මන්නාරමේ බූරු කතාවක්

 ඡායාරූපය:

මන්නාරමේ බූරු කතාවක්

සවස හතරට පමණ කොළඹ කොටුවෙන් පිටත්වන කොළඹ මන්නාරාම බසය ගමනාන්තයට ළඟාවන්නේ අලුයම එකේ කණිසමට පමණය. ඒ අතර තුර එහි ගමන් කරන්නෙකුට දමිළ චිත්‍රපට තුනකුත්, වීඩියෝ දර්ශන සහිත සංගීත සංදර්ශනයකුත් මුල සිට අවසානය දක්වා බැලීමට අවස්ථාව ලැබේ. මන්නාරමට පැමිණි එවන් එක් දිනක අලුයම, බසයෙන් පැමිණි සියල්ලෝම වැඩි මිලට දුවන ත්‍රීරෝද රථයක එකා දෙන්නා නැඟී ඉගිල ගිය පසු, මා පමණක් ටවුමේ ඇති අවේමරියා දේවමතා පිළිමය ළඟ ඉතිරිවූයේය.

නොදන්නා රටක අතරමං වූවා වැනි හැඟීමක් දැනෙමින් සංග්‍රාම කාලවකවානුව තුළ මන්නාරම තුළ සිදුවූවා යැයි අසා ඇති සිදුවීම් පිළිබඳ මතකය ඇවිස්සිණි. ගෙවා ගැනීමට අවශ්‍ය වූයේ සැතපුමක් පමණ දුරක් නිසා හැකි උපරිම පියමැනීමකින් එම දුර ගෙවා ගතයුතුය යන අදිටනින් නවාතැන වෙත ඇදුණෙමි. මන්නාරම පොලීසීය පසුකොට පියවර කිහිපයක් ඉදිරියට යනවාත් සමඟම අතුරු මඟකින් මතු වූ කිසිවෙකු මාවත හරහා පැන්නේ මා බිම ඇදදමමිනි. අසුරු සැණක් ගෙවිණ. පාර හරහා පැන්නේ බූරුවෙකු බව පැනිල්ලෙන්ම ප්‍රත්‍යක්ෂ විය. දිවගිය වේගයට බූරුවාද පසෙකින් ඇති කානුවේ පය පැටලීමෙන් ඇද වැටිණි.

බූරුවාගේ බූරු ක්‍රියාව පිළිබඳ ද්වේෂය සහ ශරීර වේදනාම මැඩිගනිමින් නැඟීසිටි මා බූරුවා වෙත ළංවූයේ ඌට පිහිටක් වීමේ අරමුණිනි. “සොරි වෙන්න ඕන සර්,” මා විශ්මයට පත් කරමින් බූරුවා කතා කළේය. “ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි කියනවනේ. කොයිතරම් ට්‍රයි කළත් මහත්තයලා මහත්තයලගේ නෝනල පනින විදියටමනේ අපිත් දැන් පාර පනින්න පුරුදු වෙලා තියෙන්නෙ.” මම විස්මය මැඩ ගැනීමට තැත්කළෙමි. බූරුවාද කිසිදු වෙනසක් නොපෑවේය. අපහසුවෙන් නැගී සිටි බූරුවා මා සමඟ නවාතැනට ඇති දෙසට යෑමට පිටත් විය. ඒ අතරතුරේ බූරුවා බොහෝ කතා කළේය. බූරුවාට පැමිණෙමින් තිබුණේ රහස් සාකච්ඡාවකට සහභාගි වීමෙන් අනතුරුවය. බූරුවා සමඟ කළ කෙටි සංවාදයෙන් ‘ඔහු’ රට දැය පිළිබඳ විශේෂයෙන්ම ඉතිහාසය පිළිබඳ සංවේදී වූවෙක්ය යන්න අවබෝධ විය. මන්නාරමේ ඉතිහාසය එහි සිටින පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධරයන්ටත් වඩා ඔහු මතකයෙන් කීමට සමත් අතර එහි ඇති වටිනාකම පිළිබඳ මනා අවබෝධයක් ඔහු සතු විය. ඔහු එහි ඉතිහාසය ගැන කියන වාරයක් පාසා ගමන නවතා මා දෙස බැලූ අතර ඒ ගෞරව සම්ප්‍රයුක්ත භාවයක් හඟවන බූරු ගතිය විය හැකිය යන්නක්ය යන්න මට සිතිණි.

