තෘප්තිමත්භාවය සහ ගැඹුර

 ඡායාරූපය:

තෘප්තිමත්භාවය සහ ගැඹුර

ප්‍රබන්ධයක් ලියූ ලේඛකයකුට වටිනාම දේ කුමක්ද? පොත සඳහා දොරට වැඩුමක්ද? සම්මාන උෙලළකින් ඊට ලැබෙන සම්මානයක්ද? විචාරකයකුගෙන් විචාරයක්ද? පාඨකයාගේ ලියුම් කියුම්ද? එසේත් නැත්නම් ප්‍රකාශකයාගෙන් කර්තෘ භාගයද? මේ සැම දේම ලේඛකයින් බලාපොරොත්තු වන බව සැබැවි. එහෙත් ලේඛකයකුට වඩාත්ම වටින්නේ පොත පිළිබඳව තමා කෙතරම් තෘප්තිමත්ද යන්නය. තෙමේ තෘප්තිමත් නම් ඊට කවරෙකුගේ විවේචන එල්ල වුවද, සම්මාන නොලැබුණද ගැටලුවක් නැත. අනෙක් පසින් තෙමේ තෘප්තිමත් නොවේ නම් ඊට විචාරකයින්ගේ පැසසුම් හිමි වුවද, සම්මාන හිමි වුවද, පාඨක ඉල්ලුම ඇති වුවද ඵලක් නැත. එහෙත් අපේ ගැටලුව ලේඛකයාගේ තෘප්තිමත්භාවය ගැන නොසලකා, ඇතැම් විට ප්‍රකාශකයාගේ තෘප්තිමත්භාවය සලකා ඔහු පොත ලියූ සැටියේ පළ කිරීමටත්, ඒ පිළිබඳව තක්සේරු කිරීමටත් පෙළඹීමය.

සැබැවින්ම සෑම ප්‍රබන්ධයක්ම භාෂාත්මක පොරබැදුමකි. භාෂාත්මක පොරබැදුමක් යැයි කීවේ එහි වියමනෙන් එහා කිසිවක් නැති බවය. වියමනෙන් එහා කිසිවක් නැතිනම් ලේඛකයකු අනුගත විය යුත්තේ වියමනට මිස පරිබාහිර දේට නොවේ. එසේම තෘප්තිමත්භාවයද වියමනෙන් මිස අනෙකකින් මතු වන්නක් නොවේ. එහෙත් තෘප්තිමත්භාවය සංකීර්ණ කරුණක්ද වේ. විලියම් ෆෝක්නර් පවසන්නේ ලේඛකයකුට කිසිදා තෙමේ ලියූ දේ ගැන තෘප්තිමත් විය නොහැකි බවයි. එනිසා තෘප්තිමත්භාවය සලකතොත් ඔහුට කිසිදා පොතක් පළ කළ නොහැකි බවයි. ඇත්තටමත් ෆෝක්නර් තමාගේ මුද්‍රණය වී පැමිණෙන පොත්වලද හරි වැරදි සලකුණු කරන්නෙකි. ෆෝක්නර් පවසන දේ නිවැරදිය. නිවැරදි වන්නේ ලේඛකයා සැම විටම වර්ධනය වන කෙනෙකු වන නිසාය. එහෙත් ලේඛකයකුට කෘතියක් ලියූ සැටියේ තෘප්තිමත් විය නොහැකි වුවත් කාලයක් ගත වූ විට එය තක්සේරු කළ හැකිය. ලියූ සැටියේ ඔහු සිටින්නේ කතා අවකාශය ඇතුළේ වුවත් අනතුරුව කාලයේ ඔහුට කතා අවකාශයෙන් පිටතට යා හැකි නිසාය. (එම කාලය මසක්, දෙකක්, තුනක්, වසරක්, වසර කීපයක් විය හැකිය. කාලය තීරණය වන්නේ කතාකරුවාට අත්පිටපත කියවද්දී එය ආගන්තුකයකුගේ කෘතියක් සේ දැනෙන මොහොත අනුවය.) මේ අනුව කෘතියක් පිළිබඳව කතාකරුවකුට සියයට සියයක් තක්සේරු කළ නොහැකි වුවත් ඔහුට කෘතිය ගැන සෑහෙන දුරට තෘප්තිමත් විය හැකි පරිදි සැකසිය හැකිය. කතාකරුවකුගේ වගකීමත් එය (පළ කිරීමට පෙර) එසේ සැකසීමය. (බටහිර සාහිත්‍ය ක්ෂේත්‍රයේ සාහිත්‍ය ඒජන්තවරුන්, සංස්කාරකවරුන් ආදීන් සිටින්නේ මේ පූර්ව මුද්‍රණ සංස්කරණය සඳහාය.)

