මත්ද්‍රව්‍ය හා තාරුණ්‍යයේ හෙට දවස

 ඡායාරූපය:

මත්ද්‍රව්‍ය හා තාරුණ්‍යයේ හෙට දවස

මත්ද්‍රව්‍ය භාවිතය මනුෂ්‍ය වර්ගයාගේ ඉතිහාසය හා ජනතාවගේ ඇදහිලි විශ්වාස තරම්ම පැරණිය. බුදුන් වහන්සේ සිගාලෝවාද සූත්‍ර දේශනාවේදී රහමෙර පානයේ ආදීනව, ආර්ථික හා සමාජීය වශයෙන් පරිහානියට පත්වන ආකාරය පිළිබඳව දේශනා කර ඇත. බෞද්ධයින් විසින් පිළිපදිනු ලබන ශික්ෂා පදයට අනුව සුරාමේරය මජ්ජපමා දට්ඨානා යනුවෙන් මිනිසා මත් බවට පත්කරන ආහාර පාන වර්ගවලින් වළකින ලෙසටත් දක්වා ඇත.

මොනවද මේ මත්ද්‍රව්‍ය?

1948 අංක 13 දරන විෂවර්ග, අබිං සහ අන්තරාදායක ඖෂධ ආඥා පනත මඟින් නම් කොට ඇති රසායනික ද්‍රව්‍ය නීතිමය වශයෙන් තහනම් ද්‍රව්‍ය ලෙස විග්‍රහ කොට ඇත. නීතියෙන් තහනම් කොට ඇති රසායනික ද්‍රව්‍ය හෝ වෛද්‍ය මඟපෙන්වීමකින් තොරව මිලට ගන්නා රසායනික ද්‍රව්‍ය නීතිවිරෝධී වේ. මේ අනුව බලන කළ අබිං, ගංජා, කොකේන් හා හෙරොයින් මෙන්ම වෛද්‍යමය වශයෙන් යොදා නොගන්නා අවස්ථාවලදී ඇතැම් ඖෂධද මත්ද්‍රව්‍ය ලෙස සැලකේ. ශ්‍රී ලංකාවේ මුල්කාලීනව මත්ද්‍රව්‍ය උවදුරේ ප්‍රධාන මත්ද්‍රව්‍ය වශයෙන් ගංජා, අබිං සැලකිය යුතු වුවද 70 දශකයේ අවසානයේදී ඉතා ප්‍රබල හා භයානක මත්ද්‍රව්‍ය වන හෙරොයින් භාවිතය ආරම්භ විය. වර්තමානය වන විට ඉතා ප්‍රබල ක්‍රියාකාරීත්වයකින් යුතු මත්ද්‍රව්‍ය විශේෂයක් රට තුළ සංසරණය වන බවට පසුගිය කාලවලදී සුලබව වාර්තා විය.

ලංකාවට අලුතින් ආ මාරයා “අයිස්”

ඇමෙරිකානු මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයට (Drug Enforcement Agency) අනුව Methamphetamine හෙවත් අයිස් යනුවෙන් හැඳින්වෙන්නේ ඉතා භයානක මත්ද්‍රව්‍ය විශේෂයකි. අයිස් ලෙස සාමාන්‍ය ව්‍යවහරය තුළ හඳුන්වනු ලබන මෙම මත්ද්‍රව්‍ය විශේෂය සිරුර මත දීර්ඝකාලීන බලපෑම් ඇති කළ හැකි උත්තේජකයක් ලෙස හැඳින්වීමට පුළුවන. මෑතකදී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වී ඇක මත්ද්‍රව්‍ය විශේෂය සමඟ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ සිද්ධීන් වාර්තා වීම තුළ ලංකාව මෙම මත් උවදුරේ අවදානම් සහිත අවධියක පවතින බවට නිදසුනකි.

මත්ද්‍රව්‍ය සමාජ අර්බුදයක් වන හැටි

ශාරීරික, මානසික හා සමාජීය වශයෙන් මත්ද්‍රව්‍ය පුද්ගලයා විෂයෙහි විනාශකාරී අයුරින් බලපෑම් කරනඅ බව කවුරුත් දන්නා කරුණකි. වර්තමානයේ ලාංකික සමාජය මත්ද්‍රව්‍ය හේතුවෙන් අර්බුද රාශියකට මුහුණ පා ඇත. ඒ අතුරින් බරපතළම සමාජ අර්බුදය වී ඇත්තේ තරුණ පරම්පරාව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමේ ප්‍රතිශතය දිනෙන් දින ඉහළ යෑමයි. නමුදු මීට දශක දෙකකට, තුනකට පමණ පෙර ලාංකික සමාජය තුළ මත්පැන්, මත්ද්‍රව්‍ය, දුම්වැටිවලට ඇබ්බැහි වූවන් සිටියද එය තරුණ හා පාසල් ප්‍රජාව ගිලගැනීමේ අර්බුදයක් දක්වා වර්ධනය වී නොතිබිණි. ඒ නිසාම එය සමාජ ප්‍රශ්නයක් ලෙස එදා සමාජය විසින් පිළිගනු නොලැබීය.