එහෙත් බූරුවා සිටියේ බෙහෙවින්ම සිත්වේදනාවට පත්වය. එයට නිමිත්ත වී තිබුණේ මෑතකදී උතුරු පළාත් භාර ප්‍රධාන ඇමැත්තා මන්නාරමට පැමිණ කළ කතාවකි. මන්නාරම සංවර්ධනය කිරීමට ඇති මහත් බාධකය නම් එහි ඇති පෞරාණික ස්ථාන වන බව ප්‍රධාන ඇමැත්තා ප්‍රකාශ කර තිබුණි. “ඒක එහෙම නෙමෙයි කියන එක ඕන බුරුවෙකුට තේරුම්ගත හැකි කාරණාවක් නේද මහත්තයෝ?” යනුවෙන් ඔහු තම බූරු සංවේගය ප්‍රකාශ කළේය. සැබවින්ම ඔවුන් එදින රාත්‍රියේ කළ රහස් සාකච්ඡාව පවත්වා තිබුණේද මන්නාරමේ ඓතිහාසික උරුම ස්ථාන වල වැදගත්කම පිළිබඳ අදාළ නිලධරයන් දැනුවත් කිරීමට කළ හැක්කේ කුමක්ද යන්න කතිකා කර ගැනීමටය. එය බූරුවන්ට අයත් කාර්යක් නොවුණත් ඒ පිළිබඳ සියල්ලන්ගේම පැවති මන්දෝත්සාහය නිසා ඔවුන් ඒ සඳහා ස්වේඡාවෙන්ම ඉදිරිපත් වී තිබිණි.

මන්නාරමේ ලන්දේසි බළකොටුවේ තත්ත්වය ගැන බූරුවා බොහෝ කතා කළේය. “මගේ මුත්ත මට කියල තියෙනව උන්දැගේ මුත්ත කාලේ මේක කොහොම ලස්සනට තිබුනද කියල. ඒත් මගේ ජීවිත කාලේම මේක මොනතරම් අබලන් වෙලා තියෙනවද? මේ ළඟදි දකුණු දිහාවේ තියෙන මේ වගේම බළකොටුවක් ගැන හා හූවක් ගිය බව මගේ කන වැටුණා. ලන්දේසිකාරයෝ ඒ බලකොටුව හදන්න රුපියල් මිලියන නමසීයක්ම දෙනකොට මේ බලකොටුව හදන්නත් මුදල් දීල තියෙනව කියන කතාවක් ගැන හා හෝවක් තියෙනවා.” ඇත්තටම දැන් ඔය පුරාවිද්‍යාව භාර කාර්යාලවල මුල් පුටුවල ඉන්න මහත්තයන්ල ගැන දුකත් හිතනවා. මොනතරම් දහිරියක් ගන්නව ඇත්ද මේව මේ තත්ත්වයෙන්වත් ආරක්ෂා කරගෙන යන්න. මේකේ මේ තැන්තැන්වල වැසිකිළි හදල තිබුණත්, කොටුබැම්ම බිඳිල තැනින් තැන කඩා වැටිල තිබුණත්, පල්ලියේ වහල ගැලවිලා බිත්ති වැස්සට තෙමිලා හිරිගල් දියවෙලා ගිහිල්ල තිබුණත්, බිත්තියක කළු තීන්තෙන් ඇඳපු ‘පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව’ පාඨය තාමත් හොඳට තියා ගන්න පුළුවන් වුණ එක ගැන අපි ඇත්තටම සතුටුවෙන්න ඕන. ඕක නිතර දේවේලෙ දකින්න තියෙන එකම මැදෑ. දැක්කත් බඩ පිරෙනවා. ඒත් අමනාපයක් ඇතිවෙන්නෙ ඒකට අර දොඩම් බෑය ගැලෙව්ව වගේ හතර වටේට කඩාගෙන වැටිල තියෙන සිලාවතුරේ තියෙන ‘ඩොරික් බංගලාවේ’ තාම ඔය නම ගහන්න මෙතුමන්ල පරක්කු වුණ එක ගැන.”

එදින රැයේ බූරුවා තවත් බොහෝ දේ පැවසුවේය. බූරුවා පැවසූ සියල්ලක්ම බූරු අදහස් සේ සලකා අමතක කරන්නට උත්සහ දරන සෑම වාරයක් පාසාම බුරුවෙකු වූවත් ඔහු පැසූවේ ඔහුගේ අවංක අදහස් නොවේදෝ යන සිතුවිල්ල එම හැඟීම මැඩ පවත්වයි.

[දිනේෂ් දේවගේ]

මාතෘකා