පොත්පත් අහිමි තවත් දරුවන්

 ඡායාරූපය:

පොත්පත් අහිමි තවත් දරුවන්

කුඩා කල සිට දරුවන් කියවීමට, ලිවීමට හුරු වීම ළමයාගේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට ලැබෙන අත්වැලකි. එසේම පොත්පත් අහිමි දරුවන් පිළිබඳව සමාජ ක්‍රියාකරුවෝ නිතර තම අවධානය යොමු කරති. පුස්තකාල නොමැති පාසල් හා ගම්මාන සඳහා පුස්තකාල ලබාදීමද සුලබව දක්නට ලැබේ. නමුත් පොත්පත් නිසි ලෙස නොමැති, පුස්තකාලයක් පිළිබඳව අවබෝධයක් නොමැති තවත් දරුවෝ පිරිසක් රට තුළ වෙසෙති. ඔවුන් පිළිබඳව කිසිවකුගේ අවධානය යොමු නොවීම කනගාටුවට කාරණයක් බැවින් අද ඒ පිළිබඳව සටහන් කරමි.

අද වන විට දරුවන්ට කුඩා කල සිට කියවීමට අවැසි පොත්පත් ඕනෑ තරම් පවතී. ලිවීමේ හැකියාව වර්ධනය කිරීමට අවශ්‍ය වටපිටාවේද ගැටලුවක් නැත. එහෙත් උපතින්ම දෘෂ්‍යාබාධිත වන දරුවාට මේ සියල්ල ගැටලුකාරී වේ. එම දරුවාගේ වැඩිහිටියන්ටද මෙය නුහුරු නුපුරුදු බැවින් එය විශාල ගැටලුකාරී තත්ත්වයක් වනු ඇත. තම දරුවාට ලබාදෙන අධ්‍යාපනය පිළිබඳව අවබෝධයක් නොමැති මවුපියන් දැඩි අපහසුතාවකට පත් වේ. අනාබාධිත දරුවෝ වයස තුන හතර වන විටම පොත්පත් කියවීම ආරම්භ කරති. නමුත් දෘෂ්‍යාබාධිත දරුවාට ඇතැම්විට වයස හත අට වනතුරු හෝ අකුරක් ලියා ගැනීමට නොහැකි වේ. නිසි අධ්‍යාපනයකටද යොමු වී නැති අවස්ථා තවමත් සුලබය.

දැනට දෘෂ්‍යාබාධිත දරුවන්ට කියවීමට ඇත්තේ පෙළපොත් හැර ඕඩියෝ තාක්ෂණයට නිර්මිත ග්‍රන්ථ කිහිපයක් පමණි. ඒ හැර විජය පුවත්පත බ්‍රේල් මුද්‍රණයක් වශයෙන් ඔවුන් අතට පත් වේ. නමුත් සිතා බලන්න, දෑස් පෙනෙන දරුවන්ට කොපමණ නම් පුවත්පත් සඟරා පවතිනවාද? ඒ ඒ වයසට, ශ්‍රේණි අනුව පවා වෙන් වෙන්ව ඒවා පවතී. නමුත් දෘෂ්‍යාබාධිත දරුවන්ට ඒ කිසිදු පහසුකමක් ලැබෙන්නේ නැත.

දැනට ළමා පොත් හා ළමා පුවත්පත් ප්‍රකාශයට පත් කරන්නන් එම දෘෂ්‍යාබාධිත දරුවන් අමතක කර දමා කටයුතු කර ඇති ආකාරයක් මේ අනුව පෙනී යයි. දෘෂ්‍යාබාධිත කුඩා දරුවෝ කතා ඇසීමට, පුවත්පත් ආදියේ පවතින ක්‍රියාකාරකම් කිරීමට ඉතා ප්‍රිය කරති. ඔවුනට ඒවා බ්‍රේල් මුද්‍රණ වශයෙන් සකසා ලබා දිය හැකි නම් ඉතාමත් වටින කාර්යයක් වනු ඇත.

දෘෂ්‍යාබාධිත කුඩා දරුවන් ලංකාව තුළ සිටින්නේ ඉතා සුළු ප්‍රමාණයකි. එම ප්‍රමාණය නිසි පරිදි ලබාගෙන ඔවුන්ට පුවත්පත් මිලදී ගත හැකි ක්‍රමවේදයක් සකසනවා නම් ඔවුන් එම පුවත්පත් ලබාගැනීම අනිවාර්යයෙන් කරයි.

