බූරුවා මහත්තයා

 ඡායාරූපය:

බූරුවා මහත්තයා

මඟතොටේ ගියත්, කඩේ පිළේ කතාවට වැටුණත් “මහත්තුරු” ගැන කතා නම් ඕනෑ තරම්ය. බස් රථයේද කාර්යාලයේ ද ඕනෑ තරම් මහත්වරුන්ය. ඒත් සති අන්තයේ උසාවියක් ඉදිරිපිටට ගිය විට, ඒ මහත්වරුන්ගෙන් බොහෝ දෙනෙක් “මහත් හොරු” ලෙසින් රස්තියාදු වනු දැකිය හැකිය. එක එක පන්නයේ මහත්වරුන්ය. “බූරුවා වුණත් මොකෑ මහත්තයෙක්නේ ” කියා හිත හදා ගන්නා උදවියද ඕනෑ තරම්ය. ඒ තරමටම මහත්වරු “මාර්කට්” ය. මේ දවස්වල නම් වැඩි වැඩියෙන් කතාබහ වෙන්නේම දේශපාලක මහත්වරුන් ගැනය. මහත්වරුන්ගේ ක්‍රීඩාව ක්‍රිකට් කිව්වාට මොකද මේ සිද්ධ වෙන දේවල් දැක්කාම නම් හිතෙන්නේ මහත්වරුන්ගේ “ක්‍රීඩාව” දේශපාලනය කියාය. පසුගිය සුමාන දෙක තුනේ අපේ දේශපාලන මහත්වරු, එක එක අඩව් ඇල්ලූ අපූරුව කාට කාටත් දැකිය හැකි විය. අවසානයට “ගහපු බෙරේකුත් නෑ - බෙරේ පලුවකුත් නෑ” වැනි කියමනක් සනාථ වුණහොත් ඒ ගැනත් පුදුම විය යුතු නැත. හොඳ හොඳ මහත්වරුන් බූරුවන් වූ අයුරුත්, බූරුවන් මහත්වරුන් වන අයුරුත් නිරන්තරයෙන් දකින්නට හැකිය. මේ බූරු කතාව කරළියට පැමිණියේ ජයලත් මනෝරත්නගේ “බූරුවා මහත්තයා” නාට්‍ය සිහිපත් වීමෙනි.

බූරුවා මහත්තයා වේදිකා නාට්‍ය නිෂ්පාදනය කරන්නේ 2011 වර්ෂයේදීය. උර්දු ලේඛක ක්‍රිෂාන් චන්දාර්ගේ Ek Dadhe Ki Saraghuzast යන කෘතිය ගුණතිලක මැටියගනේ විසින් සිංහලයට පරිවර්තනය කර ඇත්තේ “සද්ගුණවත් බූරුවා මහත්තයාගේ ස්වං චරිතාපදානය” යන නමින්ය. ජයලත් මනෝරත්න මෙකී කෘතිය කදිම දේශපාලනික දෘෂ්ටියක් මතුවන ආකාරයෙන් ඉදිරිපත් කිරීමට සමත් විය.

මෙම නාට්‍යයෙහි සිදුවීම් විකාශනය කර ඇත්තේ මෙසේ ය.“ ධනු” නම් හාම්පුතකු යටතේ සේවය කළ “බූරුවා” පොත්පත් කියවීමට ලොල්කම නිසාම “අලීෂා” නමැත්තාට බැලමෙහෙවරකම් කර ඔහුගෙන් වෙන්ව “රාමු” ළඟ සේවයට යයි. “රාමු” මිය ගිය පසුව වැන්දඹු වන රාමුගේ බිරිඳට ජීවත් වීමට රජයෙන් ජීවනාධාරයක් ඉල්ලීමට රජයේ විවිධ ආයතනවලට යෑමට බූරුවාට සිදුවේ. එලෙස රජයෙන් උපකාරයක් සොයාගෙන යනෙන බූරුවාට විඳින්නට සිදුවන විවිධ හිරිහැර නාට්‍යයෙහි විකාශනය වේ.

