කළු කිරිල්ලී

 ඡායාරූපය:

කළු කිරිල්ලී

මනුස්සයෙක් පිස්සෙක් හරි කවියෙක් හරි කරන්න පුළුවන් නිහැඬියාවක් තියෙනවා නම්, අනිවාර්යයෙන් එහෙම පුළුවන් වෙන්නෙ ඒ මෙන්න මේ වගේ මුරණ්ඩු නිහැඬියාවක් දරාගෙන ඉන්න රාත්‍රියකට. දැනෙන්නේ හැමදේම දීර්ඝ කාලීනව නැවතුණු බවක්. රෑහියොන්ටත් තදේටම නින්ද ගිහින්. කවුරු කොහොම කීවත් මම කියන්නෙ නිහැඬියාව තමයි වැඩිපුරම කතා කරන්නෙ. නිහැඬියාව තමයි වැඩිපුරම ඇවිදින්නෙ. නිහැඬියාව තමයි ඇඟිල්ලෙන් ඇන ඇන මතක අවුස්සලා ඇස් ඉස්සරහට ගෙනැත් අතාරින්නෙ. එහෙම බලද්දි නිහැඬියාව තමයි අපූර්වතම ඝෝෂාවක් වෙලා හිතේ හරි තදේට හැප්පෙන්නෙ.  
යන්තමින් තරු එළිය ඉහිරිච්ච අහස යට ඇවිදලා තියෙනවද මේ වගේ රාත්‍රියක් දිගේ උඩ බලන්න. අහසෙ මේ දැන් අහවර වුණු සාදයක සළකුණු .තැනින් තැන උස් වීදුරු ඔඩම්වලින් ඉහිරුණු මීවිත බින්දු. ඒවා පුංචි පුංචි තෙත පැල්ලම් අඳිනවා. සමහරක් පැල්ලම් තදයි. ගැඹුරුයි. තාමත් බමන මතින් සුළං එක්ක නැටුම් නටන වළාකුළු නෝනලා. එයාලගෙ උස් පහත්වෙන හැඩ ගවුම් නිරාවරණය වෙන කිරි පාට රවුම් කලවා යුග්ම. කවදාහරි දියවෙලා වැගිරෙන ජීවිතය ගැන නෝක්කාඩු නැති නොනවතින චලිතයේ රිද්මය. හිස්වෙන ප්‍රභූ මේස උඩට අඩුවැඩිය සපයපු තාරකා මෙනෙවියෝ තරමක් වෙහෙසින් මළානික වෙලා. සමහරක් පතුළක් නැති ගැඹුරු ඇස් වලින් හදවත හරි මැදටම වෙඩි වැදුණු තාරකා හිටි ගමන් පොළොවට ඇදගෙන වැටෙනවා. එහෙම වෙලාවක මගෙ හිතටත් වෙඩි වදිනවා .මැරිලා වැටෙන තාරකා දිහා බලාගෙන මා වෙනුවෙන් ප්‍රාර්ථනයක් කරන්න තරම් හිත හයිය නැති මම ඒ තාරකාවලට සදාකාලික සතුට ලැබේවා කියලා මුමුනණවා. ගොඩක් වෙලාවට එයාලා මැරෙන්නෙ කැමැත්තෙන්. මූණෙ අහිංසක හිනාවයි තෙත්වුණු ඇස් පිහාටුයි එක්ක. සිය දිවි නසාගැනීමක් කියලා හරියටම කියන්න මම කැමති නෑ. නමුත් ප්‍රේමය මාරාන්තික වේදනාවක් කියලා ඒ ඇස් දිහා බලපුවාම පැහැදිලියි.  
උණුසුම මිශ්‍ර තෙත් වාෂ්පය ඉහළ නඟින බිම ඔළුවට යටින් අත් දෙක තියාගෙන මම හාන්සි වෙනවා. ඇස් අග්ගිස්සෙන් කඳුළක් ගලන්නෙ අර වැටුණු තාරකා වෙනුවෙන් ද කියලා හරියටම නොදන්නවා වුණාට මම හිටියෙ වැළපෙමින්. හදිසියේ මට තේරුම් ගියා මටත් තියෙන්නෙ වෙඩි වැදුණු තාරකා හදවතක් කියලා. කවුරු වෙනුවෙන් ද