ජීවිතය වගේ රේඩියෝවක්

 ඡායාරූපය:

ජීවිතය වගේ රේඩියෝවක්

ගිරාඳුරුකෝට්ටේ ප්‍රජා ගුවන් විදුලියේ රාජකාරි කළ වකවානුව තරම් අපගේ මාධ්‍ය ජීවිතයේ බරසාරම වකවානුවක් යළි හමුවෙලා නෑ. එහි දී අප ගුවන් විදුලි මාධ්‍ය ජනතාවගේ ඉටු නොවුණු අවශ්‍යතා ඉටුකර ගැනීමේ උපකරණයක් ලෙස භාවිතා කරන්නට ඉඩ සලසා දුන් ආකාරය අදත් යළි යළිත් සිහිපත් කර සතුටුවිය හැකි අත්දැකීමක්.

සහෝදර නිෂ්පාදක වීරසිංහ කරුණානායක ගුවන් විදුලි මාධ්‍ය භාවිතා කරමින් ප්‍රජාව වෙනුවෙන් ආරම්භ කළ ව්‍යාපෘති වෙනත් ගුවන් විදුලි සේවයක අප දැක නෑ. වීරේ තමන් නිෂ්පාදනය කළ "කෙත්බිම" වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක කරන ලද කලට වගා කිරීමට ගොවීන් හුරු කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමග එක්ව ක්‍රියාත්මක කළ වැඩසටහන ගොවීන්ටත් අපටත් අපූරු අත්දැකීමක් වුණා.

අතිරේක බෝග වගාව වෙනුවෙන් ක්‍රියාත්මක කළ මෙම ව්‍යාපෘතිය යටතේ බී ලූනු, මිරිස් හා බඩ ඉරිඟු වගාවන් ක්‍රමවත්ව වගා කිරීම සඳහා මෙය ක්‍රියාත්මක කළේ. තමන්ගේ වගා භූමිය ශුද්ධ පවිත්‍ර කිරීමේ සිට කලට වෙලාවට, පිළිවෙලට පියවරෙන් පියවර වගා කරවීම කළේ ගුවන් විදුලියෙන්. කෙනෙකුට ඒක පුදුමය දනවන කාරණයක් වෙන්න පුළුවන්. නමුත් ඒක සිදු කළේ මෙහෙම.

මුලින්ම වගා කාලසටහන පොතක් ලෙස මුද්‍රණය කළා, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමග එකතුව. එය තෝරාගත් ගොවීන්ට ලබා දුන්නා. එහි සඳහන් කාල වකවානුවන් රාත්‍රියේ ගුවන් විදුලියෙන් මතක් කර දී ඒ දවසට කළයුතු දේ කෘෂි විද්‍යාත්මක ආකාරයට ගුවන් විදුලියෙන් කියා දෙනවා. ගොවියා තමන්ගේ කාලසටහන් පොතේ අදාළ දිනයේදී ඒ කරුණු සටහන් කරගෙන පසුදා ගොවි බිමේදී ඒවා සිදු කළ යුතුයි. එසේ කර සතියකට වරක් ඒ විස්තර ප්‍රජාගුවන් විදුලියට එවිය යුතුයි. ඒ අනුව ගොවීන් කාලසටහන අනුගමනය කරමින් තමන්ගේ වගා කටයුතු සිදුකරනවා. වරින් වර ක්ෂේත්‍රයට ගොස් ගොවිබිම් අධීක්ෂණය කිරිමත් සිදු කෙරුණා. සාර්ථකව කරන ගොවීන් සමග කරන සම්මුඛ සාකච්ඡා රාත්‍රියේ ගුවන් විදුලියෙන් ප්‍රචාරය වුණා. මහවැලි ගොවිබිම්වලට වතුර දෙන්නේ කාල සටහනකට අනුව. ඒ නිසා වගා කටයුතුවලදී නිසි කලට අවශ්‍ය වැඩකොටස කර තිබීම ඉතාම වැදගත්. මේ ව්‍යාපෘතිය නිසා ගොවීන් කලට වෙලාවට වැඩ කරන්න හුරුවුණා. ඒක ඔවුන්ගේ අස්වැන්න සරුසාර වීමටත් හේතුවක් වුණා. අන්න එහෙමයි ගුවන් විදුලියෙන් "වගා" කළේ.

