කරුණු!

 ඡායාරූපය:

කරුණු!

නවකතාවක කරුණු ඇතුළත් විය යුතුද? ඇතුළත් නම් එම කරුණු නිවැරදි විය යුතුද? මේ පිළිබඳව නැවත ලිවීමට සිතුණේ පසුගිය සතියේ දර්ශනා ශම්මි විජේතිලක ඇගේ ‘අසනග වැසි’ නවකතාව පිළිබඳව භාව අතිරේකයට දැක්වූ අදහස් විමසීමේදීය. එහිදී ඇය පැවසූ අදහසකි, මේ:

“ඔය නවකතාවට අදාළ කරුණු ගැන මම අවුරුදු දෙකක් විතර දීර්ඝ වශයෙන් හොයලා බැලුවා. ඒ අතරම මට ලැබුණු ඇතැම් තොරතුරු නිවැරදිද කියල නිශ්චිත වශයෙන්ම දැනගන්න නැවත නැවතත් ඒවා ගැන විවිධ ආකාරවලින් සොයා බලන්න මට සිද්ධ වුණු අවස්ථාත් තිබුණා. මුලින්ම මම ආලත්ති අම්මලා ගැන හොයනකොට ලැබුණු තොරතුරු නිවැරදි නැති බව නැවත නැවතත් කරුණු හොයලා බලනකොට මට දැනගන්න ලැබුණා. ඒවගේම මම ආලත්ති අම්මලා හමුවෙන්නත් ගියා. ඔවුන් පැවත එන්නේ වල්ලි අම්මාගේ පරපුරෙන් බවත් මට දැනගන්න ලැබුණා. ඒ විධියට දීර්ඝ වශයෙන් කරුණු හොයලා බලලා නිවැරදි තොරතුරු මොනවාද කියල හරියටම තහවුරු කරගත්තාට පස්සෙ තමයි මම නවකතාව ලියන්න පටන්ගත්තෙ.”

රැස, භාව අතිරේකය, 2018.11.30

නවකතාවේ වැදගත් වන්නේ භාව සූචනයය. එහි වචනවල අරුත් පවා කුළුගැන්වෙන්නේ භාව සූචනය පිණිසය. එසේ නම් එහි මේ කියන අාකාරයට කරුණුවල වැදගත්කමක් තිබේද? ප්‍රබන්ධයකට කරුණු වැදගත් වෙතොත් වන්නේ පාඨකයාගේ විශ්වසනීයභාවය දිනා ගැනීම සඳහා පමණි. නොඑසේව එහි කරුණුවල නිවැරදිභාවයට වටිනාකමක් නැත. ඒ අනුව කෙනෙක් ලියද්දී කරුණුවල නිවැරදිභාවය සෙවීම ප්‍රබන්ධය ප්‍රබන්ධ නොවන තැන (Non Fiction) රැඳවීමට දරන ප්‍රයත්නයක් පමණි.

