බල අල බල!

 ඡායාරූපය:

බල අල බල!

අම්මලා නම් කිව්වෙ අල කෑවම පෘෂ්ඨිමත් වෙනවා කියලා. ඩිංගිත්තක් මහත දෙහෙත කවුරුහරි දැක්කම ඕං ඒකා අල ගෙඩිය වගේ කියලනේ කිව්වෙ. ඉතිං අල කතාවල තවත් ඉස්සරහට යන්ඩ ඉඩ තියාගෙන වෙන කතාවකුත් කියලා ඉන්නම්.

අර නුවර පත්තර මිත්‍රයා අසේල කුරුළුවංශ පහුගිය දොහක වැල්ලවත්තෙ ඉස්ටේෂම ළඟ කඩ පිළක ඉන්නවලු කොත්තුවක් ගන්ඩ. ඒ වෙලාවෙ කවුදෝ නෝනා කෙනෙකුට කොත්තු බාස් චීස් කොත්තුවක් කියලා එකක් හදමින් හිටියාලු. කියන හැටියට සැන්ටිපෝට් උන්නැහේ දැක්ක නම් මේ කොත්තු බාස් කුදලගෙන යන්ඩත් ඉඩ තිබිලා තියෙනවා මහජන සෞඛ්‍යය ගැන හිතලා. කොහොම වුණත් මිනිහා මස්, එළවළු අරක මේක එක්ක කිරි බිත්තර, චීසුත් දාපු කොත්තුවේ බිත්තර කටුයි, කුකුළු පෙඳයි අතින්ම ඇරං දාලා කලවම් කරන අතරෙ දබරැඟිල්ල කොත්තුවට ඔබල ඇරන් කටේ දාලා ලුණු බලලා ඒ ඇඟිල්ලම මහපටැඟිල්ලට යාකරල ලුණු අඩුව දැම්මලු. ඉන්පස්සෙ කොහෙන්දො ගත්ත ප්ලාස්ටික් පිගන් කෑල්ලකින් අර කොත්තුව සලබල ගාලා එහාට මෙහාට කරනවා දැක්කම ඔක්කාරෙටත් ආපු අසේල ආයෙත් කාලෙකට කොත්තු කන්නෙ නෑ කියලා අප්පිරියාවෙන් එළි බැහැලා තිබ්බා. ඇයි හත්දෙයියනේ මිනිස්සුන්ට මේ විදිහට කෑම කවන්නෙ සමහර කඩකාරයො. දැනගං උඹලට අපායෙ තමයි කෑම බෙදෙන්නෙ.

හා ඉතිං දැන් අහමුකො අල ගැන. තෙනගල්ලන්දෙ චන්දන ප්‍රේමලාල්ලගෙ කොරටුව ලොකු බිම් පදාසයක්. ඒකෙ තිබ්බා බයිසිකල් පදින මාරක ළිඳ වගේ ලොකු වගා ළිඳක්. ඒ හින්දා වියළි කලාපෙ කියලා නොබලා අවුරුද්දම මොන මොනා හරි වගා කරන්ඩ එහේ මාමට ඉඩ ලැබුණා. ඔය වගා දිගා අතරෙ මට අමතක වෙන්නෙම නැත්තෙ කෝටු හිටුවලා එවුවට යාං වෙන්ඩ ඉන්දලා තිබුණු රාජ අල වගාවයි. පඳුරු ගහලා තිබ්බ ඉන්නල වගාවයි. රාජ අලයි වැල්ලලයි පටල ගන්ඩ එපා ඕං. මොනරාගල දිස්ත්‍රික්කෙ වට්ටක්කා වගේම වැදගත් හේන් භෝගයක් නෙව රාජ අල. එව්ව වර්ග දෙකයි අලේ සුදු සහ අලේ දම්පාට. මේ දම් වර්ගෙට තමයි කවුරුත් වැඩියෙ මනාප. රාජ අල පහසුයි තම්බලා පොල් එක්ක කන එක. කිරට වෑංජන හැදුවමත් රහලු. ඒත් දම්පාට වර්ගෙ උයාගෙන කන්ඩ එපා ඕං. එව්වා තම්බලා පොඩි කරලා සීනි, පොල්කිරි, කරඳමුංගු කුඩු, කුරුඳු කුඩු ඩිංගක් දාලා හැඳි ගෑවම තලපයක් නැත්නම් පුඩිමක් හදාගන්ඩ පුළුවන්. ඒකනම් පුදුම රහ පුඩිමක්. හදලා කාලා බලන්ඩකො.