සමාජය වෙනස් වීමත් - ජනතාව හුදෙකලා වීමටත් - ජනතාවට සේවය කළ යුතු ආයතන අකර්මණ්‍ය වීමත් - එමඟින් සාමාන්‍ය ජනයා පීඩාවට පත් වන ආකාරයත් මෙම නාට්‍යයෙන් දිගහැරේ. කොතරම් කියවීමට ඇබ්බැහි වී සිටි බූරුවකු වුවත්, බුද්ධිමත් බූරුවකු වුවත් කුමන්ත්‍රණකාරීන්ට හසුවේ. එවිට බූරුවාගේ පැවැති උතුම් අරමුණු යටපත් වේ. ඉන්පසුව ක්‍රියා කරන්නේ කුමන්ත්‍රණකරුවන්ට අවශ්‍ය ආකාරයටය. කුමන්ත්‍රණකාරයන්ට හසුවන “බූරුවන්” ඉතිහාසයෙත්, වර්තමානයෙත්, අනාගතයේත් ඕනෑ තරම් දැකිය හැකිය.

රජයේ ආයතනයකට යම් රාජකාරියක් ඉටුකර ගැනීමට යන පුද්ගලයකුට විඳින්නට සිදුවන අනන්ත දුක්ඛ දෝමනස්සයන් නාට්‍ය මඟින් විවරණය කරයි. ලිංගික අල්ලස් ඉල්ලීම, වැඩ ප්‍රමාද කිරීම, මේසයෙන් මේසයට යවමින් රස්තියාදු කිරීම යනාදී මෙකී නොකී ඕනෑම අතුරු ආන්තරාවක් එවන් පුද්ගලයකුට සිදුවිය හැකිය. බූරුවාටද ඒවාට මුහුණු දීමට සිදුවිය. එහෙත් යම් සිවිල් බලයක් ඇති පුද්ගලයන් ළඟ මේ සියල්ලෝම හිස පහත් කරති. ඔවුන්ගේ කටයුතු සියල්ල ඉතා හොඳින් සිදු කර දෙති. පාලකයන් තෝරා පත්කර ගන්නේ අපගේ ඡන්දයෙන් වුවද අවසානයේ පාලකයන් පාලනය කරන්නේ මුදලාලිලා විසින්ය. තීන්දු තීරණ ගනු ලබන්නේ මුදලාලිලා විසින්ය. බූරුවා මහතත්යා නාට්‍යයෙන් විද්‍යමාන වන්නේ මෙකී යථාර්ථයයි.

බූරුවාගේ පිටේ අගමැතිවරයා යෑම නිසා, බූරුවා ශුද්ධත්වයට පත් වේ. ඒ නිසා බූරුවා “මහත්තයා” බවට පත්වෙයි. ඉන්පසුව සාහිත්‍ය උත්සවද රූප සුන්දරියන් තේරීමේ තරගවලද විනිශ්චයකරුවා ලෙසින් සහභාගී කර ගන්නේ මේ “බූරුවා මහත්තයා”ය. (බූරුවෙක් වුණත් මහත්තයෙක් නේ) ජනතාව ගැන සැබෑ ප්‍රේමයක් ඇති බූරුවා මෙම උත්සව පුහු උත්සව ලෙසින් දකියි. ඔහුට ජනතාව ඉදිරියේ බොරු ප්‍රකාශ කළ නොහැකිය. “බූරුවා මහත්තයා” ජනතාව කෙරේ අසීමිත මානව ප්‍රේමයෙන් ඒවායෙහි ඇති අර්ථ ශූන්‍ය භාවය දේශනා කරයි. එහෙත් පොදු සමාජය බූරුවාගෙන් බලාපොරොත්තු වන්නේ එවන් දේශනා නොවේ. ඔවුන්ට අවශ්‍ය වන්නේ ඔවුන්ගේ ක්‍රියාවන් අනුමත කරන, අගය කරන බූරුවන්ය. පොදු මහජනතාව කුපිතව බූරුවාට ගුටි-බැටදී මරා දමයි. ජීවනාධාරයක් වැන්දඹුවට රැගෙන දීමටද බූරුවාට නොහැකි වේ.

පවතින සමාජයට මෙම නාට්‍ය මඟින් වැදගත් පණිවුඩයක් කියා දෙයි. බූරුවන්ට බූරුවන් සේ සිතා කටයුතු කිරීමටත්, පොදු ජනතාවට පොදු ජනතාව සේ සිතා කටයුතු කිරීමටත් ඥානාලෝකයක් මෙමඟින් දැල්වේ. ඒත් ගැටලුව වී ඇත්තේ බූරුවන් පොදු ජනතාව සේ සිතා කටයුතු කිරීමත්, පොදු ජනතාව බූරුවන් සේ සිතා කටයුතු කිරීමත්ය. මෙය ඉතා ඉක්මනින් නිවැරැදි නොවුව හොත්, මේ මහත් සමාජයම විනාශ වනු ඇත.

[ගාමිණි බස්නායක]

මාතෘකා