ළමයින් හැදීම

 ඡායාරූපය:

ළමයින් හැදීම

මා ඉදිරියේ හිඳගත් යෞවනයාගේ වයස අවුරුදු 17කි. ඔහු පොලිසියට හසුවී තිබුණේ බෝක්කුවක් උඩ අඩ නිරුවතින් සිහි විකල්ව සිටියදීය. ඔහු දැන් අප දෙස බලන්නට පවා අකමැති ලෙසින් හිස බිමට පහත් කරගෙනම සිටී.

“යාළුවෝ තමා දුන්නේ ඩොක්ටර්, අර පාට කරල්.” ඔහු කියයි.

විවිධ වයස් කාණ්ඩවල දරුවන් මට හමුවේ. බොහෝ අය ජීවිතයේ ළමා විය පසුකළා පමණි. මත් පෙති, මත්ද්‍රව්‍ය පමණක් නොවේ මානසික රෝග සඳහා ප්‍රතිකර්මයක් ලෙස භාවිතවන ඖෂධ පවා ඔවුන් 'මත්' වීමට පාවිච්චි කර තිබිණි.

මීට අවුරුදු 20කට පෙර අයිස්ලන්තය නම් රටේ නව යොවුන් දරුවන් යුරෝපීය රටවල් අතර වැඩිපුරම මත්පැන්, මත් ද්‍රව්‍ය ගන්නවුන් ලෙස ප්‍රචලිතව සිටියෝය. එම නිසාම රාත්‍රියේදී අගනුවර වීදී පුරා ඇවිදීමත් භයානක වී තිබුණු අතර වයස අවුරුදු දහතුන, දහ හතරේ ළමුන් පවා පාරවල් ගානේ වෙරිමරගාතේ ඇවිදිනු දුටුවෙමි. නමුත් අද වෙද්දි ඒ තත්ත්වය සම්පූර්ණයෙන් අනිත් පැත්ත පෙරළිලාය. 1998දී වයස අවුරුදු 15 දරුවෝ සියයට 50කට වඩා බීමත්කමට ඇබ්බැහි වී සිටියහ. අද ඒ තත්ත්වය සියයට 5 දක්වා අඩු වී තිබෙන අතර දිනපතා සිගරට් බොන දරුවන්ගේ ප්‍රමාණය සියයට 23 සිට සියයට 3 දක්වා අඩු කරගෙන තිබේ. මේ අපූරු වෙනස්වීමට ඒ රටේ රජය, විද්වතුන් සහ සමාජ සේවකයන් විසින් ඇතිකළේ විශිෂ්ට ගණයේ විප්ලවයකි. ඒ විප්ලවයට සහභාගි වූ මනෝ විද්‍යාඥයකු වන ආචාර්‍ය මිල්ක්මන් ඒ දරුවන් වෙනුවෙන් අපූරු ක්‍රියාවලියක් සකස් කර තිබිණි. මුල් කාලයේදී දරුවන්ගේ මේ ඇබ්බැහිය ගැන ප්‍රශ්න පත්‍රිකා සකස් කර ඔවුන්ගෙන් උත්තර ලබාගත් අතර, 1992 දී ඒ රටේ සියලුම පාසල්වල දරුවෝ එම ප්‍රශ්න පත්‍රිකා පිරවූහ.

රටේ නීති දැඩි ලෙස වෙනස් කරමින් අවුරුදු 18ට අඩු දරුවන් හට සිගරට් විකිණීම හෝ පාවිච්චිය තහනම් කළේය. අවුරුදු 20ට අඩු පිරිසට මත්පැන් අලෙවි කිරීම හෝ පාවිච්චිය තහනම් විය. පාසල්වල ගුරු මවුපිය සංගම්වල ක්‍රියාකාරීත්වය වැඩි කළේය. මවුපියන් හා ගුරුවරුන්ගෙන් සුසැදි උපදේශන සේවා පටන් ගත් අතර, ඒවාට සහභාගි වී දරුවන් සමග කතාකිරීමට මවුපියන්ටද සිදුවිය. දරුවන් කරන්නේ මොනවාද? ඔවුන් කැමති කුමන ආකාරයේ ක්‍රියාකාරකම්වලටද? ඔවුන් ඇසුරු කරන යහළුවන් කවුරුන්ද වැනි දේවල් ගැන කතා කරන්න, සොයා බලන්න මවුපියන්ටද සිදුවිය.

