සමුගැනීමේ සාදය අවසන...

 ඡායාරූපය:

සමුගැනීමේ සාදය අවසන...

ගසක් යට නැවතී සිටිමි. සතර අතින් දිස්වන සමුගැනීමේ සලකුණු දෙස බලා තදින් හුස්මක් පිට කරමි. දසත විසිරුණු දැල් පත්‍ර කියාපාන්නේ සමුගැනීමක මතක සටහන්ය. සමුගැනීමක් යනු තවත් එක් සොඳුරු මතක සටහනක් නොවන්නට මේ ගස සමුගැනීම් මත්තේම හිඳ මියගොසිනි.

ළාහිරු රැස් දහරින් අභිසෙස් ලබමින් දිගහැරෙන දල්ලක් කවදා හෝ අතු අගින් සමුගනී. බිළිඳු විය, ළමාවිය, තරුණ විය, මැදිවිය පසුකොට මහලු වියට පා තබන දලුව සමුගැනීමේ සාදයට පැමිණෙන්නේ පරිණත භාවයේ කහ පැහැය මුව තවරාගනිමිනි. අප මතක තබා ගත යුතු කාරණය නම් කොළයක් වයසට යන්නට යන්නට තරුණ කොළ පැහැය ආරක්ෂා කර ගැනීමට වද නොවන බවයි. එය තම මුහුණ මේකප් කිරීමේ කාර්යභාර්යය සොබාදහමට භාරදෙයි. සොබාදහම වයසට ගිය කොළයක මුහුණ පාට කරනුයේ කහ පාටිනි. එනම් ලොවටම ජීවය දෙන හිරු එළියෙහි පවතින පැහැයයි. එබැවින් සමුගැනීමක සලකුණු අත ළඟ පැවතියද, කහ පැහැති මහලු කොළයක ලොවක් තැනූ ජීවය දකිමි.

සමුගැනීමක් යනු සැබවින්ම සාදයකි. මෙනෙහි කරන්නට දෑ අපමණය. ප්‍රභාසංස්ලේෂණ කෘත්‍යය සිදුකොට සතා සිව්පාවාට ආහාරපාන සපයා දී කොළයක් සැඳෑ පිණි පහස විඳගෙනම සමුගෙන යයි. කොළ ගණනට සමුගැනීම්ය. සමුගැනීමේ සාද කප්පරකට සහභාගී වන ගසක හිත තුළ කෙතරම් නම් සොඳුරු මතක සටහන් ඇත්ද... ළදරු ලදල්ලේ සිට කහ පැහැති මහලු කොළ දක්වා වැඩුණු තම කොළ දරුවන්ගේ කෙළි සෙල්ලම් බලමින් සිටින ගසක හිත තුළ කෙතරම් නම් කවි සිතිවිලි පහළ වනවා ඇත්ද...

ජීවිතය යනු ගිණිය නොහැකි තරම් වූ සමුගැනීම් ප්‍රමාණයක එකතුවකි. දැනුවත්ව හෝ නොදැනුවත්ව සමුගැනීමේ සාද කෙතරම් නම් ප්‍රමාණයකට අප සහභාගී වී ඇත්ද... සෑම සමුගැනීමේ සාදයකම ඊට ආවේණික වූ රිද්මයක් ඇත. එම රිද්මය අපි හදවතෙහි එක් හඬපටයක ගබඩා කොට තබා ගනිමු. එම සංගීතමය රිද්මය නිර්මාණය කළ හැකි කිසිදු සංගීතඥයකු මිහිමත ඇතැයි මම නොසිතමි. එය නිපදවීමට යම් දිව්‍යමය ස්වර ඛණ්ඩයක් භාවිතා කර ඇතැයි කියා මා උදම් අනන්නේද නැත. එයට භාවිතා කර ඇත්තේද සප්ත ස්වරයමය. නමුදු එයට මනුෂ්‍යත්වය නැමැති වීණාවේ තත්සර වැයුම එකතු වී ඇත.

