මහපොළොව බුදු වෙන්ඩ

 ඡායාරූපය:

මහපොළොව බුදු වෙන්ඩ

සමහර බුද්ධ පුත්‍රයන්ටත් අමතක වෙලා තිබ්බට මනුස්සයකුට ලබන්ඩ පුළුවන් ලොකුම පදවිය බුදු පදවිය නෙව. ඉතිරින්ට බුදු වෙන්ඩ බෑ කිව්වත් අපේ එවුන් අහිතක් නැතුව අම්මත් බුදු වෙන්ඩ ඕන කියලා ප්‍රාර්ථනා කෙරුවා. ඒ වාගේම තමයි අපේ ගම්කරේ මිනිස්සු මහපොළෝ හාමුදුරුවොත් බුදුවෙන්ඩ ඕනි කියලා ප්‍රාර්ථනා කෙරුවා.

ළමා ළපටිත් එක්ක මොනව හරි කාලා බීලා බඩ සයින් මිදෙන්ඩ පිහිටවෙන මහපොළවට පොළෝ හාමුදුරුවො කියලා අමතන එකත් පොළෝ හාමුදුරුවන්ට පිංසිද්ධ වෙන්ඩ, උන්නාන්සෙ බුදු වෙන්ඩ ඕන කියලා හිතන එකත් අරුමයක් නෙවෙයි ආයිබෝවන්ඩ. සුළුපටු කාරියක්යැ අඹුදරුවොත් එක්ක කුසගිනි නිවාගන්න එක.

සමහර ගෙවල්වල බලු කැටාලත් තුන් හතර දෙනා හුරතල් වෙවී ඉන්නවා. කුරුලු ලෑල්ලටත් බත් පිඬි ගුළි කරලා තියන්ඩ ඕන. වෙලාවකට සෙල්ලම් කරන්ඩ ආපු අහළ පහළ එකෙකුත් බත් බෙදන වෙලාව එනකම් ඉන්නවා. තවත් දවසක ගමෙන් දෙතුන් දොහොකට පිට ගිය ගෙදරක කොලු කෙල්ලෙක් බලා කියා ගන්ඩ බාර දිලා ගෙහුං. ඉතිං තියෙන විදියකට බතක් තම්බගත්ත කියමුකො. ඒක නිකම්ම ලුණු ඉහගෙන ගිලින්ඩයැ.

මොනව හරි ඇටයක්, ගෙඩියක්, කරලක්, කොළයක් දුරුමිරිස් අනලා උයා ගත්තෙ නැත්නම් කොහොමද බත් කන්නෙ. ඒ වුණාට බාගෙදා උයන්ඩ හරියක් ගෙයි ඇත්තෙ නෑ. ඕං ඔය වෙලාවට තමයි පොළෝ හාමුදුරුවන්ට බුදු බව අත්වෙන්ඩ අපිව බඩගින්නෙ තියන්ඩ සිද්ද කොරන්නෙ නෑ කියලා කියාගෙන අම්මලා කාගෙ හරි කුඹුරක්, කන්නෙ අතෑරපු හේන් කනත්තක් හොයාගෙන එළියට බහින්නෙ.

ගම්වල මිනිස්සු කවදාක්වත් අහන්නෙ නැතුං අනුන්ගෙ අටුවක කොටුවක දෙයක් කඩා වඩා ගත්තෙ නෑ කලාතුරකින් ගමක හිටපු අසමජ්ජාති හොරගෙඩියෙක් එහෙම කළා ඇරෙන්න. උයන්ඩ පිහන්ඩ මොකවත් නැති වෙලාවක ගොවියෙක්ගෙන් ඉල්ල ගන්ඩ පසුබට වුණේ නෑ. අනේ මුන්දැලා කන්ඩනෙ කියලා උන්දැලත් දුන්නා.

අස්වනු වාර ගාණ හරියට නෙළාගත්තට පස්සෙ ඊගාව කන්නෙ එනකම් අතාරින හේන්, කොටුවලට නම් බොලේ මං කන්ඩ මොනවහරි හොයාගන්නම් කියලා කාට නමුත් පය ගහන්ඩ පුළුවන්. එව්වා පිං බිම් බවට පත් වුණා. කූර කොළයක් මුකුණුවැන්න දල්ලක් වගේ ඉබේ වැවෙන දෙයක් විතරක් නෙමෙයි. මැරෙන්ඩ ඉස්සර තවත් මොනවහරි කණාටුවට පල ගන්න අස්වැන්නකුත් ඒවයෙ තිබුණා.

