පොත් හොඳම මිතුරා වීම

 ඡායාරූපය:

පොත් හොඳම මිතුරා වීම

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනකුගේ වාර්ෂික ජීවන කැලැන්ඩරයේ අනිවාර්ය අංගයක් බවට දැන් පත් වී හමාරයි. ‍

ඇතැමුන් වසර පුරා මෙයින් පොත් මිලදී ගැනීමට මුදල් එකතු කරනවා. මිලදී ගන්නේ කුමන පොත්ද කියන එක දෙවැනි කාරණයක් වුවත් මේ අංගයට සහභාගි වීමට දිනය වෙන් කර ගැනීම ඇගයීමකට ලක්වෙන්න ඕන. ඇතැමුන්ට මෙය සැණකෙළියක්. එසැනින් පිසදෙන නූඩ්ල්ස් බඳුනක් අනුභව කරමින්, අයිස් ක්‍රීම් තොලගාමින්, සුපිරි හෝටලයක් විසින් පවත්වාගෙන යන කෑම හලෙන් මසවුළු රසවිඳිමින් විනෝදයට සැරිසරන්නවුන් නැතිවා නොවේ. ඒ අතර සැබෑවටම පොතට පතට ආදරය කරමින්, ඒවා මිලදී ගැනීමට තමන්ගේ අවසාන කාසියද වියදම් කරන්නවුන් බහුලයි.

එක් වසරක පොත් මිලදී ගැනීම සඳහා මා අතද මුදලක් ගැවසුණේ නැහැ. නමුත් මට පොත් කිහිපයක් තෑගි ලෙස ලැබුණා. මට ලැබුණු පොත් අතර තිබූ වැලැන්තීන් කතායෙව්ගේ "හත්පෙති මල" හා එන්. රැඩ්ලොව්ගේ "පින්තූර කතා" පොත් දෙක ළමා කාලයට යළි මා රැගෙන ගියා. අම්මාගේ සොහොයුරකු වූ සුදු මාමා ගෙනත් දුන් මේ පොත් දෙක මාගේ නිර්මාණ ආවේශයන් අවදි කළා කියල මා අදත් විශ්වාස කරනවා. එදා ත්‍යාගයක් ලෙස ලද ඒ පොත් දෙක කාලය විසින්ම සඟවාගෙන ගොස් තිබුණා. එය යළිත් ඒ මුල් පොත්වල ආකාරයෙන්ම ආපසු ලැබීම සතුටක් දනවන්නක්.

මේ අතර පොතක් මිලදී ගැනීමට නොතිත් ආසාවෙන් පෙළෙන, එහෙත් අතේ මිල මුදල් නැති ඇතැමුන් දුටු විට හිතට නැඟෙන්නේ වචනයට ගොනු කළ නොහැකි හැඟීමක්. තරුණයකු තමන් මිලදී ගත් එකම පොත කොට ගල් බැම්ම මතට වී කියවන්න පටන් ගත්තා. අලුත් පොතක් කියැවීමෙන් හිත උපන් සතුට ඔහුගේ මුහුණේ තැවරී තිබුණා. තාක්ෂණය පසුපසම හඹායන පරපුරක නි‍යෝජනයක් පොතක් කියවනු දක්නට ලැබීමම සතුටක්. තාක්ෂණය අපි බො‍හෝ දෙ‍නකු‍ගේ ජීවිත විශාල පරිවර්තනයකට බඳුන් කරලා. එයින් ගැළවෙන්නටත් බැහැ. අද අපි හැ‍මෝම තාක්ෂණ‍යේ වහලුන්. සමහරු පොත් කියවන්නේ පරිගණනක‍යෙන් නැත්නම් I pad එ‍කෙන්. බො‍හෝ පත්තර, පොත්පත් දැන් e version එ‍කෙන් ති‍යෙනවා. මේ නිසා කා‍ලෙකදි මුද්‍රිත පොත් හා පුවත්පත් අභාවයට යාවි කියලත් ඇතැමුන් පවසනවා. නමුත් එ‍හෙම වෙන එකක් නෑ.