ජීවිතය පුරා කඩින් කඩ ඇසෙන්නේ එම රිද්මීය ලක්ෂණ සහිත හඬ පටයේ නාදයයි. අපි එයට අනුව අලංකෘත මනස් රංගනයක යෙදෙමු. එම මනස් රංගනය තුළ වැළපී මේ ජවනිකාද, සතුටු සාමීචියේ යෙදෙන දර්ශනද දැකගත හැකිය. එහි රැඟූ නළු නිළියන්ද අපිම වෙමු. තිර පිටපත ලියා ගැනීමට අවශ්‍ය අමුද්‍රව්‍ය සොයා ගත්තේද අපිමය. නාට්‍ය රඟ දැක්වීමට අවශ්‍ය වේදිකාව සකසා ගත්තේද අපිමය. මෙනෙහි කොට බලන කල නාට්‍ය නරඹා ඇත්තේද අපිමය. එවන් සොඳුරු මතක අතර රැඳුණු ඇත්තකුගේ සමුගැනීමක් වින්දනීය මතක සටහනක් නොවුණ හොත් පුදුමය. එය එසේ සොඳුරු නොවන්නට අප සමුගැනීම් මත්තේම හිඳ මේ සංසාර බෝඩිමෙන් සමුගෙනය.

අපි සංසාර බෝඩිමෙන් සමුගත්තවුන්ගේ මතක සටහන් වෙත පිවිසෙමු. උන් අප සමඟ එකට වැටී කකා බිබී සිටියවුන්ය. උන්ගේ සැමරුම් ඵලක අපගේ හිත් සොහොන් පිටි පුරා පැතිර පවතී. මා සිතනා පරිදි උන්ගේ සැබෑ සැමරුම් ඵලක අප ඉදිකොට තිබෙන්නේ මහපොළොව මත නොව, අපගේම චිත්තාභ්‍යන්තරයෙහිය. හිතට ඇවැසි වේලාවට ඒ ඒ සමුගත් හිතවතාට ආවේණික වූ රිද්ම ලක්ෂණ සහිත හඬපටය ගෙන වාදනය කරමු. මා දකිනා පරිදි මේ ලොව ඇති අසමසම සැමරීම එයයි.

සුප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයන්ට ආරාධනා කොට පිළිරුව ඉදිරිපිට පුෂ්පෝපහාර දක්වා ගෙල වටා මල්මාල දමා සිදුකරන සමුගත්තවුන් සැමරීමෙහි කිසිඳු ආශ්චර්යයක් නොදකිමි. කඩේ පිළේ කෙනෙක් තේ කෝප්පයක් තොලගාන අතරතුර ඇතමෙක් බුලත් විටක් සපන අතරතුර හද තුළ වාදනය වන හඬපටයට සංවේදීව සමුගත්තවුන් පිළිබඳව සිදු කරන අදහස් දැක්වීමක නිරව්‍යාජ ආශ්චර්යයක් දකිමි.

රොබරෝසියා තුරු සෙවණ යට වාඩිගෙන මා ඔබේ මතකය මෙන් මම ගේ මතකයද එක් සමුගැනීමක් වෙත රැගෙන යමි. නෙතින් නෙත බලා දහසක් දේ නෙතින් පවසා සිදු කළ කොතරම් නම් සමුගැනීම් ප්‍රමාණයක් ඔබගේත් මගේත් ජීවන පස මත විසිරී ඇත්ද.... නාඳුනන්නන් සමඟ වචනයක්වත් කතා නොකොට නිරුත්සාහයෙන්ම සිදුවුණු එක් අහඹු බැල්මකින් ජීවන පස මත විසිරුණු සමුගැනීම් බීජ ජීවය ලබා විටින් විට හද තුළ මල් පුබුදනවා නොවේද...

 

මේ අහස යට පිපුණ

සොඳුරු මලකට උරුම

හිනාවක් ඇත සබඳ

වෙන්ව යන විට දැනුණි

හිරු ගිලෙන හවසක

එම සමුගැනීමේ මතක සමඟ අපි ජීවත් වෙමු. ජීවිතය නිරුදක කතරක ගෙවුණද රෑ යම වැලිතලය මත වැතිර, අහසේ දිලෙන තරු කැට දෙස බලාගෙන එම මතක සිහිකරමු. රෑ අහසේ දිලෙන තරුකැට ගානට අපගේ හදඹර පුරා සමුගත්තවුන්ගේ සිනා පොදි විසිරී තිබේ. අපි එම විසිරුණු සිනා පොදි එක මිටකට එකතු කරමින් මඳහසින් යුතුව තවකෙකුට සුන්දර මතකයක් දී සමුගෙන යමු. ජීවිතය යනු ගිණිය නොහැකි තරම් වූ සමුගැනීම් ප්‍රමාණයක එකතුවකි.

[මදුශාන්ත බණ්ඩාර]

මාතෘකා