ජාතිවාදී පදනමින් පරිපාලන සේවා පත්වීම් කල් දැමීමේ ප්‍රයත්නයක් ඇත්ද?

 ඡායාරූපය:

ජාතිවාදී පදනමින් පරිපාලන සේවා පත්වීම් කල් දැමීමේ ප්‍රයත්නයක් ඇත්ද?

ශ්‍රී ලංකා පරිපාලන සේවයට බඳවා ගැනීමේ සීමිත තරඟ විභාගය 2015 (2016) ii දෙවන අදියර යටතේ 2017.02.17 දින ගැසට් නිවේදනයට අනුව අදාළ විභාගය 2017.10.08 සහ 15 යන දිනයන්හිදී කොළඹදී පමණක් පවත්වනු ලැබීය. විභාගය පවත්වා මාස 10කට පමණ පසුව 2018 ජුලි මාසයේදී අදාළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කරනු ලැබූ අතර ශ්‍රී ලංකා පරිපාලන සේවයේ පුරප්පාඩු 46ක් පිරවීම වෙනුවෙන් විභාගයේදී වැඩිම ලකුණු ලබාගත් 59 දෙනෙකුගේ නාම ලේඛනයක් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතියෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් එම අමාත්‍යංශයේ වෙබ් අඩවියට 2018.08.06 දින මුදා හැර ඇත. වර්තමානයේ ප්‍රතිඵල නිල වශයෙන් ප්‍රසිද්ධ කිරීම සිදුවන්නේ මේ ආකාරයටය. සම්ප්‍රදාය වන්නේ එකී ප්‍රතිඵල නිකුත් කිරීම්වලින් අනතුරුව මාසයක් තුළ සම්මුඛ පරීක්ෂණ පවත්වා කඩිනමින් පත්වීම් ලබා දීමය.

විභාගය ගැසට් කර වසර එකහමාරකට වැඩි කලක් ගතවී ඇති බැවින්ද, වහාම සම්පූර්ණ කළ යුතු පරිපාලන සේවයේ පුරප්පාඩු ගණනාවක් ඇති බැවින්ද මෙවර එය වඩාත් කඩිනමින් සිදු කිරීමේ අවශ්‍යතාවයක් පැන නැගී තිබුණි.

මෙම බඳවා ගැනීම සිදුවන්නේ 2015 වර්ෂයේ ඇති වූ පුරප්පාඩුවලට වන බැවින් මේ වන විට තවදුරටත් ප්‍රරප්පාඩු ප්‍රමාණය වැඩි වී ඇති බැවින් ඉක්මණින්ම බඳවා ගැනීම සිදුවිය යුතු බව රාජ්‍ය සේවා කොමිෂන් සභාවද අවධාරණය කර තිබුණි.

මෙම විභාගයේ සමත්වූවන්ගේ ලේඛනයේ 59 දෙනාගෙන් 21 දෙනෙක් දෙමළ මාධ්‍ය අයදුම්කරුවන් වේ. ඉන් එක් අයෙක් මුස්ලිම් ජාතිකයෙක් වන අතර අනෙක් 20 දෙනා දෙමළ ජාතික අයදුම්කරුවන්ය. ඒ සමත් වූවන්ගෙන් 35%ක් ‍දෙමළ මාධ්‍ය වන අතර 65% සිංහල මාධ්‍ය අයදුම්කරුවන්ය. විභාගයේ කඩඉම් ලකුණු මට්ටම් අතරට පැමිණීමට නොහැකි වූ බොහෝ දෙනෙක් මෙම අනුපාතය අසාමාන්‍ය බව පවසමින් දෙමළ මාධ්‍ය අයදුම්කරුවන් මෙතරම් ප්‍රමාණයක් සමත්විය නොහැකි බවට මත පළ කරමින් විභාගයට සහ ප්‍රතිඵලයන්ට එරෙහිව විවිධ ක්‍රියාමාර්ගයන්ට අවතීර්ණ වීමට මං සොයමින් සිටී.