මට නම් පොත්පත් පරිගණක‍යෙන් කියවලා විඳින්න බෑ. පොතක සුවඳ, පිටු‍ පෙරලන හඬ එක්ක පොත් කියවන‍කොට දැ‍නෙන හැඟීම පරිගණක තිරයකදී ලබන්න බෑ. ඒක අපිට තාක්ෂණයට අනුගත වෙන්න බැරික‍මේ ප්‍රතිඵලයක් කියලා කෙ‍නෙකුට කියන්නට පුළුවන්. නමුත් ඒක එ‍හෙමමද? අපි අ‍පේ ජීවිත පටන් ගත්තේ තාක්ෂණය එක්ක නෙ‍මේ. ඊට කලින්. වෙලාවකට හි‍තෙනවා අපි සංක්‍රාන්ති යුගයක අතරමං වූ අය කියලා. අ‍පිට කලින් පරම්පරාව ජීවිතය පටන් ගත්තේ මැනුවල් යුගයකින්. අවසන් ක‍ළෙත් මැනුවල් යුගයේදීමයි. අපි මැනුවල් යුග‍යෙන් පටන් ගෙන ඩිජිටල් යුගයකින් ජීවිතය කෙළවර කරන ප්‍රාණීන්. අපිට පස්සේ පරම්පරාව තනිකරම ඩිජිටල් නිෂ්පාදනයක්. පොත් කියැවීමට හුරු‍වෙන්නේ ජීවිත‍යේ වෙන්වෙන වි‍වේකී හුදෙකලාක‍මේ පිරවීමක් විදියට. ඒක ඊට පස්සේ පුරුද්දක්, අනිවාර්ය දෙයක් බවට පත් වෙනවා. ජීවිත‍යේ පිරිපුන් බවක්, බරසාර බවක් ව‍ගේම දැනුම්වත් බවක් ඇතිකරන්න පොතට පතට පුළුවන්.

1970 ගණන්වල ලෝක‍යේ‍ පෙළගැස්ම වෙනස් වෙනවා. නව ලෝක න්‍යායන් ගොඩනැ‍ඟෙනවා. නව ලෝකකරණය හා එහි න්‍යායන් ලෝක‍යේ අස්සක් මුල්ලක් නෑර පැති‍රෙනවා. ලෝක සිතිය‍මේ, ඉන්දියානු සාගර‍යේ ඇහැට නොපෙ‍නෙන පුංචි දූපතක් ලෙස වුණත් අපටත් මේ නව තත්ත්ව‍යෙන් ගැළවෙන්න ලැබෙන්නේ නැහැ. මේක තමා යථාර්ථය. නව තාක්ෂණ‍යේ තුවාලකරුවන් ලෙසින් අප බො‍හෝ දෙ‍නකු මානසික ආබාධිතයන් බවට පත් වෙලා. අපි දැනුවත්ව හරි නොදැනුවත්ව හරි අ‍පේ ජීවිත කාර්යබහුල වෙලා. බො‍හෝ දෙ‍නකු නඟන චෝදනාවක් වෙන්නේ පොතක් පතක් කියැවීමටවත් කාලයක් නෑ කියන එක. ඒක අර්ධ සත්‍යයක්. කියැවීමට ඇබ්බැහි වූ‍වෙක්, කියවී‍මෙන් ලැබිය හැකි ජීවිත පරිඥානය ගැන දන්‍නා කෙනෙක් තමන්ගේ පැය 24ක කාල‍යෙන් කොටසක්, කියවීම සඳහා අනිවාර්යයෙන් වෙන් කරගන්නවා.

මාධ්‍යකරුවකු ලෙස වෘත්තිය ජීවිතය ආරම්භ කළාට පසුව මගේ පොත් කියවීමේ ආශාව දෙගුණ තෙගුණ වුණා. ගන්නා හැම මාසික වැටුපකින්ම පොතක් හෝ දෙකක් මිලදී ගන්න මා පෙලඹුවේ අතේ මුදලක් නැති කාලයේ පොතක් මිලදී ගැනීමට නොහැකි වූ කාලයද වේගයෙන් පරිපූරණය කිරීමේ වුවමනාවෙන්. අද වෙනකොට මා ගොඩනඟා ගත් කුඩා පුස්තකාලයේ විවිධ වර්ගයේ පොත් 2000කට වැඩි නොවන සංඛ්‍යාවක් ඇති. මේ පොත් අඩු වැඩි වශයෙන් මාධ්‍ය ජීවිතයේ අඩුපාඩු පිරෙව්වා. සමහර වැඩසටහන්වල පිටපත ලියද්දි, සමහර වැඩසටහන් ඉදිරිපත් කරද්දි, පුවත්පතකට ලිපියක් ලියද්දි, කවියක් කෙටිකතාවක් ලියද්දි මේ පොත්වලින් ලැබුණු සහාය අපමණයි.

මට මතක් වෙනවා "හත්පෙති මල" පො‍තේ එන කවිය;

මල් පෙත්තේ මල් පෙත්තේ

උතුරු දෙසට දකුණු දෙසට

බටහිර හා නැ‍ඟෙනහිරට

කැරකීලා ඇවිත් බිමට

ම’කියන දේ කර‍දෙන් මට

පොත් කියන්නේ ජීවිතයේ බොහෝ දේවල් ඉටුකර දෙන "හත්පෙති මලක්" වගෙයි.

මාතෘකා