එහෙත් තෘප්තිමත්භාවය පිළිබඳව සිංහල ලේඛකයා ඇසුරෙහි සාවද්‍ය අදහස් තිබේ. එකක් ප්‍රබන්ධයට කිසියම් ගැඹුරක් එන තෙක් ඒ පිළිබඳව ලේඛකයා තෘප්තිමත් නොවීමය. ප්‍රබන්ධය යනු ගැඹුරද? බරසාර බවද? ප්‍රබන්ධයේ මූලික ලක්ෂණය පරිකල්පනයය. එය හුදු පරිකල්පනයද නොවේ, ප්‍රස්තුතයට නව ඇසක් දෙන පරිකල්පනයය. (ප්‍රංශ ලේඛක ඇලන් රොබී ග්‍රිලට් පවසන පරිදි බල්සාක්ගේ කෘතිවලදී අපට කල්පනා ලොවක් හමු වේ. එහෙත් එහි කිසිදු පරිකල්පනයක් නැත. ඔහු බාහිරයේ තිබෙන දේ නැවත කීම මිස අලුත් පරිකල්පනයක් නොනිපදවයි. ප්‍රබන්ධයේ කල්පනා ලෝකය යථාර්ථයට සමාන්තර ලෝකයක් නොව යථාර්ථයට වෛකල්පික ලෝකයකි - අන්‍ය ලෝකයකි.) එහෙත් ගැඹුර ගත් විට ඊට මේ කිසිවක් අනුගත නැත. අප ප්‍රබන්ධයක ගැඹුර යැයි අදහස් කරන්නේ පරිකල්පනය තුළින් ගෙන එන ඇස - ඇසෙහි ගැඹුර - නොව කරුණුවලින් ප්‍රබන්ධය බරසාර කිරීමය. එහෙත් මේ බරසාර බව ප්‍රබන්ධ නොවන කෘතියකදී මිස ප්‍රබන්ධයේදී වැදගත් නොවේ. මෙහිදී එක් පෞද්ගලික අත්දැකීමක් සිහි වේ. මීට කලකට පෙර එක් ලේඛිකාවක් ඇය ලිවීමට ගිය නවකතාවකට ඇවැසි කරුණු සඳහා හැකි නම් ඒ ආශ්‍රිත තොරතුරු සොයාදෙන මෙන් මගෙන් ඉල්ලා සිටියාය. ඈ ලියන්නේ නවකතාවක් බැවින් විෂය කරුණු කුමකටදැයි නොඇසූ මම ඈ ඇසූ ඇසිල්ලේ ඇවැසි ලිපි ලේඛන සොයා දුනිමි. පසුව මුද්‍රණයෙන් නිකුත් වූ ඇගේ නවකතාවේ පිටපතක් මට ලැබිණි. එය කියවද්දී මට හැඟුණේ ඇය එම කරුණු භාවිත කර ඇත්තේ නවකතාවේ ‘ගැඹුර’ වැඩි කිරීමට මිස චරිත හා අවස්ථාවන්හි යථාර්ථවත් බව ඇති කිරීමට නොවන බවය. මින් පැහැදිලි වන්නේ අප නවකතාව වරදවාගෙන ඇති ආකාරයත්, ඒ වැරදීම තුළ ඔහුගේ හෝ ඇයගේ තෘප්තිමත්භාවය පිළිබඳ ගැටලුවත්ය.

[එස්. පල්ලියගුරුගේ]

මාතෘකා