ළිඳේ බබා

 ඡායාරූපය:

ළිඳේ බබා

එදින ආරම්භ වුයේ බොහෝ සාමකාමීවය. වෙසක් පොහෝ දින නිසා වාට්ටුවේ නතර වී සිටියේ යවන්නම බැරි තරම් අසාධ්‍ය වූ දරුවන් කිහිප දෙනෙක් පමණි. ඔය අතර හදිසි අනතුරු ඒකකයට ගෙන ආවේ දියේ ගිලී සිහිමුර්ජා තත්වයේ පසුවූ දැරියකි. ඇගේ වයස අවුරුද්දකුත් මාස කිහිපයක් පමණි.

ගෙදර පසුපස ඇති අත හැර දැමූ, මඩ පිරුණු කණ්ඩියක් හෝ නොමැති ළිඳට දරුවා වැටී සිටියදී මවට හමුවී තිබුණි.

දරුවා ප්‍රකෘති තත්ත්වයේ නොසිටි අතර ඇසේ කළු ඉංගිරියාව ආලෝකයට ප්‍රතික්‍රියාවක් දැක්වූයේද නැත. වහාම ඔක්සිජන් සැපයු අතර දරුවාගේ ශ්වසන මාර්ගය අවහිර කරමින් පිරී තිබුණු වතුර ශ්‍රාවයක් සේ මුඛයෙන් පිටවෙන්නට විය. යන්ත්‍රයක් මගින් එය ඇද ඉවත් කෙරිණ. මේ අතර දරුවා වරින් වර ගැහෙන්නට වූයෙන් ෆිට් එකක් හෙවත් වලිප්පුව පාලනය කිරීමට එන්නත් මගින් විවිධ ඖෂධ ශරීරගත කරමින් තිබිණ. නොනවත්වා වේගයෙන් ගැහෙන ළදරුවා වම් පැත්තට හරවා අල්ලාගෙන සිටින අතර ඇඳේ අනෙක් පසින් ආ හෙදිය විසින් ගුද මාර්ගය ඔස්සේ ෆිට් එක නැවතීම සඳහා ලබා දෙන ඖෂධය දරුවාට ලබා දුන් පසු ගැස්ම නතර විය.

ඒ වන විටත් දරුවාට ශ්වසනය කෘත්‍රිම ලෙස අප ලබා දෙමින් සිටියේ අත් මගින් තෙරපන ශ්වසන මෙවලමකිනි. දැන් කළ යුත්තේ වහාම දරුවා දැඩි සත්කාර ඒකකයක් වෙත දරුවා ගෙනයාමය. එනමුත් ඒ සඳහාද නොයෙක් රෙගුලාසි තිබේ. හතර වටේට දුරකතන ඇමතුම් දිය යුතුය. ප්‍රථමයෙන් දරුවාට ඇඳක් ලබාගත යුතුය. ඉන්පසු එම ඒකකවල වෛද්‍යවරු ඔවුන්ගේ විශේෂඥ වෛද්‍යවරු හා කතාබහ කළ යුතුය. හදිසි ප්‍රතිකාර ඒකකයේ වෛද්‍යවරයා එසේ කතාබහ කොට තැනක් වෙන් කරගන්නා අතර මම සිහි විසඥ තත්ත්වයෙන් සිටි දරුවාගේ තත්ත්වය පාලනය කරගනිමින් සිටියෙමි. ඔය අතර දොර ඔස්සේ එබිකම් කරන නෑයින්ද, හඬා වැටෙමින් පොළොවේ හැපෙන මව්පියන්ද අස්වැසිය යුතුය. ඔවුන් විටෙක එතනින් ඉවත් කරමින්ද කටයුතු කළ යුතු විය.

දරුවාට කෘතිම ශ්වසනය දෙමින් මමද හෙදියද මාරුවෙන් මාරුවට ස්ථාන මාරු කරගනිමින් ඇම්බියුලන්ස් රථයට දමාගෙන අගනුවර ළමා රෝහල වෙත පැමිණියේ මග දිගට රුධිරගත ඔක්සිජන් ප්‍රතිශතය පහළ බසිද්දී සකර් එකක් හෙවත් ජලය උරාගන්නා පොම්පය මගින් නලයක් දරුවාගේ ශ්වසන මාර්ගයට සම්බන්ධ කළ බටය තුළට දමා මඩ පැහැ ගත් ශ්‍රාවයන් ඉවත් කරන්නටද සිදු විය.