ආයුර්වේදෙ කියනවා දරු සම්පත් බලාන ඉන්න බවලත් උදවියට ඇඟ නිවිලා ගැබ් පිහිටන්ඩ රාජඅල හිඟුරල වගේ අල ජාති ගුණයි කියලා. ඔයාකාර හදන පුඩිමකට කිරි පොඩිත්තො වුණත් අකැමැති වෙන එකක් නෑ. මොකද ඒක ඒතරම් රහ බව මං අත්දැකීමෙන් දන්නවා. අපේ ගං ගොඩේ ගොඩ ගෙවල්වල තිබ්බ තව බෝගයක් වැල් අල. හප්පේ එව්වයෙ අලවල ලොකු. තම්බලා කැවම උස්මුරුත්තාවට එනවා. එක වර්ගෙකට උඩල කියලත් කිව්වා. මට හිතෙන්නෙ ඉන්නල නම් අර්තාපල්වලට ගැළපෙනම ආදේශකය. අර්තාපල් උයන්නෙ කොහොමද ඒ ඕන විදියකට ඉන්නලත් ඔට්ටුයි. අල හීන් හින්දා පෙරං ගාගන්ඩ අමාරු නම් හොඳම වැඩේ තම්බලා නෑඹිලියට දාලා අතුල්ලන එක. ඉන්නල කිරි හොද්ද හරිම රහයි. ඉටත් වැඩිය රහ අර්තාපල් අල බැදුම වගේ තෙම්පරාදු කරල ගත්තම. ආයෙ වංගියක ගෙදර පැටිස් හදනවා නම් ඇයි මැදි පිරවුමට ඉන්නල නොදාන්නෙ?

බැඳි පතන්වල ඉබේ වැවිච්ච කටුවල වැල්වල මල් පිපෙන කාලෙට කොල්ලො කුරුට්ටො දන්නවා එව්වයෙ අල පලගෙන කියලා. ආං ඒ වගේ කාලෙක තමයි අලවංගුවකුත් උහාන බණ්ඩාරෙ ආවෙ වරෙල්ල කටුවල බිඳින්ඩ පීල්ලෙ කැලේ යංඩ කියාගෙන. ඒ වාගෙ ගියපු තව ගමනක් තිබ්බා ඒ තමයි බඹර කපන්ඩ දඬුවැල්බෑ හොයන්ඩ කැලේ යෑම. කටුවල හාරන්ඩ අපි හතරපස් දෙනෙක් කැලේට බැස්සෙ තම්මුටිටියකුත් ඇරං. ඇයි අල තම්බන්ඩ එපායැ. ඉතිං අපි මාරුවෙන් මාරුවට අලවංගුවෙන් වැල පාමුල හාරනවා. පරිස්සමට හාරන්නත් ඕන. නැත්නම් අල පළුදු වෙනවා. එව්වයෙ අල තිබ්බෙ හරිම ගැඹුරෙ අඩි හතරක්වත් හාරන්ඩ ඕන අලයක් පාදගන්ඩ. ඉතිං අතේ ඇඟිලි වගේ විහිදිලා තිබ්බ බණ්ඩි අලේ දැක්කම අපිට හරිම සන්තෝෂයි. අල හෑරුවට පස්සෙ සෝදලා කපලා කඳුකර වතුර එක්ක මුට්ටියට දාලා තෙගල් ළිපක කෝටු දර පත්තු කරලා තම්බන්නෙත් බණ්ඩාරෙ. අල තැම්බෙනකල් අපි පතන තණ මත්තෙ දිගාවෙලා හීන දැක්කා. මොන තරම් මිහිරක්ද ඒ ජීවිතේ අප්පා. අදටත් මට හිතෙනවා ඇයි ඒතරම් රහ කටුවල කැලේම පලගන්ඩ ඇරලා වගාවක් විදියට දියුණු කරන්ඩ කෘෂිකර්මෙ ඇත්තොවත් හිතන්නෙ නැත්තෙ කියලා.

[ලසන්ත ද සිල්වා]

මාතෘකා