කවරයේ කතාව

 ඡායාරූපය:

කවරයේ කතාව

සඳුන් මගේ මිතුරෙකි. ඇතැමුන්ට අනුව ඔහු විකාරකාරයෙකි. රස්තියාදුකාරයෙකි. ඔහුගේ ඇඳුමට, පැළඳුමට පිළිවෙලක් තිබුණේම නැත. කෑමෙහි, බීමෙහි තෝරාගැනීමක් තිබුණේද නැත. ඉඳුමට, හිටුමට තැනක් තිබුණේද නැත. ජීවිතයේ වැඩිපුරම තිබුණේ හැර යාම්, පලා යෑම් සහ හඹා යෑම් පමණි. නිෂ්ශබ්ද චරිතයක් වූ සඳුන්ට පරිසරයේ කුඩා ශබ්ද හොඳින් ඇසුනේය. ගහකින් වැටෙන කොළයකට, පයිප්පයෙන් වැටෙන දිය බිඳුවකට පවා ඔහු අමුතු කතා කීවේය. තනියම කියවූ ඔහු තමන් සමඟම සිනාසුණේය. අපේ අතට හසුවෙන බොහෝ දේ සඳුන්ගේ හසුවූයේ හිතටය.

ප්‍රිය සාදයක් අතරතුර සඳුන් හිටිඅඩියේ පලාගොස් තිබුණි. ඔහු හඹා යෑම නවතා අපි ප්‍රිය සාදයේම නැවතී සිටියෙමු. කලකට පසු ඔහු නැවත ආවේය. ඒ යමක් ලියූ කොපි පොතක් සහිතවය. පොතෙහි කුරුටු ගෑ බලි චිත්‍රයක් විය. ඊට යටින් නමක්ද යොදා තිබුණි. "සඳුන්ගේ රස්තියාදුව" ඒ නමය. මෙපමණ කලක් කොහි සිටියේදැයි ඇසූ මට ඔහු කීවේ "පොත කියවා බලන්න" කියා පමණි.

පොතෙහි තිබුණේ එදා ඔහු ප්‍රිය සාදයෙන් පලාගිය කතාවය. ඒ පලායෑමේදී ඔහු මුහුණ දුන් සිදුවීම් කිහිපයකි. මග වියදම් පවා අත නොමැතිව ඔහු කතරක් දිගේ අඳුරේ ඇවිද තිබේ. අඳුරත්, රාත්‍රියත්, වෙහෙසත්, අරමුණත් ඔහු අපුරුවට විස්තර කොට තිබිණි. දිවියේ මෙහෙවරින් කිරා වැටෙන ගොඩනැඟිලි, රාත්‍රියේ සනීපයට කෙඳිරිගාන වැඩබිම්වල මිනිසුන් මට මැවී පෙණුනි. "ඇතුල්වීම තහනම්" බෝඩ් මඟහැර වැටවල්, තාප්ප තරණය කොට ඇවිද යා හැකි මාවත් සෙවූ ඔහුගේ ගමන විටෙක ත්‍රාසය සහ අනුකම්පාව උපදවනසුලුය. අධිවේගී මාර්ගයක යාන, වාහන වේගය ඉක්මවා දුව ගිය අයුරු සහ ඒ හේතුවෙන් නීතීයේ නිවස්නක පහන් කළ රාත්‍රී කිහිපය ඉතා අපූරුය. සාද ජීවිතයෙන් නික්මීම තමන්ට මේ අත්දැකීම ලබාදුන් බව ඔහු සැනසීමෙන් සටහන් කර තිබුණේය.

සඳුන්ගේ හැසිරීම ගැන කියවූ බොහෝදෙනා, සඳුන් ලියූ පොතෙහි කියවූයේ කවරය පමණි. ඇතැමෙක් කතා කළේ සඳුන් ගස ගැනය. සඳුන් ගසෙහි කුලකයන් හා ජීව විද්‍යාත්මක නාමය ගැන මා මෙතෙක් නොඇසූ දේ ඒ කතාවන්හි විය. තවත් සමහරෙක් සඳුන් ගස ලංකාවට ආවේණිකද, නැද්ද..? යන්න ගැන කෙස් පැලෙන තර්ක කළහ. "සුදු හඳුන් සහ කාන්තාව", "රත් හඳුන් සහ බිළින්දෝ" වැනි අතුරු මාතෘකා ඔස්සේද කතාව පුළුල්ව ගලා ගියහ. ලංකාවේ සුදු හඳුන් ජාවාරම යනු මෙරට පාරිසරික සහ සමාජීය වටිනාකම් විනාශ කිරීමට පැමිණෙන විදෙස් බලවේග බවත්, ඒවා පරාජය කිරීමට ලාංකිකයින් ලෙස එක්ව පෙළගැසිය යුතු බවත් සමහරෙක් තරයේ කියා සිටියහ.

