හිතේ යුද්ධය

 ඡායාරූපය:

හිතේ යුද්ධය

රෝහල් ගේට්ටුව අසල සිට මා දෙසට දිව ආවේ හුරුපුරුදු මුහුණකි. බෙල්ලේ වූ සලකුණෙන් මම ඔහු හැඳින ගතිමි.

"ඩොක්ටර්... මෙහෙ "

"ආනේ... කරුණන් (අන්වර්ථ නමකි) දැන් අඳුරගන්න බැරි තරම් වෙනස් වෙලානේ..." මම කීවෙමි. උතුරු අහස දම් තැඹිලි පැහැගන්වමින් හිරු බැස යෑමට කිට්ටු වී තිබිණි.

"ඩොක්ටර්... මේ දෙන්නා ඩොක්ටර් කෙනෙක් කියලා දන්නැතුව ඩොක්ටර්ට විහිළු කළේ... ඒකට සමාවෙන්න කියන්න බලාගෙන හිටියේ"

ඔහු සමග සිටියේ කලින් මා පසුපස උසුළු විසුළු කරමින් ආ කොලු ගැටව් දෙදෙනාය. ඔවුන්ගේ මුහුණුවලින් දිස්වූයේ බයාදු බියගුළු බවකි.

"හරි, හැබැයි එහෙම කාටවත් කරදරයක් වෙන්න හැසිරෙන්න එපා. ගෑනු අයට ගෞරවයෙන් සලකන්න පුරුදු වෙන්න. කිසිම කෙනෙක් ඔයාලගෙ සෙල්ලම් බඩු නෙමෙයි"

පුළුවන් ආකාරයෙන් වචන ගැටගසාගත් මම එවැනි තේරුමක් සහිත අවවාද කිහිපයක් ඔවුන් හමුවේ තැබිමි.

"ඒකනේ.. මේ ඩොක්ටර් මම දන්නේ අහවල් ඉස්පිරිතාලේ ඉඳන්...."

කලින් මේ උතුරු කොනේම තව රෝහලක වැඩකරද්දී කරුණන් හමු වූ කතාව ඔහු මතක් කළේ අර තරුණයන් දෙදෙනාටය.

"දැන් කොහොමද කරුණන්.. බටේ ගැලෙව්වේ කොයි කාලෙද?"

මට මතක තිබුණේ බෙල්ලෙන් ඇතුළු කළ ප්ලාස්ටික් බටයක ආධාරයෙන් හුස්ම ගනිමින් කතාකළ කරුණන්ය. දැන් ඒ බටය නැත. කැළලක් පමණක් පෙනෙන්නට තිබේ.

"හොඳටම හොඳ වුණා ඩොක්ටර්, දැන් මේ ළඟම ඉන්නේ. නිතර එනවා මෙහෙ මනෝ සායනයට, දන්නැද්ද ඉතින්... " ඔහු සිනාසුණේ මා ඔහුගේ ඉතිහාසය හොඳින් දන්නා නිසාය.

කරුණන්ගේ කතාව වෙනස්ය. ඔහුට පවුලේ සියල්ලන් අහිමි වූයේ යුද්ධයෙනි. ඔහුට සිටියේ ඥාතියකු වන බාප්පා කෙනෙකු පමණි. ඔහු විසින් මොහු කඩයක වැඩට යොදවා තිබිණි. එතැන මුදලාලි සමඟ බහින්බස් වී කෘමිනාශක පානය කර තිබූ කරුණන් ගෙන ආවේ මා සේවයට කළ රෝහලටය.

දෙවැනි දින ඔහුගේ තත්ත්වය බරපතළ විය. දැඩි සත්කාර ඒකකයේදී ශ්වසන අපහසුතා නිසා ඔහුගේ බෙල්ලේ ශ්වාසනාලය ඇති කොටසේ සිදුරක් සාදා බටයක් දමන්නට සිදුවිය. ඔහු එහි දින ගණනාවක්ද ඉන්පසු කායික වාට්ටුවේද ගතකර තිබිණි.

"ඩොක්ටර් මගෙ කතාව ලියන්න.." යැයි ඔහු මට ඇවිටිලි කළේ මනෝ වෛද්‍ය ඒකකයේදීය.

කඩේ මුදලාලි සමඟ ආරෝවකින් පසුවන කරුණන් ඔහු මරණ බවට සපථ කරයි. බාප්පා සමඟද රණ්ඩුවකි. ඉතින් මේවා සමනය කරන්නට බොහෝ කතා කියාදිය යුතුය. ඔවුන්ට කියන කතා අසා හෙදියන් කියන්නේ "ඩොක්ටර් කොච්චරවත් කියන අවවාද, කතන්දර අහලා අපි හැදෙනවා" කියාය.