මත්ද්‍රව්‍ය හේතුවෙන් මතුවන සමාජ අර්බුද අතර සියදිවි නසාගැනීම් ප්‍රබල සංසිද්ධියක් ලෙස දැක්විය හැක. විශේෂයෙන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් පසුව ඇති වන මානසික විකෘතිකාරී තත්ත්වයන් පුද්ගලයින් සිය නසා ගැනීමට පොලඹාවලිය හැක.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම හේතුවෙන් මරණයට පත් වන හෝ විවිධ විකෘතිතාවයන්ට ගොදුරුවන පුද්ගලයන්ගේ පවුල් තුළ උද්ගත වන ගැටලුකාරී තත්ත්වයන් අති මහත්ය. මේ හේතුවෙන් මූලික පවුල් සංස්ථාවම බිඳවැටිය හැක. එබැවින් මත්ද්‍රව්‍ය එක් පුද්ගලයෙකුට පමණක් නොව සමස්ත සමාජයටම හානිදායක ලෙස බලපෑම් කරන බව පැහැදිලිය.

ශ්‍රී ලංකා සමාජයේ දැනට බරපතළ ලෙස සමාජ අර්බුද නිර්මාණය කිරීමට සමත්ව ඇති හෙරොයින් අයිස්, කොකේන් වැනි විෂ මත්ද්‍රව්‍ය තුළින් ඇතිකරනු ලබන ඇබ්බැහිවීම් පුද්ගලයින් විවිධ සමාජ විරෝධී හැසිරීම් ගණනාවකට මුල පුරයි.

මත්ද්‍රව්‍ය යනු ඇබ්බැහිකාරකයක් බැවින් නිරන්තරයෙන් එය නියමිත වෙලාවට ගැනීමට පුද්ගලයා පොලඹවයි. එලෙස නොගතහොත් විවිධ ශාරිරික දුබලතා ඇති වේ. මේ හේතුවෙන් එයට ඇබ්බැහි වුවහොත් කෙසේ හෝ දිනපතා ශරීරයට එය අවශ්‍ය ප්‍රමාණයට ලබා ගැනීමට උත්සුක වේ. මේ හේතුවෙන් තමා අත මුදල් නොපැවතුණද කෙසේ හෝ විවිධ ජාවාරම්, හොර මැරකම් සිදුකර මුදල් ලබා ගැනීමට එයට ඇබ්බැහි වූ පුද්ගලයා දෙවරක් නොසිතයි. මේ තත්ත්වය සමාජ අර්බුද ගණනාවකට මුලපුරයි. මේ අය පිළිබඳ සමාජය තුළ ප්‍රකට කිරීම වැදගත්ය. එමෙන්ම තරුණ ප්‍රජාව මෙම උවදුරෙන් මුදා ගැනීමට එහි අවදානම් සහගත බව පිළිබඳව පුද්ගලයන්ට දැනුවත්භාවයක් ලබාදීමද වත්මන් කාලයේ අවශ්‍යතාවකි.

අන්තර්ජාලය, සමාජ ජාල මාධ්‍ය ආදී ක්ෂේත්‍ර පදනම් කරගෙන මත්ද්‍රව්‍ය පිළිබඳව යහපත් ප්‍රතිරූප පුද්ගලයාට මැවීමට උත්සහ ගැනීමක් දක්නට ලැබේ. මෙවැනි තත්ත්වයන් තුළ රටේ අනාගතය වෙනුවෙන් මත් උවදුර පිටුදැකීම සඳහා නිසි සැලැස්මක් පිළිබඳව රාජ්‍ය අංශයෙහි අවධානය යොමු කළ යුතුය. අතර ජනතාවද ඒ වෙනුවෙන් රජයට සහයෝගය ලබා දී මතින් තොර හෙටක් ගොඩනැගීමේ ජාතික වගකීම ඉටු කළ යුතුය.

[අකිලා නිර්මාණිද කරුණාතිලක]

ජන සන්නිවේදන අධ්‍යයන අංශය

කැලණිය විශ්වවිද්‍යාලය

මාතෘකා