විස්සයි විස්ස ආණ්ඩුවක වගකීම මොකක්ද?

 ඡායාරූපය:

විස්සයි විස්ස ආණ්ඩුවක වගකීම මොකක්ද?

ආණ්ඩුවක වගකීම මොකක්ද කියන කාරණාව මේ ලෝකයේ ආණ්ඩුව කියන සංකල්පය ඇති වෙච්ච දවසේ ඉඳලා අද වනතුරුම කතාබහට ලක්වෙන කාරණාවක්. අපි කන බිස්කට් පැකට් එකෙනුත් බදු ගෙවන මිනිස්සු. මැති ඇමතිවරුන්ට බෙන්ස් කාර් අරන් දීලා කෝච්චියෙ බස් එකේ හිරවෙලා තෙරපිලා යන මිනිස්සු. ඇත්තටම අපි කරන කැපවීම් දිහා සිනහමුසු මුහුණින් බලාගෙන ඉන්න පාලකයෝ අපිට දෙන උත්තර අපි පිළිගන්නවා.

අපි උඹලගෙ ළමයින්ට නිකන් උගන්නවා.

අපි ලොකු හමුදාවක් නඩත්තු කරනවා.

අපි උඹලට බේත් ටික නිකන් දෙනවා.

සමෘද්ධි දෙනවා.

තව තව ගොඩක් ජාති.

ඇත්තටම ආණ්ඩුවක වගකීම මිනිස්සුන්ගෙන් බදු අරන් සුබසාධන සේවා සපයන එකද? ආණ්ඩුවක කාර්යය මොකක් ද?

ආණ්ඩුවල වගකීම පුරවැසියන්ට "උන්ගේ මහන්සියෙන් හම්බ කරලා" හොඳට කන්න බොන්න, රස්සාවක් කරලා ගෙයක් දොරක් හදාගෙන හොඳ ජීවිතයක් ගත කරන්න, අඩියක් ගහලා පොඩි සොමියක් දාන්න සහ ලිංගික සංසර්ගයෙ යෙදෙන්න අවශ්‍ය වටපිටාව සකස් කරලා දෙන එක. ඒ කියන්නෙ මිනිස්සුන්ගෙ පෞද්ගලික ජීවිතේ නිදහස උපරීමයෙන් භුක්ති විඳින්න (කාටවත් හානියක් නොවී) ඕන වටපිටාව හදල දෙන එක. නමුත් ලංකාවේ ආණ්ඩු?

කන්න තියෙනවද? නිකමට හිතපල්ලා මස්/මාළු ටිකක් එක්ක, චීස් බටර් යහමින් තියෙන, එළවළු තුන හතරක් උයපු, බාස්මති හාලේ බත් ටිකක් කෑවොත්, ඒක අපිට එක්කො මඟුල් ගෙයක්. නැත්නම් පාටියක්. සාමාන්‍ය ගෙදරක කන්න තියෙන්නේ මොනවද? පරිප්පුයි, අලයි, සම්බෝලයි, කරවලයි, බතුයි! ඒ කියන්නේ ආණ්ඩු අපිට කන්න දෙන්නේ නෑ. නිදහසේ ඉගෙන ගෙන තමන්ගේ දැනුමේ හැටියට රස්සාවක් කරලා ගෙයක් දොරක් හදාගෙන ජීවත් වෙන්න පුළුවන්ද? වාහනයක් ගන්න පුළුවන්ද? ආසා කරන විදිහට අඳින්න පුළුවන්ද? (නෑ නෑ. ආසා කරන ඔක්කොම දේවල් බැරි බව ඇත්ත. ඒත් එංගලන්තේ පයිප්ප බාස්ගේ ජීවන තත්ත්වයයි, මෙහෙ පයිප්ප බාස්ගේ ජීවන තත්ත්වයයි අතර වෙනස කොච්චරක්ද? ඒ කියන්නේ ආණ්ඩු අපිට ආර්ථික නිදහස දීලත් නෑ.

වතුර සහ වාතය? පිරීසිදු පානීය ජලයවලට අයිතිය ඉල්ලුවහම වෙඩි තියලා මරපු රටක් මේක. ඒ නිසා ඒ ගැන කතා කරලා වැඩක් නෑ. ලංකාවට වායු දූෂණය කරන්නවත් කර්මාන්තකරුවො නැති නිසා තාම හුස්ම ගන්න නම් පුළුවන්. ඒත් වායු දූෂණය වැඩිවෙන රථවාහන තදබදයවත් නැති කරන්න ආණ්ඩුවලට පුළුවන් වුණාද? නෑ. මිනිස්සුන්ට ජොලියේ ඉන්න (කනමදයො වගේ බොන්න නෙමෙයි) හරියන විදිහට අපේ රට හැදිලා නෑ. උදාහරණ ඕන තරම්. කියලා වැඩක් නෑ. ආණ්ඩු ඒ නිදහස දෙන්නේ නෑ.