ඉතිං දිගනතැන්නෙ නැත්නං දවට පැත්තෙ හිට කුඹුරුවලින් නිලි බොංචි කඩාගෙන ඇවිල්ලා ලොකුවට කඩලා තෙල් දානකොට ආපු සුවඳ අපිට තවමත් දැනෙන එක අරුමයක්දැ. එව්වයෙ ගමේ ගොයියන්ගෙ විසල් හදවත්වල මනුස්සකමේ පුසුඹත් තිබ්බා නෙව. නිලි බොංචි නැත්නම් නිරි බොංචි කියන්නෙ අස්වනු නෙළාගෙන අහවරවෙලා අතෑරලා දාපු කොටුවක තවත් වැහි ඇල්ලක් දෙකක් ආවොත් හැදෙන කනාටු බොංචිවලට. ඒවා එහෙට මෙහෙට වකුටු බොකුටු වෙලා ඇට බේරිලා හැඩයක් ලකයක් නෑ.

ඒත් ඉතිං වසවිෂත් නෑ. මේ නිලි බොංචි තෙල් දැම්මම බත් පිගානකට වෙන මොකවත් ඕන නෑ. අතින් ලොකුවට කඩලා මිරිස්තුනපහ, ලුණු, ලූනු, කරපිංච දාලා වතුර ඩිංගක් එක්ක තැම්බෙන්න කියනවා. මතක ඇතිව තම්බන්නෙ කොළ පාට මැකෙන්නෙ නැති වෙන්න. බොංචි බෙරි වුණාම රහ නෑ. ඊට පස්සෙ තෙල් ළිප තබාලා අබ, සුදුලූනු බැදගෙන තෙම්පරාදු කරගන්නවා.

අපේ අම්මා කියනවා ඕං උඹ හැමදාම ඉල්ල ඉල්ල කයි නිලි බොංචි එළඟි තෙලෙන් තෙල් දාලා කෑවොත් කියලා. එව්වා කිරට නම් කන්ඩ රහ නැතුං ඇති. කවදාවත් අපේ ගම ඇත්තො නිලි බොංචි කිරි දාලා ඉව්වෙ නෑ. ඉස්සර කවදාවත් ගොයියො නිලි බොංචි පොළේ වික්කෙ නෑ.

දැන් ඉතිං හැමදේම ධනවාදෙට ඕන විදියට හින්දා එව්වත් පොළට ඇන්න යනවා. සමහර දවසක නිලි වැස්සෙ තෙමීගෙනම අම්මලා යනවා කවුරුහරි ගෝවා අස්සැන්න කපාගත්ත කුඹුරකට‍. ඒ ගෝවා රිකිලි නෙළාන එන්න. ගෝවා රිකිලි කියන්නෙ ගෙඩි ගෝවා කපාගත්තට පස්සෙ ඉතිරි වෙන කඳ කොටේ වටේට අහස බලන්ඩ හදිස්සියෙන් වාගේ උඩට මතුවෙච්ච නැවුම් රිකිලි. ඒවා තියෙන්ඩ ඇරියා කියලා ගෙඩි වෙන්නෙ නෑ. ඉතිං අඟල් දෙක තුනක් ඉස්සුණාම කඩාගන්නවා තෙල් දාලා උයන්ඩ.

ගොයියො ඉඩාරිනවා ඕන කෙනෙකුට කුල්ලක් දෙකක් කඩා ගන්ඩ. දැන්නම් එව්වත් පොළවල ඔය තියෙන්නෙ. ඉතිං මේ රිකිලි ලොකුවට දික්අතට ඉරාගන්නවා. ඊටපස්සෙ තාච්චියට දාලා ලුණු ටිකක් ඉහල මලවා ගන්නවා. මැලවුණාම වැඩි වතුර තියෙනවානම් පෙරලා අහක් කරනවා.

ඊට පස්සෙ ලියාගත්ත ලොකු ලූනු ගෙඩියක්, කඩාගත්ත මිරිස් කරල් කීපයක් තෙලේ දාලා බැදුණම මැලවුණු ගෝවා රිකිලි කලවං කරලා ගන්නවා. පුදුම රහක්. කනතු බටුත් ඒ වගේ. පස්සෙ දොහක කියන්නම්. මොකවුණත් ඉතිං මහපොළෝ හාමුදුරුවෝ බුදුවෙන්ඩ කියන එක අපරාධයක්යෑ ඔයි හැටි උදවු කරද්දි නේද?

[ලසන්ත ද සිල්වා]

මාතෘකා