා නොදන්නා, මේ බිලිඳා ඉපදුණු විගස අවශ්‍ය වුවහොත් හදිසි ප්‍රකෘති කිරීමට (resuscitation) අවශ්‍ය සියලු මෙවලම් සහ ඖෂධ ලෑස්ති කරමින් මා සිටියේ විශාල ආතතියක් හිතේ දරාගෙනය. මෙවැනි ජීවිතය සහ මරණය අතර ගතවන මොහොතවල් බොහෝය. ඒ සියලු තැන්හිදී, නිශ්චල මනසකින් අකම්පිත වෙමින් ක්‍රියා කිරීමට හිත පුරුදු පුහුණු කළ යුතුය. නැත්නම් ජීවිත බොහෝ ගණනක් අනතුරේය. නාඳුනන ජීවිතයක් වෙනුවෙන් අපේ ජීවිතයට බොහෝ ආතතිය එකතු කරගැනීම දැන් පුරුද්දක් මෙනි.

බිලිඳා එළියට එන තෙක් දෙගෙඩියාවෙන් ශල්‍යාගාරය තුළ සිටි මට ඇසුණේ ඒ මවගේ වාග් ප්‍රහාරයන්ය. ඒ තරම් අසැබි වචන සහ බැණ වැදීම් හමුවේ වුවද වෛද්‍යවරු දෙපළ දැඩි සංයමයකින් සැත්කම සිදු කරමින් සිටියෝය. ඒ ගාලගෝට්ටිය අසා සිටින්නට බැරිම තැන “ අනේ අම්මේ කෑ නොගහ ඉන්න. ඔපරේෂන් කරන්න අමාරුයි” කියමින් හෙදියද, නිර්වින්දක වෛද්‍යවරයාද විටින් විට ඇය සන්සුන් කරගනිමින් සිටියෝය. මෙවැනි සැත්කම් සඳහා කොන්දට ඖෂධයක් විද නිර්වින්දනය කරන්නේ ඉන් පහළ කොටසය. එම නිසා සැත්කම පුරාම මව ප්‍රකෘති සිහියෙන් සිටී. වේදනාවක් දැනෙන්නේ නැත.

අප සිතුවා වගේම උපන්නේ හැල හොල්මනක් නැති ශ්වසනය නොකරන අඩු බර බිලිඳෙකි. ප්‍රකෘති කර ශ්වසන මෙවලමට සවිකර ගැනීමට ගත වුණේ ස්වල්ප කාලයකි. ඖෂධ රැගත් බට බිලිඳාගේ කුඩා අත්වල රුධිරනාල ඔස්සේ ශරීරගත වද්දී වුවද ඔක්සිජන් ප්‍රතිශතය ඉහළ යන්නේ නැත. දැන් බිලිඳා රැගෙන මහ රෝහලේ විශේෂ ළදරු ඒකකය වෙත යා යුතුය. සැත්කම අවසානයේ මවද ළදරුවා සිටි කොටසට රැගෙන ආවාය. ඇයට මේ විස්තරය කියන්නට මෙන්ම බිලිඳා පෙන්වන්නටද අවැසිය.

“අම්මේ මේ ඔයාගේ බබා. එයාට ගොඩක් අමාරුයි. හුස්ම ගන්නේ අපහසුවෙන්. ඒ නිසා අපි ළමා රෝහලට ගෙන යනවා” යැයි කියද්දීම ළදරුවා දෙස හිස ඔසවා බැලූ ඈ “ ඊයා... මේ මොකෙක්ද?“යැයි පැවසුවේ අපව පුදුමයට පත් කරමිනි.

“අම්මාට සුව වුණාම එහෙ යන්න පුළුවන්. දැන් අපි බබා අරන් යනවා” කියද්දීම ඇය අහක බලා ගත්තාය.

ඇය කිසි දිනක ඒ ළදරුවා ගැන විමසුවේ නැත.

දැඩි සත්කාර ඒකකයේදී දින දෙක තුනක් ජීවිතය හා පොර බැදූ ඒ බිලිඳා අවසන මෙලොව අතහැර ගියේය. ඔහු වෙනුවෙන් කඳුළක් උපදින්නට මවු නෙතක් නොවීය. ඇයට අවශ්‍ය වුණේ හැකි ඉක්මනින් රෝහලෙන් පිටව යෑමටය. පසුව ඇයව මනෝ වෛද්‍ය සායනය වෙත යොමු කළ බවද ආරංචි විය. මෙවැනි ඛේදවාචක අනන්තවත් අප හමුවේ දිග හැරේ. මවට පියාට අනවශ්‍ය වූ බිලින්ඳෝ අන්තිමේදී දුක්ඛදායී ලෙස මෙලොව හැර යති. නැතහොත් ළමා නිවාසවල ගාල් වෙති.

වෛද්‍ය [බෝධිනී සමරතුංග]

මාතෘකා