ඉහත ප්‍රබන්ධකාරිය කරුණුවලට වහල් වීමට හේතුවක් මට පෙනේ. ඒ, ඇය නවකතාව පර්යේෂණාත්මක වෑයමකින් ඇරඹීමය. පර්යේෂණය ප්‍රබන්ධයට ගැටලුවක් නැත. එහෙත් පර්යේෂණය ප්‍රබන්ධය නොවේ. පර්යේෂණාත්මක ප්‍රබන්ධයක් වුව කියවීමට හැකි විය යුත්තේ පර්යේෂණයෙන් තොරවය. එය පර්යේෂණයකියි නොසිතෙන ලෙසය. පර්යේෂණය ඇත්ත වශයෙන් ප්‍රබන්ධයේ වටපිටාවක් පමණි. එහි චරිත මෙහෙයවිය යුත්තේ චරිත විසිනි. කතාව විකාශය විය යුත්තේ කතාව තුළිනි. ඉතිහාස නවකතාව ගැන කථා කරමින් පෘතුගාල නවකතාකරු හොසේ සරමාගෝ මේ කරුණ මැනවින් පැහැදිලි කරයි. ඔහු පවසන්නේ ඉතිහාස කතාව ඒ හැටියෙන්ම ගෙනහැර පෑම නවකතාකරුවාගේ වෑයම නොවන බවත්, ඉතිහාස සාධක අලුතින් ගෙනහැර පාමින් දෙන ලද ඉතිහාසයට නව අරුතක් එක් කිරීම ඔහු අතින් විය යුතු බවත්ය. මා සිතන ලෙස ඉහත කතාකාරිය නවකතාවට ආලත්ති අම්මලා ගැන නිවැරදි තොරතුරු ගැනීමට තැත් කර ඇත්තේ ඇය දෙන ලද ඉතිහාසය පිළිගැනීම නිසාය. එහෙත් ඉතිහාසය - යථාර්ථය පිළිගැනීම තරම් ප්‍රබන්ධකරුවකුට හානිකර තවත් දෙයක් නැත. සරමාගෝ ‘පැරිස් රිවීව්’ සාකච්ඡාවකදී පවසන්නේ මිනිස් ඉතිහාසයේ හොඳම වචනය ‘නැත’ යන්න බවත්, දෙන ලද දේට ‘නැහැ’ යි කියා ප්‍රතිපක්ෂ වීම එහි ප්‍රගමනයට ඉතා වැදගත් බවත්ය.

ප්‍රබන්ධය යනු කල්පිතයක් බව අපි දනිමු. ඒ අනුව එය බොරු ගොඩනැඟීමකි. බොරු ගොඩනැඟීමකදී කරුණුවලට වෙසෙස් වටිනාකමක් නැත. එහි කරුණුවලට (සත්‍යයට) ඇත්තේ බොරුවලට ඇති වටිනාකමමය. කරුණුවලට (Facts)/ සත්‍ය දේට වටිනාකමක් හිමි වනුයේ තත්‍ය ලෝකයේය. ප්‍රබන්ධ ලෝකයේ/ කල්පනා ලෝකයේ ඊට හිමි වනුයේ බොරුවට හිමි වටිනාකමමය. සත්‍ය කරුණු (Facts) ඇත්ත වශයෙන් ප්‍රබන්ධකරුවාට හැසිරවීමට දුෂ්කර අමුද්‍රව්‍යයකි. සත්‍යය පාඨකයාගේ බුද්ධිය ඇමතීමට වෙර දරන නිසාය. සත්‍යය සමඟ ක්‍රීඩා කිරීම ප්‍රබන්ධකරුවකුට මුරණ්ඩු අශ්වයකුගේ පිටේ යෑම වැනිය. එහෙත් කල්පිත දේ හැසිරවීම එසේ නොවේ. එය පහසුය. බොහෝ පර්යේෂණාත්මක ප්‍රබන්ධ අසාර්ථක වන්නේ මේ තුළය. ඒවා කරුණු තුළම - බැවහැර සත්‍යය තුළම - සිර වී ඇත. ජනතාවාදී ප්‍රබන්ධයේද ගැටලුව මෙයයි.

මට හැඟෙන ලෙස කරුණු මතින් ප්‍රබන්ධයට අවතීර්ණ වීම කතාකරුවකු මුල පටන් කරගන්නා වරදකි. ප්‍රබන්ධය නම් කල්පනා ලෝකය දිගහැරීමකි. කරුණකින් ප්‍රබන්ධයක් ඇරඹීම මුලදීම එහි නිදහස් විදාරණයට, හෘදය සංවාදයට සහ රස නිෂ්පත්තියට බාධා කරගැනීමකි. ගාර්සියා මාර්කේස්ගේ ‘සියක් වසක හුදකලාව’ අැරඹෙන සැටි බලන්න:

“Many years later, as he faced the firing squad, Colonel Aureliano Buendia was to remember that distant afternoon when his father took him to discover ice.”

“බොහෝ කලකට පසු, වෙඩික්කරුවනට මුහුණ පා සිටියදී කර්නල් ඔරෙලියානෝ බුවෙන්ඩියාට තාත්තා තමා අයිස් සොයාගැනීමට කැටුව ගිය ඒ අතීත සන්ධ්‍යාව සිහිපත් වන්නට විය.”