මව පැවසුවේ ජලයෙන් ගොඩ ගත් දරුවාට මුඛ ශ්වසනය දුන් අවස්ථාවේ පවා විශාල ප්‍රමාණයක් මඩ පැහැ ජලය එළියට ආ බව ය.

අපි දරුවා මහ රෝහල වෙත ගෙන ගියෙමු. එහි ගිය සැනින් එතැන සිටි විශේෂඥ වෛද්‍යතුමන් ඇතුළු කණ්ඩායම දරුවා කෘත්‍රීම ශ්වසන යන්ත්‍රයට සම්බන්ධ කළේ පුපුරු ගසන ඇඟිලි තුඩුවලින්ද නවාගත් කොඳුවලින්ද බොහෝ වෙලාවක් තිස්සේ කෘත්‍රීම ශ්වසනය දෙමින් පැමිණි අප දෙදෙනාට සුළු විවේකයක් ලබාදෙමිනි.

ස්කෑන් එක සඳහා වෙලාව පැමිණි විට එය සිදු කළ අතර සී.ටී ස්කෑන් එකක අවශ්‍යතාව තිබුණේ එම දරුවාගේ මොළයට යම් හානියක් සිදුව ඇතැයිද දැන ගැනීමටය. ඉන්පසු දරුවා දැඩි සත්කාරක ඒකකයට ඇතුල් කළ අපි ඇයගේ තත්වය මඳක් හොඳ අතට හැරී ඇති වග දැක සැනසුම් සුසුම් හෙළුවෙමු.

ඉන් අනතරුව ඒ අම්මා සමග පසුව කතා බස් කරන්නට හැකි වූයෙන් ගෙදර සිදුවූ අලකලංචිය සවිස්තරව අසාගන්නට පුළුවන් විණි. මව පැවසුවේ දරුවා වෙනදාටත් තනියම වත්තේ සෙල්ලම් කරන බවත් එ් නිසා එදිනද විශේෂයෙන් සොයා නොබැලූ බවත් ය.

කුඩා දරුවන් ගැන ඇස ගසාගෙන සිටින්නට වැඩිහිටියන් වග බලා ගත යුතුය. අනතුරු සිදුවෙන්න ගත වෙන්නේ ඇහි පිල්ලමක් ගසන ප්‍රමාදය බව මම දනිමි.

නිවසේ හෝ වෙනත් තැන්වලදී අනාරක්ෂිත ලෙස තබා ඇති භූමිතෙල් සහ නොයෙකුත් දෑ ගිලදමා මෙහි ගෙන එන පොඩ්ඩන්ගේ අඩුවක් නැත. භූමිතෙල්වල පාට නිසාත් දමා ඇති ඒවා දමා ඇති බෝතල් බොහෝ විට දරුවන්ට අත පොවන මානේ තබන නිසාත් එවැනි අනතුරු නිසා රෝහල් ගතවන දරුවන් ගණන මෙතෙකැයි කිව නොහැක. සමහර දරුවන් ආච්චි අම්මලාගේ බෙහෙත් පෙති ගිල දමා අනතුරට පත්වන අවස්ථාද තිබේ.

දියේ ගිලී බේරාගන්නා දරුවන්ගෙන් ආන්තරාවක් නැතිව සුවපත් වෙන්නේ නම්, එය මහත් ආශ්චර්යයකි. මන්ද මොළයට සිදුවන ඔක්සිජන් සැපයුම අඩුවීම මගින් අතුරු ආබාධ රැසක් පසුවට ඇති වෙන්නට ඉඩ තිබිය හැකි නිසාය.

අපි එදා බේරාගත් දරු පැටියා දින විස්සක් පමණ දැඩි සත්කාර ඒකකයේ ගතකොට තව සතියක් දෙකක් පමණ රෝහල් වාට්ටුවේ හිඳ කිසිදු අතුරු ආබාධයක් නැතිව ගෙදර ගියාය. ඇයත් ඇගේ ආච්චිඅම්මා හෝ අම්මා මසකට වරක් හෝ දෙකක් කුමන හේතුවක් නිසා රෝහලට පැමිණියද අප බලා යන්නට අමතක කරන්නේ නැත. ඇයට “ළිඳේ බබා” යනුවෙන් අනවර්ථ නමක්ද පට බැඳ තිබුණේ ඇගේ නෑයින් විසිනි.

[වෛද්‍ය බෝධිනී සමරතුංග]

මාතෘකා