බොහෝ කරදර විඳ අවසානයේ විෂාදයෙන් පෙළෙන මේ දරුවන්ට අවවාද කිරීම ගඟට ඉණි කපනවා වැනිය. කරුණන්ගේ තත්ත්වයද එසේමය. මවුපිය සොයුරු සොයුරියන් නැතිව ඔහු තනි වී සිටී. ඔවුන් කෙදිනක හෝ හමුවේදැයි ඔහු විටෙක කල්පනා කරයි. මේ යුද්ධයකින් පසු ඇති වන අතුරු ප්‍රතිඵලය. සමස්ත ජන සමාජයම පුපුරා යෑමකට ලක්වූයේ අවුරුදු ගණනක සිටය. එය වැළැක්විය හැකි දෙයක් නොවේ. ඒ විඳීම් සහ අහිමි වීම් සියල්ලන්ට එක ලෙස දැනිණි. ඇතැම් අය ඒවා හමුවේ ගල් ගැහුණු හිත් ඇතිව සිටි අතර ඇතැම්හු පුපුරා ගියහ.

"ඩොක්ටර්ට තේරෙන්නෙ නෑ තනි වුණාම දැනෙන දේ" ඔහු මා හා පවසයි.

" මට කාත් කවුරුවත් නෑ. "

"මට හොඳට තේරෙනවා කරුණන්, මේ මමත් තනියෙම ඉන්නේ.. මගේ අයත් මෙෙහ නෑනේ. අනික අපිට වගකීම් එහෙමත් දරන්න වෙලානේ"

"අනේ ඕගොල්ලොන්ගෙ දැනීම් "

කියමින් හේ පිටව යයි.

නැත්නම් "ඩොක්ටර්ට මොන තනියක්ද" වගේ යමක් කියවමින් අප අසලින් ඉවත් වේ.

ඉතින් ඒ සා විසල් කාලයක් අප හමුවේ සිටි කරුණන් දැන් වැඩ කිසිත් නොකර බාප්පාගේ නිවස්නයේ හෝ රෝහල් භූමිය තුළ දවස ගෙවයි. මට ඔහු හමුවන්නේ එවැනි විටකය.

"ඩොක්ටර් දන්නෙ නෑ මේ කොල්ලෝ.. ඩොක්ටර් පොඩි නිසා තේරෙන්නෙ නෑ. මොනවා හරි ප්‍රශ්නයක් නම් මට කියන්න.." බෙල්ලේ අර බටය නොපෙනෙන්න කලින් බැඳ තිබූ ලේන්සුව නැත. දැන් බටයද නොමැත.

"ඉතින් මොකද කරුණන් කරන්න ඉන්නේ"

"මට තවම සනීප මදි ඩොක්ටර්"

"මේ හොඳට ඉන්නේ... ඔන්න මනස්ගාත අමතක කරලා රස්සාවක් කරන්න.."මම කියද්දී අර සුපුරුදු හීන් සිනහවෙන් පිළිතුරු දුන්නේ "මගෙ ඔළුව හරි නෑනේ" කියමිනි.

මෙහි මට හමුවෙන බොහෝ දෙනෙක් ඔවුන් ගතකළ කටුක කාලය නිසා කයින් මෙන්ම මනසින්ද රෝගී වී සිටී. කරුණන් ඔහුගේ සියලු සිදුවීම්වලට බාප්පාට හෝ කඩේ මුදලාලිට බණිමින් කල් ගත කරන්නාක් මෙන්, අපද අපේ කරදර අනුන් නිසා සිදුවූ බව සිතමින් කල් ගත කරන්නෙමු.

නමුත් කළ යුත්තේ එය නොවේ. අපි අපටම අවංක වීමය. අපි අතින් වැරදි සිදුවන බව වටහා ගැනීමය. අපි අපිටම සමාව දීමය. අපේ සිත තනා ගැනීමය.

මම ඔහුට මට වැටහෙන අයුරින් ජීවිතය අත් නොහරින්න යැයි කීවේ ආයෙත් ජීවිතය වරද්දවා ගන්නට ඔවුනට ගත වෙන්නේ සුළු මොහොතක් නිසාය. මට හමුවන කරුණන්ලා බොහෝය. හිතේ අරගලය හා පොර බැද හෙම්බත් වී, යා හැකි මඟක් නොදන්නා කරුණන්ලා බොහෝය.

[වෛද්‍ය බෝධිනී සමරතුංග]

මාතෘකා