මේ වැකිය ‘ගම්පෙරළිය’ නවකතාවේ ආරම්භක වැකිය හා සැ‍සඳුවහොත් වඩා යථාර්ථවාදයට බර වන්නේ ‘ගම්පෙරළිය’ වැකිය බව පෙනේ. එහිදී නිශ්චිත නම්, ගම්ද දක්වන නිසාය. ප්‍රබන්ධයක කවර හෝ වැකියකින් විවර විය යුත්තේ කල්පනා ලෝකයක් මිස සත්‍ය ලෝකයක් නොවේ. සත්‍ය ලෝකයේ මුල් බැස ගන්නට ගන්නට ප්‍රබන්ධය සමීප වන්නේ රස හීන වාර්තාවක් දෙසටය. ගුණදාස අමරසේකරගේ ‘මරණ මංචකයේ දුටු සිහිනය’ කෙටිකතා සංග්‍රහයේ පළමු කෙටිකතාව වන ‘පුතාගේ ශිෂ්‍යත්වය’ ආරම්භ වන්නේ මෙලෙසය:

“මින් වසර හයකට පෙර තර්ස්ටන් විදුහලෙහි විදුහල්පති වශයෙන් සිට විශ්‍රාම ගිය පියදාස ගුණතිලක ගාලු මුවදොර හන්දියෙන් බැස විදේශ අධ්‍යාපන මධ්‍යස්ථානය පිහිටා ඇතැයි කියන ලද ගෝල්ෆේස් ටෙරසය දෙසට පිය නැඟුවේ හද තුළ උපන් කැලඹිලි ගතියකින් යුතුවය.”

මේ වැකිය විවෘත කරන්නේ කල්පනා ලෝකයක මාවතක් නොව පුවත්පත් වාර්තාවක මාවතකි. ඒ අනුව එතැනින් පසු කතාකරුවාට ගමන් කිරීමට සිදු වන්නේ කල්පිත ලෝකයක නොව සත්‍ය ලෝකයකය. මෙය ප්‍රබන්ධයක් ඉල්ලන පාඨකයාගේ බලාපොරොත්තු සුන් කිරීමකි. නිසැකවම සිංහල ප්‍රබන්ධ බහුතරය කියවිය හැක්කේ ප්‍රබන්ධ ලෙස නොව ප්‍රබන්ධ නොවන දේ ලෙසය.

ෆ්‍රාන්ස් කෆ්කාගේ Castle (‘බලකොටුව’) ආරම්භ වන්නේ මෙවැනි වැකියකිනි:

“It was late evening when K arrived.”

මෙහි K යනු කල්පිත චරිතයකි. ලොව ඕනෑම පාඨකයකුට එම චරිතය මවාගත හැකිය. (නැත්නම් මවා නොගත හැකිය.) ‘ගම්පෙරළියේ’ කරෝලිස් චරිතය නමින් මවාගත හැක්කේ ශ්‍රී ලාංකික අපට පමණය. එහෙත් K ලොව කවර පාඨකයකුට වුව මැවෙන්නේ එක ලෙසටය. එහෙත් මේ ආකාර චරිතයක්, සිද්ධියක්, අවස්ථාවක් ප්‍රබන්ධයේ භාවිත විය යුත්තේ භාව සූචනය පිණිසය. භාවයන් ඇමතීමක් නැතිව හෘදය සංවාදයක් නැත. එවිට රසිකයා ලබන ආනන්දයක් නැත. එහෙත් පොදු පාඨකයාට අමතා ගොඩනැඟිය හැකි විශ්වීය ප්‍රබන්ධයක්ද (Universal Fiction) නැත. සිද්ධියක් නිශ්චිත රටකට, ප්‍රදේශයකට කේන්ද්‍ර වන තරමටය, එය විශ්වීය වන්නේ. එසේ වුව ප්‍රබන්ධය ප්‍රදේශයකට කේන්ද්‍ර කිරීම යනු කරුණුවලින් බහා එය ප්‍රාදේශීය කිරීම (Provincial) නොවේ.

