මාධ්‍යවේදියෝ!

 ඡායාරූපය:

මාධ්‍යවේදියෝ!

ඔසාමා බින්ලාඩන්ව හම්බෙන්න මාධ්‍යවේදීන් ටිකක් ගියාලු. රට රටවල්වලින් ආව මාධ්‍යවේදීන් සෙට් එකට රට ඉඳි එහෙම දීලා මාධ්‍ය සාකච්ඡාව පටන් ගත්තලු.

එක එක්කෙනා ප්‍රශ්න අහනවලු.

ඇමරිකන් මාධ්‍යවේදියා - ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට එල්ල කරන ලද ප්‍රහාරය පසුපස සීඅයිඒ සංවිධානය ඉන්නවා කියලා පැතිර යන ආරංචිවලට ඔබ සංවිධානයේ නිල ප්‍රතිචාරය කුමක්ද? ඒ වගේම මේ අමානුෂික ඝාතන නවත්වලා සාම ක්‍රියාවලියකට එළඹීමට එක්සත් ජාතීන් කරන යෝජනාවන්ට එකඟ නොවන්නේ ඇයි?

එංගලන්ත මාධ්‍යවේදියා - තලේබාන් සංවිධානය හා සෞදි අරාබිය අතර ආයුධ සහ ඛනිජ තෙල් හුවමාරුවීම සම්බන්ධයෙන් සෞදි රජය දක්වන්නේ නිහඬතාවයක්. ඒ වගේම ඔබ සංවිධානය පවා සෞදිය සම්බන්ධයෙන් සාමකාමී ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා‍. මේ පසුපස ඇති දේශපාලනික සම්බන්ධය කුමක්ද? ඔබලා අතර යම් එකඟතාවක් පවතිනවද?

ඉන්දියානු මාධ්‍යවේදියා - තලේබාන් සංවිධානයේ ප්‍රාණ ඇපයේ සිටින ජනමාධ්‍යවේදීන් නිදහස් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා මාර්ගවලට එළඹීමට ඔබ ඉදිරිපත් කරන කොන්දේසි මොනවාද?

ඔහොම රටවවල මාධ්‍යවේදීන් එක එක ප්‍රශ්න අහලා ලංකාවෙ මාධ්‍යවේදීන්ගෙ වාරෙ ආවලු.

ලංකාවෙ මාධ්‍යවේදීන් - ඔබතුමාගේ විසි එක්වෙනි බිරිඳ පාතිමා පසුගිය දවසක යටසායක් මිලදී ගැනීම සඳහා අබුඩාබි ගිය අවස්ථාවකදී ඇගේ රියදුරා සමඟ පැනගොස් තිබෙන බව අපි ‘ටසිරිලංගොසිප්‘ වලින් වාර්තා කරලා තිබ්බා. ඇය මිලදී ගත් යටසායවල් ඔබතුමාට නැවත ලැබුණද? ඒ වගේම බින්ලාඩන් මහත්තයා අපිට දැනගන්න ඕනෙ. ඔබතුමා ලෝක ප්‍රසිද්ධ ත්‍රස්තවාදී නායකයෙක් විදිහට ඇමරිකාව කරන මෙහෙයුම් සම්බන්ධයෙන් ඔබතුමාට දැනෙන්නෙ මොකක්ද. දුකක්ද සතුටක්ද. ඒක ඔබේ වචනවලට පෙරළන්න බලන්න. අපි ආසයි ඒක ලෝකෙටම කියන්න. අහ්. තව පුංචි ප්‍රශ්නයක් දැනගන්න කැමතියි. ඔබතුමා ත්‍රස්තවාදියෙක් විදිහට මේ පැමිණි ගමන පසුපස ධනලක්ෂ්මි වාලම්පුරියක් හෝ ජ්‍යෝතිෂමය ගුප්ත ශාස්ත්‍රයක සහයෝගයක් ඇති. ඔබේ අම්මා ඔබ ගැන ආඩම්බර වෙනවා ඇති. ඔබතුමාගේ ඇස්වල කඳුළු ඒකට හොඳම සාක්ෂියක්.. ඒ හැඟීම විස්තර කළොත්?