මවුපියන් රැකියා අවසන්ව ගෙදර එන තෙක් සවස් වරුවේ සිට රාත්‍රිය දක්වා දරුවන් තනිවීම නිසා මේ ඇබ්බැහි වීම් වැඩි බැවින් රැකියා කරන ස්ථානවලින් විශේෂ කාලසටහන් ක්‍රියාත්මක කෙරුණේ මවුපියන්ගේ කෙසේ හෝ කාලය කළමනාකරනය කරගෙන දරුවන් තනි නොකිරීමටයි. මේ නීති රීති තුළින් මවුපියන්ට දරුවන් සමග වැඩි කාලයක් ගතකිරීමට මෙන්ම නිවස තුළ මවුපිය ආධිපත්‍ය බලය වැඩි කිරීමටද හැකිවිය. ඒ වගේම අඩු ආදායම්ලාභී පවුල් සඳහා නිවසින් පිටත සිදු කරන විනෝද ක්‍රීඩා, සංචාර වෙනුවෙන් වරප්‍රසාද ලබාදුනි. ඔවුන් ප්‍රගතිය ලේඛනගත කළ නිසා සංඛ්‍යා ලේඛන සමඟ සැසඳීමටද ඔවුන්ට හැකිවිය. උදාහරණයක් ලෙස අවුරුදු 15 දරුවන් අතරේ මවුපියන් සමග වැඩි කාලයක් ගත කරන ප්‍රමාණය, ක්‍රීඩාවල යෙදෙන ප්‍රමාණය වැඩිවූවා මෙන්ම මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතයද සීග්‍රයෙන් අඩුවිය. මේ සියල්ල තුළින් අයිස්ලන්තයේ තිබූ එම ප්‍රශ්නයට විසඳුම් ලැබිණි. “මෙහිදී ආරක්ෂක ක්‍රියාවලි සියල්ලම උපරිමයෙන් ක්‍රියාත්මක වුණා. අවදානම් තත්ත්වයන් පාලනය තුළින් මත්ද්‍රව්‍ය, මත්පැන් භාවිතය අන් යුරෝපීය රටවලට සාපේක්ෂව බොහෝ සෙයින් අඩු වුණා.” එසේ කියන්නේ මේ ක්‍රියාවලියට සම්බන්ධ වූ විද්‍යාඥයෙකි. එම පර්යේෂණ තොරතුරු අන්තර්ජාලයේ තිබේ .

දැන් අපි අපේ රට දෙසට හැරෙමු. අද වන විට වයස අවුරුදු 10-12 දරුවන්ගේ අතේද ජංගම දුරකථන ඇත. මවුපියන් දෙදෙනාම හෝ තනි තනිව මුදල් උපයාගන්නා යුද්ධයේ සිරවෙලාය. ඔවුන්ට දරුවන් දෙස ඇහැක් ඇර බලන්නට ඉස්පාසුවක් නැත. ඒ නව යොවුන් දරුවන් ඉස්කෝලයෙන් ටියුෂන් පන්තියට යන්නේද යළි ගෙදර එන්නේද බොහෝ විට තනිවමය. මේ දරුවන් බිලිගන්නා රකුසන් ඕනෑ තරම් සිටී. මත්ද්‍රව්‍ය හා මත්පැන් ප්‍රචාරණයට නව ක්‍රමවේද සොයාගෙනය. ඔවුන්ගේ අරමුණ සමාජයට හා හා පුරා කියා අඩිය තියන මේ තරුණ දරුවන්ය. තරුණ දුවා දරුවන් බිලී බා ගන්නා හැටි එහෙමය. අධ්‍යාපනයෙන් ඇතිවන ආතතිය මෙන්ම මවුපිය දූ දරු සබඳතාවන් දුරස් වීමෙන් දරුවන් සමාජය තුළ හුදෙකලා වේ. ඔවුන්ගේ ගැටලු සාකච්ජා කරන්නට හෝ ඔවුන්ගේ ප්‍රශ්න දකින්නට වැඩිහිටියන් සමාජයේ නැත. ඒ ආතතිය ඔවුන් මුදා හරින්නේ මෙවැනි ඇබ්බැහිවීම් ඔස්සේය. එහිදී සමාජයෙන් ඔවුන් වෙත සමීප වන යහළුවා හෝ වැඩිහිටියා මගින් ඔවුන්ගේ ජීවිත බොහෝ ලෙසින් විනාශ වී යා හැකිය. එකල අපට පාසල තුළ ක්‍රියාත්මක වූ ක්‍රීඩා, ළමා සමාජ බොහෝ තිබිණි. අයිස්ලන්තය 92දී පටන්ගත් සංග්‍රාමයෙන් ඔවුන්ගේ දරුවන් මේ ඇබ්බැහිවීම්වලින් මුදා ගත්හ. එහෙත් අපේ සමාජය, අපේ අදටත් මෙම විනාශය නොදැක්කා සේ සිටීම ඛේදවාචකයකි.

[වෛද්‍ය බෝධිනී සමරතුංග]

මාතෘකා