දෙයියන්ගේ රටේ

 ඡායාරූපය:

දෙයියන්ගේ රටේ

තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් වැඩ වසන මෙලක්දිවෙහි අරුම පුදුම දේ වන්නේ දෙයියන්ටවත් තේරුම් බේරුම් කරගැනීමට නොහැකි ආකාරයටය. පොළොව කොටන තැන, පාර හදන තැන දෙවියන් වැඩ ඉන්නේ යැයි කීවද දැන් දැන් දෙවියන් ඉන්නා තැනක් හොයා ගන්නටත් අමාරුය. දැන් කාලේ වෙන වැඩ දැක්කාම දෙයියන්ටත් දෙයියන්ගේම පිහිටයි කියා කියන්නට හිතෙන්නේ කපු මහත්තැන්ලාගේ දේව ඝෝරනාඩු දැක්කාමය.

මිනිස්සුන්ගේ සාක්කුවල තිබිය යුතු සිල්ලර කාසි ගොඩගසාගෙන උදේ රැයේ ආරක්ෂා කොරන කපු උන්නාන්සේලා ගැන ආයෙත් කතාවක් බහක් ඇති වී තිබේ. ඒ ප්‍රදීප් ධර්මදාස අධ්‍යැක්ෂණයෙන් ස්වාධීන රූපවාහිනිය හරහා සති අන්තයේ සාලයට ගොඩවදින "දෙයියන්ගේ රටේ "ටෙලි නාට‍යය මාලාවත් සමඟය.

කන්දේ ගෙදර, බෝගල සවුන්දිරිස්, දූ දරුවෝ, ගජමන් නෝනා, දඬුබස්නාමානය ආදී වංශවත් ටෙලිනාට්‍යය කලාව අවසන නතර වූයේ "දෙවැනි ඉනිම" ළඟය. එසේත් නැතිනම් ඉන්දියන් "ටෙලි කසිකබල්" ළඟය. එසේත් නැතිනම් "කොරියන් ටෙලි කතා" ළඟය. ටෙලිනාට්‍යය ගැන කතාව නැවතත් යම් උසස් තලයකට එසවෙන ආකාරය "දෙයියන්ගේ රටේ" වැනි ටෙලි නාට්‍යයවලින් නැවතත් පෙනීම නැවුම් ආස්වාදයකි. අඳුරු වළාවන්හි වුව රිදී රේඛාවක් දකින්නට හැකි නම්, "දෙයියන්ගේ රටේ" ඒ කියන රිදී රේඛාවකි.

මෙම ටෙලි නාට්‍යයට දිල්හානි ඒකනායක, මහේන්ද්‍ර පෙරේරා, ජගත් මනුවර්ණ, තුසිත ලක්නාත්, අංජන ප්‍රේමරත්න ආදී දක්ෂ රංගන ශිල්පීන් හා ශිල්පනියන් බොෙහාමයක් දායක වෙති. මොවුන්ගේ රංගනය හා කලාත්මක භාවිතාව පිළිබදව වෙනමම කතා කළ යුතුය. එය පසෙකට තබා, මේ දෙයියන්ගේ රටේහි මතු කරන්නා වූ සමාජ හරය ගැන කතා කළ යුතුම කාලයකි.

විජය රජුගේ පැමිණීමට පෙර ලංකාවේ යක්ෂ, දේව, නාග වශයෙන් ඇදහිලි තුනක් තිබූ බව කියවේ. ඊට අමතරව ගස්, ගල්, වෘක්ෂ වන්දනා ආදිය අනෙක් ප්‍රකෘතික සමාජයන්ට සාපේක්ෂව තිබෙන්නට ඇත. මිහිඳු හිමියන්ගේ ආගමනයත් සමඟ මෙම විශ්වාසයන්හි යම් යම් පරිවර්තනයන් සිදුවිය. පොළොන්නරුව යුගය වන විට සිංහල බෞද්ධ විශ්වාසයන්ට හින්දු ආගමේ ඉගැන්වීම් සමඟ විවාහ වන්නට සිදුවන්නේ ඉන් පසුවයි.

