රස්තියාදු නොවී බුදුන් සොයා ගැනීම

 ඡායාරූපය:

රස්තියාදු නොවී බුදුන් සොයා ගැනීම

‘‘සාරිපුත්ත, අතීතයේ සියලු බුදුවරුන් ගැන ඔබ දන්නෙහිය”

“නැත ස්වාමීනී”

“එසේ නම් ඔබ අනාගතයේ බුදුවරුන් ගැන දන්නෙහිය”

“නැත ස්වාමීනී”

“එසේ නම් ඔබ මා ගැන දන්නෙහිය. මගේ සිත හොඳින් විමසා බලා ඇත”

“එසේත් නැත ස්වාමීනී”

“එසේ නම් සාරිපුත්ත, ඔබේ වචන එතරම් විශාල හා නිර්භය වන්නේ කෙ‍‍සේද?”

බුදුන්වහන්සේ

(උපුටනය- සිත විනිවිද දකින්නට- සාමන්ත තැන්නගේ)

මාර්ටින් වික්‍රමසිංහ මහතා තම අසූතුන්වන වියේදී තම අවසන් නවතකාව වන ‘බවතරණ’ ලියා පළකළේය. “බුදුන් වහන්සේ විසින්ම බැහැර කළ හින්දු, සකු, බමුණු, අද්භූත, අලංකාර වාදයේ අඳුරු ස්‌වාභාවයේ ගිලී පැවැති සිදුහත් බුදු සිරිත ඉන් ගලවා ගැනීමේ අපේක්‍ෂාව” පෙරදැරිව එම කෘතිය ලියන ලද බව එහි මුල් මුද්‍ර‍ණයේ පෙරවදනින් දක්වා ඇත.

එම කෘතියේ අන්තර්ගතය පිළිබද විසංවාදය එකල ලැව්ගින්නක් සේ ඇවිල ගිය අතර මාර්ටින් වික්‍රමසිංහ මහතා සංඝ සංස්ථාව තුළ මහත් පරිභවයට ලක්විය. ‘බවතරණය’ බුදුන්වහන්සේට කළ නිගාවකැයි පවසමින් භික්ෂූන් වහන්සේලා එම කෘතිය සොයා සොයා පුළුස්සා දැමුහ. යක්‌කඩුවේ ප්‍රඥාරාම වැනි යතිවරු එයට විවෘතවම විරුද්ධ වූ අතර පරම විඥනාර්ථ බෞද්ධ සමාගම හා කොළඹ තරුණ බෞද්ධ සංගමය වැනි සංගම්ද ඒ සඳහා මූලික විය. එහෙත් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, වෛද්‍ය ගුණදාස අමරසේකර වැනි සාහිත්‍යධරයන්ද අකුරටියේ අමරවංශ සහ මොරටුවේ ශාසනරතන වැනි ශාස්ත්‍ර‍වෘද්ධ යතිවරුද එහි දොසක් නුදුටුවහ.

මෑතකදී තරුණයකු විසින් රචනා කර ඇති ‘බුදුන්ගේ රස්තියාදුව’ නමින් කළ කෘතිය බවතරණ සංදර්භය සමග ගැළපීමට උත්සාහයක් ගනිමින් සිටින බව පෙනෙන්නට තිබේ. එහෙත් එම කෘතියට යෙදූ නම හැ‍රෙන්නට බුදුන් හෝ බුද්ධ දර්ශනය පිළිබද කිසිවක් එහි අන්තර්ගත නොවන බවද එය හුදු අලෙවි ප්‍ර‍වර්ධක උපක්‍ර‍මයක් පමණක්ය යන්න පැහැදිලිවම පෙනෙන කරුණකි. ඇතැම්විට මාර්ටින් වික්‍රමසිංහ මහතාටත් එබදු ප්‍රකාශකයෙක් සිටියා නම් හෝ, අලෙවි ප්‍රචාරණය පිළිබද න්‍යායචාර්යවරුන්ගේ උපදෙස් ලැබුණා නම් මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයට වික්‍රමසිංහ උරුමය රැක ගැනීමට බවතරණ කෘතියේ අලෙවිය පමණක් ප්‍රමාණවත් වනු නියත වන බව සිතෙන්නේ මෙම කෘතිය අරඹයා ගෙනයන අවිචාරවත් ප්‍ර‍චාරණය ගැන සිතාබලද්දීය.