කරුණු (Facts) ඇතුළත් විය යුතුම නම් මට සිතෙන ලෙස ඒ කරුණු ප්‍රබන්ධයට පිටින් ගත යුතු නොවේ. ප්‍රබන්ධය තුළින්ම ඒ කරුණු පැනනැඟිය යුතුය. මීට හොඳ නිදසුනක් නම් ආතර් කොනන් ඩොයිල්ගේ රහස් පරීක්ෂක කතාවල ඉදිරිපත් කෙරෙන කරුණුය. ඒවා කෙතරම් යථාරූපී වීද කියතොත් එහි ප්‍රධාන රහස් පරීක්ෂකයා වූ ෂර්ලොක් හෝම්ස්ගේ කල්පිත ලිපිනයට - 221බී, බේකර් ස්ට්‍රීට්, ලන්ඩන් - අදටත් පාඨකයන්ගෙන් ලියුම් එයි. සරච්චන්ද්‍රගේ ‘මළගිය ඇත්තෝ’, ‘මළවුන්ගේ අවුරුදු දා’ යන නවකතා ද්වය මගින්ද එසේ බැහැර සමාජයට කරුණු නිපදවා තිබේ. නේඹුරු ඉස්ම, තතමි පැදුරු, ඉකෙබානා, සෙංගන්ජයා, මළවුන්ගේ අවුරුදු දා ... ආදිය ඒ දැනුමින් ස්වල්පයකි. සයිමන් නවගත්තේගමගේ ‘සංසාරාරණ්‍යය ’ නවකතාවලද මේ ආකාරයෙන් දැනුම ගෙනැවිත් තිබේ. මාර්ටින් වික්‍රමසිංහගේ ‘ගම්පෙරළිය’, ‘කරුවල ගෙදර’, ‘මඩොල් දූව’ ඇතුළු බොහෝ නවකතාවලින් නව කරුණු සම්පාදනය වේ. එසේ බැලූ විට සමාජයේ කරුණු ගොඩනඟන්නේ පුවත්පත් කලාවේදීන්, වාග්විද්‍යාඥයන් පමණක් නොවේ, ප්‍රබන්ධකරුවෝද කරුණු නිපදවති. එක් අතකට ප්‍රබන්ධයක සාර්ථකත්වයේ රහස එය කෙතරම් කරුණු ප්‍රමාණයක් බාහිර සමාජයෙන් ගත්තේද යන්න නොව කෙතරම් කරුණු සම්භාරයක් කෘතියෙන් බාහිරයට ගොඩනැඟුවේද යන්නය.

මෙය ප්‍රබන්ධකණයට ඉතා සාධාරණය. ප්‍රබන්ධය යනු අලුත් ලෝකයකි. එය පවතින ලෝකයට විකල්ප ලෝකයකි. අප වෙසෙන ලෝකයේ ඇත්තේ යම් නීති - රීති පද්ධතියක්ද, මේ විකල්ප ලෝකයේ ඇත්තේ ඊට වෙනස් නීති - රීති පද්ධතියකි. ඒ තුළ ඉන් බිහි කෙරෙන්නේද අපගේ ලෝකයට වෙනස් කරුණු සම්භාරයකි. වෙනස් දැනුම් පද්ධතියකි. ඉන් ඒ දැනුම බිහි කළ නොහැකි නම් ඔහු නිර්මාණකරුවකු වන්නේ නැත. ප්‍රතිභාව ඇත්තේ කොතැනද එහි මඩ, දූවිලි ගසා පිටතට ගත යුතු යැයි චෙකොෆ් පවසා තිබේ. ඇයි? ප්‍රතිභාව අලුත් ලෝකයක මූල බීජයක් නිසාය. අලුත් දැනුමක මූලාංකුර නිසාය. එහෙත් සිංහල සාහිත්‍යයේ මේ ප්‍රතිභාව වෙනුවට බොහෝ විට අගයනු පෙනෙන්නේ අනුකාරක ප්‍රතිභාවය. මෙවර බොහෝ සාහිත්‍ය සම්මානෝත්සවවල නිර්දේශිත කෘති ඒ බවට දෙස් දේ.

[රවින්ද්‍ර විජේවර්ධන]

මාතෘකා