විශේෂයෙන්ම ප්‍රතිඵල ලේඛනය රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට පැමිණි අවස්ථාවේ සිටම ඔවුහු සමාජ ජාලා මාධ්‍ය තුළ විවිධ ජාතිවාදී වෛරී සහගත අදහස් පතුරවමින් මෙම ප්‍රතිඵලයන්ට එරෙහිව සංවිධානය වීම අරඹා තිබුණි. එය නීතිමය වශයෙන්ද, සදාචාරාත්මක වශයෙන්ද බරපතල වරදකි. විභාගයක අපේක්ෂකයන්ගේ භාෂා මාධ්‍ය අතර අනුපාතය ප්‍රතිඵල අතර අනුපාතයට සමාන වීමේ නියමයක් ලොව කුමන රටක හෝ නැත.

මෙම විභාගය පවත්වා ඇත්තේ කොළඹදී පමණි. තවමත් මේ රටේ විභාග දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරිත්වය පිළිබඳව අප බොහෝ දෙනෙක් තුළ ඇත්තේ වඩාත් සාධනීය හැඟීමකි. එම දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ පැවැති විභාගයක ප්‍රතිඵල සම්බන්ධව සිදුකෙරෙමින් පවතින මෙම අන්තවාදී ක්‍රියාමාර්ගයන් මගින් තව දුරටත් මෙරට පවතින ගෝත්‍රික සම්මතයන් ලෝකය හමුවේ ප්‍රකට වෙමින් පවතී.

අනෙක් අතට මෙම අන්තනෝමතික තීරණයන්හි බරපතල විඳවීමකට භාජනය වී සිටින්නේ විභාගය සමත්ව සම්මුඛ පරීක්ෂණ සඳහා සූදානම්ව සිටින්නන්ය. සිය ජීවිතයේ තීරණාත්මක වෙනසක් වන නව පත්වීම පිළිබඳව බලාපොරොත්තු ඇතිව දින නියමයක් නොමැතිව බලා හිඳීමට ඔවුන්ට සිදු වී ඇත.

මෙවැනි විභාගයකට සූදනම් වන්නේ වසරක්, දෙකක් සිය දෛනික ජීවිතය කැපකර ඉතා වෙහෙස වී පාඩමි කිරීමෙනි. එලෙස සූදානම් වී සමත් වීමෙන් පසු පදනම් විරහිත ක්‍රියාමාර්ග හමුවේ අනගතය පිළිබඳ උකටලීව බලා සිටීමට සිදුවන්නේ නම් එය ඉතාම අවාසානාවන්ත තත්වයකි. එමෙන්ම විභාගය අසමත් වූවන්ගේ අතාර්කික පෙත්සමක් හමුවේ සම්මුඛ පරීක්ෂණ අතිහිටුවීමේ ක්‍රියාමාර්ගයක බලධාරීන් නිරතව සිටින්නේ නම් අනාගතයේ ශ්‍රී ලංකාවේ තරග විභාගවලදී එය නරක පූර්වාදර්ශයක් වනු ඇත.

විභාගය ගැසට්කර දැනට අවුරුදු එකහමාරකට වඩා වැඩි කාලයක් ඉක්ම ගොස් ඇත. ඊළඟ වාරය සඳහා නැවත විභාගය ගැසට් කරනු ලබන්නේ මෙවර බඳවා ගැනීම්වලින් අනතුරුවය. ඒ අනුව 2016, 2017, හා 2018 යන වර්ෂ වල පරිපාලන සේවයේ ඇතිවන පුරප්පාඩු සම්පූර්ණ කිරීම තවදුරටත් ප්‍රමාද වන අතර විභාගයට මුහුණ දිමට සූදානමින් සිටින්නන්ටද බරපතළ අසාධාරණයක් සිදුවනු ඇත. ඔවුන්ගේ කඩඉම් වයස් සීමාවන් ඉක්මවා යාම ඉන් ප්‍රධානය. එමෙන්ම රාජ්‍ය සේවයේ ප්‍රතිපත්ති සම්පාදකයනිත්, තීරණ ගනු ලබන්නන්, හා කළමණාකරුවන් ඇතුළත්වන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ අත්‍යවශ්‍ය පුරුප්පාඩු තවදුරටත් නොපිරවී පැවතීම රටක් ලෙස ආපස්සට ගමන් කිරීමට හේතුවක් වනු ඇත.

[සුමින්ද රත්නායක]

මාතෘකා