දැන් ලංකාවේ ආණ්ඩුවේ නීතිය ක්‍රියාත්මක කරන ප්‍රධානතම ආයතනය වෙච්ච පොලීසිය කෙල්ලෝ කොල්ලෝ කාමර ඇතුළේ 'Porn' බලන එක සහ සංසර්ගයේ යෙදෙන එකත් නියාමනය කරන්න පටන් අරන් තියෙනවා. පහුගිය දවසක අපි දැක්කා තරුණ යුවලක් ඒ අයගෙ ගෙදර ඉඳලා 'Porn' බලනකොට පොලීසියෙන් ඇවිත් අල්ලන් ගිය කතාවක් පත්තරේක යනවා. අපේ රටේ ජෝඩුවකට නිදහසේ අත් අල්ලන් ඉන්න බැරි විදිහේ අමුතු පොලිස් නීතිත් දැන් ඇවිත් තියනවා. ඒ කියන්නේ මේ ආණ්ඩු අපිට නිදහසේ ඒ වැඩේ කරන්න දෙන්නෙත් නෑ.

මෙහෙම නිදහස සීමා කරලා ආණ්ඩු හදන්න බලාපොරොත්තු වෙන රට මොකක්ද?

ලංකාවේ උන් හැමදාම ඉල්ලුවෙ හොඳ වැටුපක් නෙමෙයි. වැටුප් වැඩි කිරීම සඳහා අරගල කරන්න, වැඩවර්ජන කරන්න සහ උද්ඝෝෂණ කරන්න නිදහස. ඒ නිදහස දැන් ලැබිලා තියෙනවා. ඇත්තටම අපිට ඕන උද්ඝෝෂණ වැඩවර්ජන නිදහස නෙමෙයි. කාලා ඇඳලා ගෑනි දරුවා එක්ක, අම්මා තාත්තා එක්ක, යාළුවො එක්ක සන්තෝසෙන් ඉන්න තියෙන නිදහස. පසුගාමී දේශපාලකයින්ට සහ බහුතර ජනතාවට ඕක තේරෙන්නේ නෑ. උන්ට ඕන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බුද්ධාගම ප්‍රමුඛස්ථානයේ තියාගන්න මිසක් නිවන් දකින්න නෙමෙයි. යාඥා කර කර යාතිකා කිය කිය ඉන්න මිසක් අසල්වැසියාට ප්‍රේම කරන්න නෙමෙයි. ආගම වෙනුවෙන් මිනී මරාගන්න මිසක් අල්ලා දෙවියෝ කියපු ඇත්ත පාරේ යන්න නෙමෙයි. වෙනම රටක් ඉල්ලන්න මිසක් බයක් සැකක් නැතුව සහයෝගයෙන් ජීවත් වෙන්න නෙමෙයි. නිදහස කියන්නේ සුද්දට වියදම් වැඩි හින්දා අපිව අතෑරලා ගිය දවසවත්, මේ රටේම ඉපදිච්ච උන් ත්‍රස්තවාදියෝ වුණහම උන්ව මරලා බලය අල්ල එකවත් නෙමෙයි. ඇත්තටම මේ රටේ බහුතර මෝඩයෝ නිසා සුළුතර පිරිසකට මේ රට එපා වෙලා තියෙනවා. ඒ නිසා දැන් යමක් කමක් තේරෙන හැම එකාටම ඕන ජපන් යන්න. කැනඩාවට පැනගන්න. යුරෝපියානු රටක PR හදාගන්න.

අපේ රටේ එක සමාජ ස්ථරයක පිරිසක් ඇත්තටම දන්නේ නෑ ජීවිතය කියන්නේ විඳින්න ඕන දෙයක් මිසක් විඳවන්න ඕන දෙයක් නෙමෙයි කියන එක. උන්ට පාලකයෝ ඒක අමතක කරවලා තියෙනවා. ආගමික සංස්ථාව ඒ සදහා පාලකයින්ට උදව් කරමින් සියලු ආගම්වල හරය විකෘති කරලා රටේ මිනිස්සු ආණ්ඩුවල වැඩ නිසා විඳින දුක "තමන්ගේ කරුමේ" කියලා සාධාරණීකරණය කරලා තියෙනවා. ඒත් ඒක එහෙම නෑ.

ආණ්ඩු ක්‍රියාත්මක වෙන්න ඕන මිනිස්සුන්ට ජීවත් වීමට ඕන කරන නිදහස දෙන්න. ඒ නිදහස වෙනුවෙන් ආණ්ඩු කරන්න. මිනිස්සුන්ව පීඩාවට පත්කරන රාජ්‍යයක් වෙනුවට මිනිස්සුන්ගෙ නිදහස වෙනුවෙන්කැපවෙච්ච රටක් හදන්න. හොඳට හිතලා තීරණයක් ගන්න! අපි වෙනස් වෙන්න ඕන නැද්ද?

[ෂේන් මහේන්ද්‍ර ප්‍රියවික්‍රම]

මාතෘකා