විශේෂයෙන් ළමා කතා පොත් වසරකට විශාල ප්‍රමාණයක් ලියැවේ. දැනට පොත්හල් තුළද ඕනෑතරම් ළමා පොත් මිලදී ගත හැකිය. ඒ කිසිවක් රසවිඳීමට දෘෂ්‍යාබාධිත දරුවන්ට නොහැකි අතර කවුරුන් හෝ ඔවුනට ඇසෙන්නට එම පොත් කියවයි නම් මේ පුංචි දරුවන් ඉතා ආසාවෙන් ඒවාට සවන් දෙනු දැකිය හැකිය. ලංකාවේ අද වන විට ග්‍රන්ථ ඕඩියෝ කිරීමේ තාක්ෂණය පවතී. එබැවින් ළමා පොත් ප්‍රකාශකයන් මේ පිළිබඳව තම අවධානය යොමු කරයි නම් දෘෂ්‍යාබාධිත දරුවන්ටද එම නිර්මාණ පරිශීලනය කළ හැකිය.

බහුතරයක් රාජ්‍යයන්හි අනාබාධිත දරුවන්ට ළමා කල රසවිඳීමට, අධ්‍යාපනය වර්ධනයට ඇති සියලු දෑ දෘෂ්‍යාබාධිත ඇතුළු වෙනත් ආබාධිත දරුවන්ටද පවතී. එයින් ප්‍රධාන වශයෙන් ආබාධිත දරුවන්ද අනාබාධිත දරුවන්ට සමානව කායික වර්ධනය මෙන්ම මානසික වර්ධනය සිදුවීම අපේක්ෂිතය. දරුවාටද කුඩා කල සිට තම ආබාධිත ස්වභාවය ගැටලුකාරී හා බාධාකාරී නොවනු ඇත. ආබාධිත දරුවන් තුළ ධනාත්මක චින්තනය වර්ධනය වීමට මෙම තත්ත්වය හේතු වේ. ජපානය ඇතුලු වෙනත් රාජ්‍යයන් දෘෂ්‍යාබාධිත දරුවන් උදෙසා කරන කෘති, පත්‍ර සඳහා එම්බෝස් තාක්ෂණයද උපයෝගී කර ගනී.

නිදසුනක් ලෙස නරියා සහ මිදි වැල කතාව කෘතියක ලියා ඇතැයි සිතන්න. එහි ඡායාරූප ඇති සියලු ස්ථානවල අදාල රූපය දෘෂ්‍යාබාධිත දරුවාට අතට හසු වන සේ නිර්මාණය කර ඇත. එය ඔවුන්ට අතින් අල්ලා අවබෝධ කරගත හැකි අතර එමඟින් දරුවාට ලෝකය, පරිසරය පිළිබඳව අවබෝධයක් ද ඇති වේ. අප රට තුළ එවන් තාක්ෂණයක් නැත. එබැවින් එය අපහසු කාර්යයක් වනු ඇත. නමුත් දරුවන්ට රසවිඳීමට බ්‍රේල් හෝ ඕඩියෝ තාක්ෂණයට ළමා කෘති සහ පත්‍ර ලබාදේ නම් සෙසු දරුවන්ට සමානව දෘෂ්‍යාබාධිත දරුවන්ද කායික හා මානසික වශයෙන් වර්ධනය වනු ඇත.

කුඩා කල සිට මෙවන් තත්ත්වයක් පැවතීම දරුවාගේ පසු කාලීන වර්ධනයට අහිතකර ලෙස බලපාන බව පෙනී යන කාරණයකි. වෙනත් දරුවන්ට සාපේක්ෂව අඩු පහසුකම් යටතේ වර්ධනය වන ආබාධිත දරුවා ඉදිරියෙන් සිටී. එම අඩුපාඩුද පූර්ණ වනවා නම් ආබාධිත දරුවා තුළ පවතින එම චර්යාත්මක සහ ප්‍රජානන දුර්වලතා වෙනස්වනු ඇත. ඒ සඳහා ළමා ග්‍රන්ථ සහ කෘති ප්‍රකාශකයන්, ළමා ක්‍රියාකරුවන් සම්බන්ධ වී ඒ වෙනුවෙන් යම් ක්‍රියාවලියක් සකසනවා නම් ඉතාමත් අගනා කටයුත්තක් වනු ඇත.

[සත්‍යා නිර්මාණි]

මාතෘකා