පොත කියවූ බව ඇඟවීමට වුවමනා ඇතැම් මිතුරන්, සඳුන්ගේ මුහුණට "මරු" "එළ" "පට්ට" කියා, ඔහු නැති තැන ඔහුගේ පෞද්ගලික ජීවිතයේ අඩුලුහුඬුකම් ගැන මරු කියවමින් එළවා, එළවා ඔහු පට්ට ගැසුවෝය. මා නිකමට සඳුන්ගෙන් "පොත ගැන ප්‍රතිචාර කොහොමදැයි" ඇසූ විට, ඔහු කීයේ බොහෝ අය පොතට වඩා කවරය කියවා ඇති හෙයින්, මේ පොතම කවරය වෙනස් කොට නැවත එළිදක්වන්නට මේ දිනවල හොඳ කවරයක් ගැන සිතමින් ඉන්නා බවය.

ලංකාවේ කවරයේ කතා කෝටි ගණනක් වෙතත්, ඉන් භාගයක්වත් ලියන්නට මෙහි ඉඩ නැත. භාණ්ඩ හා සේවා නිෂ්පාදකයන් අන්තර්ගතයට වඩා කවරයට වැඩි උනන්දුවක් දක්වන්නේ අපව කවරයෙන් දවටා අන්තර්ගතය රවටා දැමිය හැකි නිසාය. භාණ්ඩය හෝ සේවාව ගුණාත්මකභාවයෙන් කුමන තලයක තිබුණද, ඒවා කවරයෙන් වසා විකිණිය හැකි බව නිෂ්පාදකයෝ දනී. කවරය යනු වෙළෙඳ නාමයකි. දන්තාලේපයේ, සබන් කෑල්ලේ සිට මුහුණේ උලන, කිහිල්ලේ ගාන ක්‍රීම් වර්ගය දක්වා අපි පෙම් බඳින්නේ කවරයටය. බාබර් සාප්පුවේ, බෙහෙත් සාප්පුවේ සිට ඇඳුම් සාප්පුව, සුපිරි මාකට්ටුව දක්වා අප සොයා යන්නේ බෝඩ් ලෑල්ලය. සුද්දා අපට "පරයා" වුණත්, සුද්දාගේ ඇඳුමින් "කවර්" වුණු ඇත්තෝ තාමත් අපට " මහත්තයා" වන්නේ එහෙයිනි. සුද්දාගේ "ටොයිලට් පේපර්" එක දැක, ඌ ශරීර කර්ත්‍යවය කොට පස්ස නොසෝදා ඒකෙන් පිසදාගන්නා බව විශ්වාස කරන අප, තාමත් ඉන්නේ නාන කාමරයේ "ෂවර් කර්ට්න්" ඇත්තේ හෙළුව වසාගැනීමටය යන ඔළුවෙනි.

සද්දෙට වාතයක් පිටකර සැහැල්ලු වීමට කොතෙක් ආසා කළත්, නිෂ්ශබ්දව එය පිටකර දුගඳක් ඒනම් නහය හකුළාගැනීම අපේ සිරිතය. කට පළල් ඈනුමක් අරින්නට, සද්දෙට කිවිසුමක් යවන්නට නොනිම් ආශා ඇතත්, සමාජය ඉදිරියේ අප ඒවා කරන්නේ අතින් මුව ආවරණය කරගනිමිනි. ගසකට, තාප්පයකට මුත්‍රා කිරීමේ සැහැල්ලුව දනිතත් වැසිකිළිය තෙක් එය දරා සිටීමේ පුරුද්ද අපි ආයාසයෙන් හෝ ප්‍රගුණ කරති. අතෙන් අනා කෑමේ රසය දනිතත්, හැඳි ගෑරුප්පු සද්ද කිරීමේ විලාසිතාවට අපි පෙමින් බැඳුණෝ වෙති. කවරය යනු ආටෝප ප්‍රදර්ශනයේ සමාජීය ආවරණයකි. කොහෙත්ම ඉන් පුද්ගල අන්තර්ගතය පිළිඹිබු නොවේ.

 [ධනුෂ්ක බස්නායක]

මාතෘකා