1978 දක්වාම මෙම විශ්වාසයන් හුදු විශ්වාසයන් වශයෙන් පමණක් පැවතුණි. සමාජය වානිජ්‍යයකරණය වීමත් සමඟම තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාද භාණ්ඩ හා සේවා බවට පත් විය. ඒ වෙනුවෙන් වෙන වෙනම ව්‍යාපාරික ආයතනයන්ද ප්‍රචාරක උපක්‍රමයන්ද බිහිවිය. කෙටියෙන්ම කිවහොත් දෙවියන් යනු අද වන විට ව්‍යාරයකි. ගෝලීය ධනවාදය හමුවේ නිර්මාණය කරනු ලබන සියලුම ගැටලුවලට දෙවියන් ළඟ පිළිතුරු සකස් කරමින් පවතී.

අණවින, කොඩිවින, හදි හූනියම්, දරු පළ ලබා ගැනීම්, ග්‍රහ අපළ යනාදිය පමණක් නොව විභාග යනාදිය සමත් කර දීමේ විශ්වකර්ම පේටන්ට් බලපත්‍රය දරා සිටින්නේ දේවාල හා දෙවියන් විසිනි. විභාග දෙපාර්තුමේන්තුව, සෞඛ්‍ය අමාත්‍යාංශය, ආරක්ෂක අමත්‍යාංශය අඩුම තරමින් පශු සම්පත් අමාත්‍යාංශය පමණක් නොවේ මුදල් අමාත්‍යංශයද සිදු කරන්නේ ලිපිගොනු යාවත්කාලීන කරගෙනයාම පමණකිය, අනෙක් සියල්ලම දේවාල හා දෙවියන් විසින් විසින් සිදුකරනු ලැබේ යැයි වීශ්වාසයක් පොදු ජනතාව තුළ ඇති කර අවසන්ය.

යම් විශ්වාසයක් යම් ජන කොටසක් විසින් විශ්වාස කිරීම හා පවත්වාගෙන යාම කිසිදු ගැටළුවක් නැත. එය එසේ නොවේ යැයි තර්ක කරන්නටද කිසිවකුටත් අයිතියක් නැත. එහෙත් එම විශ්වාසයන් පොදු මහත් සමාජයම අගාධය කරා ඇදගෙන යන්නේ නම් එහි ගැටලුවක් ඇත. එහි ඇති හරසුන්භාවය පෙන්වා දීම අතින් දෙයියන්ගේ රටේ ටෙලිනාට්‍යය අගය කළ යුත්තේ ඒ අර්ථයෙන්ය.

ධනවාදයේ කෙළවර ශුද්ධ වූ සියල්ල කෙළසේ යනුවෙන් වරක් මාක්ස් ප්‍රකාශ කළේය. පැණි වරකා ගහටත් හෙණ ගහන්නේ නම් අනෙක් දේවල් ගැන කුමන කතාද? අපට දෙවියන් සමග අරෝවක් නැත. එහෙත් දෙවියන් විකුණාගෙන කමින් දේව මාෆියාවක් ගෙන යන පාතාලය ගැන ආරෝවක් ඇත. උදේ සිට රාත්‍රිය දක්වාම මිනිසුන් මිථ්‍යාවෙහි ගිල්වමින් මිනිසුන් මානසික රෝගීන් බවට පත්කරන මුදලාලිලාට අප එරෙහි විය යුතුය. රෝහලට ගොස් රෝගය සුවකර ගැනීමට තිබිය දී දේවාල ගානේ රස්තියාදු කරවමින් ඔවුන්ගේ මුදල් හා ජීවිතය උදුරා ගන්නා මාෆියාවට අප එරෙහි විය යුතුය.

ගම්උදාව වේවා, සමෘද්ධිය වේවා, ගම් පෙරළිය වේවා මේ සියලු සංවර්ධනයන් රටට ළඟා කරගත හැකි වන්නේ පොදු මහත් ජනතාව මිථ්‍යාවවෙන් ගලවා ගතහොත් පමණි. එසේ නොවන්නේ නම් ඒවා හුදු ව්‍යාපෘති පමණක් වනු ඇත. බුද්ධිමත් ජනතාවක් ගොඩනගා ගැනීමේදී අප ඉදිරියට එන ප්‍රධාන බාධාව මෙම මිථ්‍යාවයි. එය යම් තාක් දුරට හෝ නැවත හැරවීමට "දෙයියන්ගේ රටේ" වැනි ටෙලි නාට‍යවලට හැකි වනු ඇත. එතෙක් අප දෙවියන්ටත් දෙයියන්ගේම පිහිටම පතමු.

[ගාමිණි බස්නායක]

මාතෘකා