හොලිවුඩ් රංගන ශිල්පිනී ඇන්ජලිනා ජොලී සිය ට්විටර් ගිණුමේ කියා සිටියා රැවුල තියන කොල්ලෙක්නං හා අම්මෙ කියලා. ඇය එය කියා සිටියේ ඔබව ඉලක්ක කරගෙනද? ඔබ හා ඇය අතර ඇති අනියම් සම්බන්ධයක් දැනගෙන කලකිරී ඇගේ සැමියා මහා රාවණා රජු සොයා ලකේගලට පැමිණීම ගැන ඔබේ අදහස කුමක්ද? කියලා අහනකොටම අම්මා චමලෙව ඇහැරෙව්වා තේක දෙන්න. නිදිමත ඇරලා බලනකොට ඇඳේ පැත්තක තියනවා පෝං එක. ඒකෙ මහින්ද මහත්තයගෙන් කීත් නොයාර් සිද්ධිය සම්බන්ධයෙන් සීඅයිඩී එකෙන් ප්‍රශ්න කරලා එළියට ආව වෙලාවෙ මීඩියා වලින් ප්‍රශ්න අහන වීඩියෝ එක ප්ලේ වෙලා නැවතිලා. කරූ ජයසූරිය මහින්දට කෝල් කරලා කියපු හින්දා මහින්ද රාජපක්ස අදාළ පැහැරගෙන ගිය පාර්ශවයට කතා කරලා කීත් නොයර්ව නිදහස් කළාද කියලා මීඩියාවලින් අහනවා ඒක මතක නෑ කියලා ආයෙ මහින්ද මහත්තයා කියනවා..

"නිදහස් වෙලා යන එක වරදක්ද? " කියලා CID නිලධාරීන්ගෙන් එයා ඇහුවලු.

දැන් ඔතන හිටපු මාධ්‍යවේදීන් කියලා කියාගන්න එක්කෙනෙකුටවත් බැරි වුණා අහන්න, නිදහස් කළා කියලා කියනවනං ඔබතුමා ඒ පැහැරගැනීම ගැන දැනුවත්ද? කියලා.

දැනුවත්නං නොයාර් පැහැරගෙන ගිය පාර්ශ්ව එක්ක ඔබතුමාගෙ තියන සම්බන්ධය මොකක්ද?

රටේ සිවිල් පුරවැසියෙක් සුදුවෑන් එකකින් පැහැරගෙන ගිහින් පහරදීලා ඝාතනයට තැත් කරන තරමේ බරපතළ සිදුවීමක් වුණාට පස්සෙ ඔබතුමා රටේ ජනාධිපති විදිහට නීතිය ක්‍රියාත්මක නොකළේ ඇයි?

ඊට පස්සෙ ඒ සිද්ධියට නීතිය ක්‍රියාත්මක කරන්න කියලා එල්ල වුණ බලපෑම්වලට ඇහුම්කන් නුදුන්නෙ ඇයි?

එතකොට කරු ජයසූරිය මහින්ද රාජපක්ෂට කෝල් කළා කියලා කියන්නෙ බොරුද?

එතුමාගේ පාලන කාලයේ තිබුණ නීතියේ ආධිපත්‍යයේ බිඳවැටීම ගැන හිටපු ජනාධිපති විදිහට කියන්න තියෙන්නෙ මොකක්ද?

ඇරත් මේ හා සම්බන්ධ විශාල සිදුවීම් ප්‍රමාණයක්, ඝාතන පැහැරගෙනයෑම් රැල්ලක් මාධ්‍යවේදීන් හා සිවිල් පුරවැසියන් ඉලක්ක කර සිදුවෙද්දි එතුමා ඊට නීතිය ක්‍රියාත්මක නොකළේ ඇයි? වගේ ප්‍රශ්න එකක්වත්. හැබැයි එතන හිටපු මාධ්‍යවේදීන්ට තිබ්බ ලොකුම ප්‍රස්න තමයි,

"අනී ජනාධිපතිතුමා උබවාන්සී වගී ශ්‍රේෂ්ඨෝත්තමේක්ට මී වගේ ප්‍රස්න කරන එකින් සිත ලිදුනද අනා..." වගේ ඒවා..

ඊට පස්සෙ ඔක්කොම කළේ අර දහයට නිදාගන්නෙ නෑ කියපු කතාවට හැක හැක ගාපු එක විතරයි.

ඔන්න ඔහොමයි තමන්ගෙම වෘත්තීය සගයෙක් පැහැරගෙන ගිහින් අනූනමයෙන් මරණයෙන් ගැලවුන එක ගැන තොරතුරු වාර්තාකරන මාධ්‍යවේදීන් හැසිරෙන්නෙ.

[චමල් අකලංක පොල්වත්තගේ] [සුජිත් ප්‍රියන්ත]

මාතෘකා