කියලා නොදන්නා කඳුළුවලට කම්මුල් පිච්චෙනවා. ඒවා මහ පොළොවට උරාගෙන එක්තරා අඳුරුතම ගැඹුරකදි ගිනිගන්නවා. ඉතින් මට වැටහෙනවා සියළුම තාරකාවෝ දවසක තමන්ගෙ පුංචි පුංචි කතන්දර තුරුළුකරගෙන සඳහටම මියැදෙන බව. ගොඩක් තාරකා ඒකට මූණදෙන්නෙ උපේක්ෂා සහගත සන්සුන් බවකින්. අඩ සිනහවකින්. ඒ වගේම කිසිම සළකුණක් ඉතුරු නොකර. ඒ අතරේ මහා දැවැන්ත පිපිරීම්වලට හිත හදාගත්තු හයිය තාරකා නැත්තෙමත් නෑ. ඒ වගේ අභ්‍යන්තර පීඩනය විසින් "සුපර්නෝවා" බවට රූපාන්තරණය කරන ලද විශාල තාරකා පුපුරලා මිය යන්නෙ අසීමිත ආකාසයට පවා තිගැස්මක් ඇති කරලා. විසිරෙන හැම අශුවකින්ම හුස්ම ගන්න මූලද්‍රව්‍ය අවකාශයේ විසුරුවලා. ඒවා නැවත වටයකින් උපත ලබන සුහුඹුල් තාරකා බවට පත්කරලා. ඒවා හරියට දරුණු වේදනාවන්ගෙන් නැවත නැඟිටලා පණගහන මිනිස් ජීවිත වගේ. ආලෝක වර්ෂ ලක්ෂ ගාණක් ඈතින් හිටියත් එහෙම තාරකාවක් තමන්ගේම කක්ෂය හරියටම අඳුනනවා. ඒක තෝරගන්නවා.  
මෙච්චර වෙලා බොහොම සන්සුන් විදියට ඇස් ඉස්සරහ දර්ශනය වුණු විචිත්‍ර තෙල් සායම බර හුස්මකට වෙව්ලනවා. සියළුම තද සහ ලා පැහැ වර්ණ වේදනාවෙන් ගැස්සෙනවා. භූමි දර්ශන බොඳවෙලා ගණකම් ආර්ද්‍රතාවයේ පතුළටම ගිලිලා නොපෙනී යනවා. රාත්‍රියේ ආශ්වාදනය හුස්ම හිරකරවන දූවිල්ලකින් පිරෙනවා. පිළිතුරු අහිමි ප්‍රශ්නාර්ථයක් විසින් රැයේ සංහිඳියාව අවසාන අංශුව දක්වාම නිරුත්තර කෙරෙන්නේ ඒ විදියට. ඒ හැඟීම් බෙදාගන්න කෙනෙක් අහිමි වීම කියන්නෙම බරපතළ අසරණකමක් එකතුකරන කාරණයක්.  
පුංචි තණපතක් මගෙ කම්මුලකට තට්ටුවක් දාලා ඉල්ලීමක් කරනවා. මේ නිහැඬියාව තව දුරටත් ඉතුරු නොකර බිඳින්න කියලා. දවස ඇහැරවන එක මගෙ රාජකාරියක් නෙවෙයි . ඒත් මම එකඟයි. ඇත්තටම මට වීණාවක් වයන්න ඕනෙ දවසක .එදාට ඒ වීණාවට මම පළන්දන්නෙ මගෙ හදවත .මම වෙනුවට ගී ගයන හඬන වැලපෙන සිනාසෙන මගෙ හදවත .මගෙ පැත්තකින් කවදාවත් කවුරුවත් ඉඳගෙන හිටියෙ නෑ .කවදාවත් මට දැනුනෙ නෑ මගෙ කම්මුලකට වැදෙන ආදරණීය හුස්මක් .කවදාවත් දැනුනෙ නෑ මේ ගුප්ත හුදෙකලාව බිඳෙන බවක්.  
ඒත් ,  
මේ නිහඬ රාත්‍රිය සහ මලානික තාරකා එළිය මගෙ දෙපැත්තෙන් තදින් මාව උණුසුමට වැළඳගෙන .  
ඇත්තටම ස්තූතියි නුඹලාට.......   
ස්තූතියි ..!  

 

[දිනූ රාජගුරු]

මාතෘකා