අර්බුදය විසඳීමට ලයිසිස්ට්‍රාටා පැමිණේ

 ඡායාරූපය:

අර්බුදය විසඳීමට ලයිසිස්ට්‍රාටා පැමිණේ

මේ ලොව එළිය වන්නේ හිරු එළියෙන් හා අම්මාගේ රුධිරයෙන් බව වරක් ගෝර්කි ප්‍රකාශ කර ඇත. අපගේ ප්‍රබන්ධ වංශකතාවේද “කුවේණි” නම් යක්ෂ ගෝත්‍රික කාන්තාවක ගැන කියැවේ. නූතන ලෝකයේ කාන්තා විමුක්තිය පිළිබඳව පුළුල් කතිකාවතක් ඇතිවී තිබේ. මේ සියලු සංසිද්ධීන්වලට එහායින් අපූරු කාන්තාවක් ග්‍රීක යුගයේදී හමුවේ. ඇය නමින් ලයිසිස්ට්‍රාටාය. එනම් “යුද්ධය ලිහාදමන්නා” නොහොත් “යුද්ධයෙන් නිදහස් කරන්නා” යන අර්ථය ගෙන දෙන්නකි.

ක්‍රි. පූ. 412දී පමණ ඇතන්ස් නගරය හා ස්පාටා අතර ඉතා දීර්ඝ සටනක් පැවැති යුගයකි. ග්‍රීක නාට්‍යකරුවකු වන ඇරිස්ට්‍රොෆානිස් විසින් ලයිසිස්ට්‍රාටා නාට්‍ය නිර්මාණය කරන්නේ මෙම යුගයේදීය. ඒ වන විට ඇතැන්ස් නගරයට මෙන්ම ස්පාටාවටද යුද්ධය නිසා දැඩි හානි සිදුවී තිබුණි. යුද්ධය නිසාම දරුවෝ හා කාන්තාවෝ මෙන්ම වැඩිහිටියෝද අතිමහත් පීඩාවට පත්ව සිටියහ. ප්‍රහසන නාට්‍යකරුවකු වන අරිස්ටෝෆානිස් විසින් දීර්ඝ යුද්ධය නිමා කිරීම සදහා අපූරු මනෝමූලික විසඳුමක් යෝජනා කිරීම මෙම නාට්‍ය මගින් සිදු කරයි.

ලයිසිස්ට්‍රාටා විසින් ඇතන්ස් හා ස්පාටාවල සිටින සියලුම කාන්තාවන් එක් තැනකට කැඳවයි. යුද්ධය සදහා අවශ්‍ය මුදල්, පිරිමින්ට යහමින් වියදම් කිරීමට නොහැකි වන ලෙස කාන්තාවෝ මහා භාණ්ඩාගාරය අත්පත් කරගති. ඉන්පසුව සියලු කාන්තාවන්ගේ බහුතර බලයකින් යෝජනාවක් සම්මත කර ගනී. ඒ පිරිමින් සමඟ ලිංගික සංසර්ගයකට නොයෑමටය. එමඟින් පිරිමින් මර්ධනය කොට සාමය සදහා යොමු කරවා ගැනීම අරමුණු විය.

කෙසේ වෙතත් එය එතරම් ලේසි පහසු කටයුත්තක් නොවීය. පිරිමින්ගේ පහසින් මිදී සිටීම කාන්තාවන්ට දැඩි දුෂ්කර කාර්යයක් විය. කාන්තාවන් කිහිපදෙනකුම ගිවිසුම් කඩකර ලෝකාස්වාදයේ යෙදීම වෙනුවෙන් පැනයාම සදහා කුමන්ත්‍රණය කරනු ලැබීය. එකියකට දේවාලයට යාමට අවශ්‍ය විය. තවත් එකියකට අව්වේ වියළීමට දැමූ ලොම් එකතු කිරීමට නිවසට යාමට සිත් විය. එම උපක්‍රමවලට ලයිසිස්ට්‍රාටා හසු නොවීය. ඉතා හික්මීමෙන් කාන්තා සටන මෙහෙයවීය. කාන්තාවන්ගේ පහස පතා එන සොල්දාදුවන්ගේ හැඟීම් වඩවන ආකාරයට කටයුතු කර කාන්තාවෝ ඔවුන්ව උපක්‍රමශීලීව ප්‍රතික්ෂේප කරති.

