අපට මැජික් නොවූ මැජිකල් රියලිසම්

 ඡායාරූපය:

අපට මැජික් නොවූ මැජිකල් රියලිසම්

යථාර්ථවාදයෙහි මූලික ලක්ෂණය වන්නේ තත්ත්වානුකූල ලෙසත් තර්කානුකූල ලෙසත් ජීවිතය නිරූපණය කර දැක්වීමයි. යථාර්ථාවාදයෙහි විවිධ ප්‍රභේද පවතී. රුසියාව, චීනය වැනි රටවල්වල සමාජවාදී අරමුණු ඉටුකර ගැනීම සඳහා නිර්මාණය වූ කලාව සමාජවාදී යථාර්ථවාදය ලෙස සැලකීම ඉන් එකකි. විවේචනාත්මක දෘෂ්ටියක පිහිටා මිනිස් ජීවිත විවරණය කරන විචාරාත්මක යථාර්ථවාදය තවත් එකකි. තුන්වැනි ලෝකයේ ඇතැම් රටවල්වල ජනප්‍රියව ඇති මායා යථාර්ථවාදය තවත් එකකි. පශ්චාත් නව්‍යවාදී යථාර්ථවාදය, රූපකාත්මක යථාර්ථවාදය, අද්භූතවාදය යනාදී නම්වලින්ද මෙම මතවාදය හඳුන්වයි.   
මායා යථාර්ථවාදී නිර්මාණකරුවන්ගේ අරමුණ වන්නේ භව්‍යත්වය හා අභව්‍යත්වය විශ්වසනීයත්වය හා අවිශ්වසනීයත්වය අතර නව සම්බන්ධයක් ඇති කරමින් යථාර්ථවාදයෙහි සීමා පුළුල් කිරීමයි. ගාර්සියා මාකේස්, ෙටනී මොරිසන්, ගුන්ටර් ග්‍රාස්, ඔක්ටාවියෝ පාස්, ඩෙරික් වොල්කොට් යනාදී නොබෙල් සාහිත්‍යලාභීන්ගේ නිර්මාණ අධ්‍යයනය කිරීමෙන් වුවත් මායා යථාර්ථවාදයෙහි ප්‍රබලත්වය හඳුනාගත හැකිය.   
මායා යථාර්ථාවාදය ඇති වූ මුල් කාලයේදී මෙන්ම වර්තමානයේදී ද ඒ පිළිබඳව විවිධ විවාද පවතී. මායායථාර්ථවාදයෙන් සිදුකරන්නේ යථාර්ථවාදයෙන් ළගා විය නොහැකි අදුරු ආගාධ වෙත ළගාවෙමින් යථාර්ථය තවත් විවිර කිරීමයි. යථාර්ථවාදයට හසු නොවන වෙනත් විවිධාංග හඳුනා ගැනීමට හැකියාව මෙමඟින් ලැබේ.   
ගුන්ටාස් ග්‍රාස්ගේ “ටින් ඩ්‍රම්“ නැමැති නවකතාවෙහි දැක්වෙන්නේ වැඩිවියට පත්වීමට අකැමති පුද්ගලයකු පිළිබඳවය. ගාර්සියා මාකේස්ගේ නවකතාවක භූතයන්, පියාසර කරන බුමුතුරුණු යනාදිය දක්නට ලැබෙයි. මෙම නවකතා දෙස බලන විට දැකිය හැක්කේ මෙම නවකතා බොහෝ සෙයින් අපගේ පැරැණි ජනකතා, සුරංගනා කතා, වීර කාව්‍ය යනාදියට සමීපත්වයක් දක්වන බවයි. ඉන්ද්‍රජාලික ස්වරූපයක් මායා යථාර්ථවාදයෙන් ප්‍රකට කරන්නේ යැයි ඒ අනුව නිගමනය කිරීම වැරැදි සහගතය. සැම විටම පවතින සමාජ දේශපාලනික හා සංස්කෘතික තත්ත්වයන් මායා යථාර්ථවාදයෙන් විවරණය වීම පෙර කී නිර්මාණකරුවන්ගේ නිර්මාණ දෙස බැලීමෙන් තහවුරු වේ. ඒ තර්කය මත පිහිටා අපගේ ජතකකතා, සද්ධර්ම රත්නාවලියේ කතා, ගැමි කතා යනාදිය මායා යථාර්ථවාදී නොවේ යැයි ඇතැම් විචාරකයින් විවරණය කර ඇත.  