ස්වච්ඡන්දතාව බුදුන් අනුදත් ධර්ම මාර්ගයයි. උන්වහන්සේ විසින් දේශනා කරන ලද ධර්ම කරුණුවල ඇති සත්‍යතාව පිළිබඳ යමෙකුට ප්‍ර‍ශ්න කිරීමට තරම් සෛවරීත්වයක් බුද්ධ දර්ශනය මගින් අනුදැන ඇත. එමෙන්ම උන්වහන්සේ වක්කලී හිමියන් අරබයා දේශනා කළේද ‘යෝ කෝ වක්කලී ධම්මං පස්සති සෝ මං පස්සති’ එනම් ‘ධර්මය දකින්නා මාව දකී’ යනුවෙනි. එහෙයින් සැබෑ බුදුන් යනු පර්වත, වන අරාම වගේම වෘක්ෂවලද දක්නට නැති ‘දැතිරෝ‍ෙවලින් උපදින්නේ’ හෝ බැරල්මත මතු බුදුවන්නේය යන හෝ මුද්‍රිත අකුරුවලින් වියුක්ත පැවැත්මකි. බුදුන්ගේ ජීවන චරිතය අළලා යම් නිර්මාණයක් කරන්නේ නම් එය උන්වහන්සේගේ ඥාන දර්ශනය පිළිබද දැනුමක්ද සහිතව කළ යුත්තක් වුවද මෑතක ඇති වූ සිදුවීම ඒ කිසිවක් හා නොගැලපෙන මතිභ්‍ර‍මික විකෘතියක් බව පැහැදිලි වෙයි.

එමෙන්ම බුදුන් අදාළ කර ගනිමින් නිර්මාණ වශයෙන් එළිදැක්වෙන මෙවැනි මනෝ ව්‍යාධික කෘතිවලින් නිරූපනය වන්නේ සැබවින්ම එකී නිර්මාණ සිදු කළ නිර්මාණකරුවන්ගේම රෝග ලක්ෂණ වන බව අතිශෝක්තියක් නොවනු ඇත. එමෙන්ම එවැනි ක්‍රියාකාරකම්වලට පරල වීමද බුදුන්ගේ ඥාන දර්ශනය අනුදත් පුද්ගල චර්යාවක්ද නොවේ. සැබෑ බුදුන් කවරෙක්ද යන්න සොයාගැනීම පිළිබද එක්තර අගනා සෙන් කතාවක් ඇත.

එක්තරා භික්ෂුවක් බුදුන් සොයා දිගු චාරිකාවක් ආරම්භ කළා. වසර ගණනාවක් අවසානයේ බුදුන් ජීවමානව සිටින්නේ යැයි පවසන දේශයට ළඟා වීමට උන්වහන්සේට හැකි වුණ අතර එම දේශයට ළගා වීමට ගඟක් තරණය කළ යුතු වුණා. තොටියා පාරුව පදින අතරේ භික්ෂුව අවට පරිසරය නිරීක්ෂණය කරමින් ගමන් කළා. එවිට ජලයේ පාවමින් තිබූ යමක් උන්වහන්සේ වෙත ළගාවන බව දුටුවා. ටිකෙන් ටික එය ළගාවත්ම එය මිනිසෙකුගේ මෘත ක්ලේබරයක් බව උන්වහන්සේ වටහා ගත්තා. එය අත පොවන මානයට පැමිණි පසු ඒ කවෙරක්ද යන්න ඔහු හැඳිනගත්තා. සැබවින්ම එය ඔහුගේම මෘත ක්ලේබරය වුණා. වඩාත් වික්ෂිප්තියට පත් ඔහු ප්‍රාණය නිරුද්ධ තම ශරීරය නිසොල්මනේ ජල තලය මත පාවෙමින් යන දර්ශනය දැකීමෙන්

මහත් විලාප නැගුවා. පාරුව මත වාරුව නැති වන බවක් ඔහුට දැනී ගියා. එහෙත් පසුව සිහිය එළඹවා ගත්තා. සැබවින්ම ආත්ම විමුක්තිය ලබාගැනීමට ඔහු එළඹ සිටි සිහියට පිළිපන් ආරම්භක අවස්ථාවද එය වුණා. සැබවින්ම නිර්මාණාවේශයකින් හෝ ධර්මාභිලාශයකින් හෝ කුමනාකාරයකින් අප බුදුන් සොයා ගියත් අවසානයේ අපට හමුවීමට නියමිත බඹයක් පමණ වූ අපේම මෘත ක්ලේබර යම

තමයි. ඒ නිසා තමයි බුදුහිමියන් ආරම්භයේදීම ව්‍යාකූලත්වයට පත් නොවී උන්වහන්සේ දැකීමට අවශ්‍ය නම් ධර්මය දකින්න කියල දේශනා කරන්නට ඇත්තේ.

[දිනේෂ් දේවගේ]

මාතෘකා