මෙම නාට්‍යයෙහි භාවිතා කරන භාෂාව කෙතරම් අශීලාචාර දැයි කිවහොත් මෑතක් වනතෙක්ම එහි නියම පරිවර්තනයක් කිරීමට පරිවර්තකයෝ බිය වූහ. ඔවුහු ඒ වචන ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට තරම් නොවන වචන ලෙස සැලකූහ. එහි භාවිතා කළ සුවිශාල ලිංඝ සංකේත තව තවත් ඒ ගැටලුව උග්‍ර කළේය. නමුත් පැරැණි ග්‍රීකයන් නිරුවත හා ලිංගිකත්වය විවෘත අදහසකින් භාවිතා කළ බව සිතිය හැකිය. ඔවුන්ගේ මූර්ති මෙන්ම චිත්‍ර කලාවේද මිනිස් දේහයේ ඇති අපූර්වත්වය කැටයම් කර ඇත.

ලෝක ප්‍රසිද්ධ ග්‍රීක ඔලිම්පික් මලළ ක්‍රීඩා පවත්වා ඇත්තේ නිරුවතිනි. කෙසේ වෙතත් ග්‍රීක ප්‍රහසන නාට්‍යවල කාමය හෝ කාම මිශ්‍රිත අදහස් ගැබ්වීම පුදුමසහගත නොවන්නේ ඒවා සැටර්වලින් ප්‍රභවය වී පැවතීමයි. සැටර්වරු කාමයට හා මත්පැනට අධිපති දෙවියන් සේ සැළකීම ඔවුන්ගේ සිරිතයි. ඔවුන් වෙනුවෙන් පවත්වන සැටර් නාට්‍යවල නිසැකයෙන්ම කාමය පිරී පවතී. කෙසේ වෙතත් මෙලෙස ලිංගිකත්වය හුවා දැක්වීම මඟින් එකල ග්‍රීකයේ පැවැති ඛේදනීය තත්ත්වය නිරූපණය වන බව විචාරකයන් විසින් ප්‍රකාශ කර ඇත.

සියලු බාධක බිඳ දමමින් ඇතැන්ස් හා ස්පාටා දෙනුවර පිරිමි, එක් තැනකට කැඳවා සාමය සඳහා පොරොන්දුකරවා ගැනීමට නාට්‍යය අවසානයේ ලයිසිස්ට්‍රාටා සමත් වන්නීය. ඉතා දිගු කළක් දිග්ගැස්සෙමින් තිබූ යුද්ධය නිමා වන්නේ එම එකඟතාව සමඟින්ය. මෙමඟින් විදහාපාන්නේ කාන්තාව සතු අසීමිත බලයයි. යුද්ධයක් නිමා කිරීමට එවැනි මනෝමූලික පිළිතුරක් ප්‍රමාණවත් නොවූවද එමඟින් ඇරිස්ට්‍රොෆානිස් විසින් ලෝකය පුරා විමුක්තිකාමී කාන්තාවන් වෙනුවෙන් දල්වා ඇති ගිනිසිළුව සුළුපටු නොවේ.

“විධායකයේ හෝ පාර්ලිමේන්තුවේ හෝ අධිකරණයේ කිනම් කුමන්ත්‍රණයක් සිදුවූවත් කම් නැත. ඉන් වඩා පීඩාවට පත්වන්නේ කාන්තාවන් හා දරුවන්ය. උඹලා මේ යුද්ධය නැවැත්තුවේ නැත්තම් අපි ලිංගික වර්ජනයකට සුදානම්” කියමින් කාන්තාවන් නොබෝ දිනකම වීදි බසිනු ඇත. ආණ්ඩුවේද විපක්ෂයේද මෙකී නොකී කොට්ඨාසවල පිරිමි පාර්ශ්ව කාන්තාවන්ගේ ලිංගික වර්ජනය කඩාකප්පල් කිරීමට කුමන්ත්‍රණ කළ හැකිය.

එහෙ මෙහෙ දෙගොල්ල කෝටි ගණනින් කාන්තාවන් මිලදී ගැනීමට සූදානම් වනු ඇත. අවසාන ලයිසිස්ට්‍රාටාගේ නීතියට සියලු පිරිමින්ට කොන්දේසි විරහිතවම යටපත් වීමට සිදුවනු ඇත. මන්ද බහුතරය බල්ලට ගියත් මිනිසුන්ට මූලික අවශ්‍යතා පූර්ණය කර නොගෙන ජීවත් විය නොහැකි බැවිණි.

එබැවින් ලංකාවේ උද්ගත වී ඇති අලකලංචිය නිමා කළ හැක්කේ ලයිසිස්ට්‍රාටාගේ තියරියෙන් බව ඉක්මනින් සියලු කාන්තාවන්ට වැටහෙන්නේ නම් කලුපාට දුහුල් තාර ඇතිරිලි තවත් සුමුදු වනු ඇත. අහෝ... ඇරිස්ට්‍රොෆානිස් මීට වසර දහස් ගණනකට එපිට සිට ලක් වැස්සන්ට නිසිමඟ නිසිකල විවර කිරීම ගැන අපගේ සුභාසිරි පිළිගනිත්වා...!

[ගාමිණි බස්නායක]

මාතෘකා