ඒ වගේම වීරේ ගේ අධීක්ෂණය යටතේ ස්වේච්ඡා සන්නිවේදිකාවක වුණ යසෝමැණිකේ හේරත් ආරම්භ කළ "කාන්තා ඉතුරුම් කැට ව්‍යාපෘතිය" ත් එවැනි සාර්ථක ප්‍රජා ගුවන් විදුලි ව්‍යාපෘතියක්. ගැමි කාන්තාවන් 100 දෙනෙක් තෝරාගෙන රාජ්‍ය බැංකුවක් සමග එකතු වී සිදුකරන ලද මෙම ව්‍යාපෘතිය මගින් කාන්තාවන් ඉතිරිකිරීමට පොලඹවා ඔවුන් ඉතිරිකර ඇති මුදලට සාපේක්ෂව ස්වයං රැකියා ණයක් ලබා ගැනීමේ පහසුව සලසා දුන්නා. තමන්ට නොදැනීම, බරක් නොවෙන ලෙස ඉතිරිකරවීමයි මෙහිදී කළේ.

කැටයට දැමුණේ සති අන්තයේ පොළට ගිහින්, කඩේට ගිහින් එනවිට අතේ ඉතිරිවන මුදල. ඒ අනුවයි මුදල් ඉතිරි කළේ.

කාන්තාවන් මේ සඳහා ඉතා උනන්දුවෙන් සහභාගි වුණා. එය කොතරම් අපූරු අත්දැකීමක් වුණා ද කියනවා නම් ඒ මව්වරුන්ගේ දරුවන් පවා තමන්ට ලැබෙන මුදල් මේ කැටයට දමා අම්මා වෙනුවෙන් ඉතිරි කළා. තමන් දෛනිකව හෝ සතිපතා කැටයට බහාලන මුදල පොතක සටහන් කරන්නට බාරදී තිබුණා. ඒ අනුව මාස්පතා කැටයේ එකතුව ඇති මුදල් ප්‍රමාණය කීයද කියා දැන ගන්න පුලුවන් වුණා. ව්‍යාපෘතියේ අවසානයේ ප්‍රජා ගුවන් විදුලි කාර්යාලයට පැමිණ කැට විවෘත කර එහි තැන්පත්ව ඇති මුදල් ප්‍රමාණයන්ට බැංකු ගිණුම් විවෘත කර කාන්තාවන්ට අවශ්‍ය සුළු ණය මුදල් ලබා ගැනීමේ පහසුව සලසා දුන්නා. මෙය ප්‍රජා ගුවන් විදුලියේ "ගෙදර දොර" කාන්තා වැඩසටහනට සමගාමීව ඒ කාන්තාවන් සම්බන්ධ කරගනිමින් සිදු කළා. මේ ව්‍යාපෘතිය සඳහා තෝරාගත් කාන්තාවන්ට අමතරව මේ වැඩසටහන සවන්දෙන අනෙක් කාන්තාවන් ද ඉතිරිකිරීමට පෙළඹුණ බව අපට අහන්නට ලැබුණා. මිනිස්සු වෙනුවෙන් වැඩ කරන ගුවන් විදුලියක් ප්‍රජාවගේ හැසිරීම් රටාවන් වෙනස් කරන්නේ එහෙම. ඒක සල්ලි දීලා හෝ වෙනත් මානසික අල්ලස් දීලා හෝ සිදුකරන්නට උත්සාහ කළාට පලක් නෑ. මොකද ඒවා දීර්ඝ කාලීනව පවතින්නේ නෑ.

ප්‍රජාවගේ ජීවිතය හා අත්‍යන්තයෙන් බැඳුණු මෙවැනි වැඩසටහන් නිසාම තාක්ෂණික දෝෂයක් හේතුවෙන් හෝ ඇතැම් දවසක ගිරාඳුරුකෝට්ටේ ගුවන් විදුලියේ වැඩසටහන් විකාශනය වීම සිදු නොවුණොත් මිනිස්සු ගුවන් විදුලි කාර්යාලයට ඇවිත් "මහත්තයලා ඊයේ මොකෝ ආවේ නැත්තේ" කියලා හොයා බලන තරමට ප්‍රජා ගුවන් විදුලිය ඔවුන්ගේ ජීවිතයේ පවුලේ සාමාජිකයෙක් බවට පත්වෙලා තිබුණා.

අද පවතින රාජ්‍ය හෝ පෞද්ගලික වෙළඳ ගුවන් විදුලියක් හෝ වසා දැමුවායැයි නිකමට උපකල්පනය කරන්න. ඒ ගුවන් විදුලියට සිද්ධ වුණේ මොකද්ද? එය තමන්ට අවශ්‍ය බව කියා ඉල්ලා සිටින අසන්නෝ ඉඳීවිද? මගේ පිළිගැනිම නම් නැහැ කියන එක. ඒ ඇයි? ඒකට හේතුව තමයි දැනට පවතින කිසිම ගුවන්විදුලියක් හෝ රූපවාහිනී නාළිකාවක් මිනිස්සුන්ගේ ජීවිත යථාර්ථයත් එක්ක අවියෝජනීයව බැඳිලා නෑ. ඒවා මිනිස්සුන්ගේ ඇත්ත ජීවිතයෙන් බොහෝ දුරස්ථයි.

[කපිල එම්. ගමගේ]

මාතෘකා