ස්වර්ණහංස ජාතකය, සඳකිදුරු ජාතකය, මහාසාර ජාතකය හා අනෙකුත් ජාතක කතා මායා යථාර්ථවාදී ලක්ෂණ ප්‍රකට කරන බැව් දක්නට ලැබේ. මෙම ජාතක කතා රචනා කරනු ලැබූවේ කියවීමට නොදත් ජනතාව යහපත් මාර්ගයේ යැවීමට සදූපදේශ සැපයීමටය. කතා කරන තිරිසන් සතුන්, ආකාශයේ පියාඹා යෑම් යනාදී සිදුවීම් මේවායේ බහුල වෙයි.   
ගැමි ජනතාව අතර ඉතාමත් ජනප්‍රිය ශාන්තිකර්ම සියල්ලකම පාහේ දක්නට ලැබෙන්නේ ද එවන් ලක්ෂණය. දහඅට සන්නියෙහි මහා කෝළ යක්ෂයාගේ උපත් කතාව එබන්දකි. පිය රජු විසින් ඔහුගේ මවගේ ගැබ දෙපලු වන අයුරින් කපා දැමූ පසු බිළිඳා වැඩෙන්නේ මවගේ මස් මාංශ අනුභව කරමින්ය. පියා පිළිබද වූ දැඩි වෛරය නිසාම කැලයේ ඇති ගස්වල කොළ පොතු අඹරා ගුළි දහඅටක් සෑදූ බවත් එම ගුළි දහ අටෙන් යකුන් දහඅට දෙනකු බිහි වූ බවත් කියවේ. මෙම කතා හුදු ප්‍රලාප පමණක් නොවේ. රිද්දි බිසවුන්ගේ උපත් කතා, කළුකුමාරයාගේ උපත් කතාව මෙවැනි බොහෝ ශාන්තිකර්මවල මයා යථාර්ථවාදී ලක්ෂණ දක්නට ලැබේ. එය අලංකරණයක් හෝ ආභරණයක් පමණක් නොව පුද්ගල විඥානය ගැඹුරින් ස්පර්ශ්‍ර කරන්නා වූ නිර්මාණ රටාවකි.   
සයිමන් නවගත්තේගමගේ ඇතැම් නවකතා, කේ.කේ. සමන් කුමාරගේ නවකතා, මොහාන් රාජ් මඩවල, ටෙනිසන් පෙරේරා වැනි නිර්මාණකරුවන්ගේ නිර්මාණවලද ඇත්තේ මයා යථාර්ථවාදී ලක්ෂණයයි. පාඨනයේ ඇති සීමාවන් හා පඨිතයේ ඇති සීමාවන් පුළුල් කිරීමට මෙකී ධාරාව ඉවහල් වෙයි.   
ලතින් ඇමෙරිකානු රටවල්වල මායා යථාර්ථවාදය ජනප්‍රිය වී පසුව සෙසු රටවල්වලට එම ශෛලිය ව්‍යාප්ත වූවා යැයි සිතීම දෝෂ සහගතය. විමසිලිමත්ව බැලුවහොත් බොහෝ රටවල්වල මෙවැනි ජනශ්‍රැති දක්නට ලැබේ. ලතින් ඇමෙරිකානු ලේඛකයන්ද කරනු ලැබූවේ ඒවා තම නිර්මාණ පෝෂණය කිරීම සඳහා යොදාගැනීමයි. එහෙත් ලංකාවේ ඇතැම් ශාස්ත්‍රාලයීය ගුරුකුල විසින් මායා යථාර්ථවාදය නිර්ධය විවේචනයට ලක් කරන්නේ මායා යථාර්ථවාදී ලේඛනය පනින්නට නොහැකි රිළවුන්ට ඉණිමං බදින්නාක් වැනි යැයි පවසමිනි. එහෙත් යථාර්ථය එය නොවේ. යථාර්ථය විනිවිද නොදකින තාක් මයායථාර්ථවාදී ආස්ථානයකට පැමිණිය නොහැකිය.   
දේශීය සාහිත්‍යය පෝෂණය කිරීමට මයායථාර්ථය ආභරණයක් නොවන අතරම, එය විදේශීය කියා ඉවත් කරන්නට දෙයක් ද නොව, දේශීය සාහිත්‍යය පෝෂණය කරමින් වසර සිය ගණනක් පැවති ශෛලියකි.  

මාතෘකා