අපිට ආයෙ යුද්ධයක් එපා

 ඡායාරූපය:

අපිට ආයෙ යුද්ධයක් එපා

මේ පුංචි දූපතේ වුණත් අපි ගිහිල්ලා නැති තැන් කොච්චරක් තියෙනවද කියලා හිතද්දි වෙලාවකට දුකත් හිතෙනවා. අපි දැකලා නැති ලස්සන තැන් වගේම අදුරු දුක්බර තැන් ගොඩකුත් මේ දූපතේ ඉතුරුයි. එකම රටක මිනිස්සු විවිධාකාර ලෙස ජීවත් වීම පුදුමයක් නෙමෙයි. ඒක තමා ස්වභාවය. ඒත් ඒ වෙනස් වීම අතිශයින් භයානක ලෙස පරතර සහිත බව මේ එකම රටේ මිනිස්සුන්ට නොදැනීම පුදුමයක් නෙමෙයිද? 
මේ පරතරය ගෙදර ඇතුළේ ඉඳගෙන අපිට රූපවාහිනියෙන් අරන් එන දත්ත සහ තොරතුරු දිහා බලලා විඳින්න අමාරු නිසා අපි තීරණය කරා ඇවිදින්න. අවබෝධයෙන් ඇවිදින්න. ඒ ගමනෙදි මට මීට කලින් එක් වතාවක් මුණගැහිලා තියෙන සහෝදරියක් මුණ ගැහුණා සහ ඒ මුණ ගැසීම මාව කම්පනයට පත් කළා. ඇයව මුණ ගැසුණු සැදෑවෙන් පසු එළැඹි රැයේ මම වචනගත කරපු ඒ කම්පනය තමා මේ. අපි බොෙහාමයකට මේක දුර අත්දැකීමක් වුණත් සංවේදී හදවතක් ඔබට හිමියි නම් මට විශ්වාසයි ඔබත් කම්පනයට පත් වේවි. 
“එරාවූර්වල පළමු සැඳෑවේ මට ඇය නැවත මුණ ගැසිණ. බොහෝ ආගිය තොරතුරුත් සමඟ අයිසින් කතාවලින් පසු අපි අපගේ ජීවිත වල Turning Points පිළිබඳ කතා කරමින් සිටියෙමු. ඇය  හඬ අවදි කරන්නට තීරණය කළේ බොහෝ වේලාවකට පසුවය. ඇයට පෙර ඇගේ කඳුළු ඉක්මන් වූ අතර අඳුරු වෙමින් සිටි එරාවූර් අහසත් ඇයත් එකම එකක් බවට ඒ මොහොතේ පත්වන බව අපි වින්ඳෙමු. 
රාජිණි අක්කා කටහඬ එළියට දමන්නේ ඉතා තද ආයාසයකිනි. වචන පැටලෙනසුලුය. 
"මගේ පවුලේ ගෑනු ළමයි 4යි එක කොල්ලයි. අපි පස්දෙනාම හොඳට ඉගෙන ගත්තා. එක වතාවක් හැංඟෙන්න දුවද්දි බෝම්බෙකට අහුවෙලා එක අක්කා කෙනෙක්ගේ කකුල නැති වුණා.  අක්කට එතකොට බබාලා දෙන්නම ඉන්නවා. තව අක්කා කෙනෙක් කැම්පස් එකේ තුන්වෙනි අවුරුද්දේ හිටියේ. ඉන්න බැරිම තැන මෙහෙන් පැනලා ඉන්දියාවට ගියා" ඇය දැන් ඉකිගසයි. 
කාගෙන්ද බේරෙන්න පැනලා ගියේ කියා අසන්නට උවමනා වුවද එසේ අසන්නට දිරියක් නැති බැවින් නිශ්ශබ්දවම හිඳිමි. 
"අක්කට වීසා හම්බුණා...ඒත් නැෂනල්ටි නැහැ. අක්කා කොහේටවත් අයිති නැති කෙනෙක් වගේ එහෙ ජීවත් වෙනවා. අපේ හැමදේම අපි එයාට කියන්නේ ෆෝන් එකෙන්. අම්මා ලෙඩ වුණත් එයා අම්මව දකින්නේ ෆෝන් එකෙන්. අම්මා මැරුණත් ඒක එහෙමයි. එයාට කවදාවත් මෙහෙ එන්න බැරි වෙයි. අපේම රටක් තිබිලත් මුකුත් නැති කෙනෙක් වගේ එයා කොහේදි හරි මැරිලා යයි." 
"කකුල නැති අක්කගේ බබාලා දෙන්නව හදන්නේ අපි. අපිට පුළුවන් විදිහට හදනවා. එයාගේ මහත්තයව හමුදාවෙන් අරන් ගියා. අදටත් තොරතුරක් නැහැ. අපි මස්සිනා එනකන් තාම බලන් ඉන්නවා.  දරුවො  "කෝ අපේ තාත්තා කියලා  අහද්දි අපිව පිච්චෙනව. ඒක අපිත් අහනවා අපෙන්. කෝ අපේ මස්සිනා? අපිට අයියා කෙනෙක් වුණු මස්සිනා? කෝ අපේ අක්කගේ එකම බලාපොරොත්තුව? අක්කා එයාට ඉතුරු එකම කකුළත් එක්ක තාම බලන් ඉන්නවා දවසක මස්සිනා එයි කියලා. අපි එයාට එපා කියන්නේ නැහැ. හැමදේම නැතිවුණු අපේ පවුලට ඉතුරු එකම බලාපොරොත්තුවත් ඒක." 
දැන් ඇය හඬා වැටෙයි. 
"මට කියන්න ඕන මෙච්චරයි. අනේ කාටවත් ආයේ මෙහෙම දෙයක් වෙන්න එපා. අපිට ආයේ යුද්ධයක් එපා. තමන්ගේ අය නැතිවෙන දුක විඳින්න අපිට හයියක් නැහැ ආයේ.  අඩුම ගාණේ මගේ අක්කගේ ළමයින්ටවත් එයාලගේ සහෝදරයෝ නැති වෙන්න හොඳ නැහැ ෂෙනෝ. ඒක ලොකු දුකක්. අනේ ආයේ යුද්ධයක් නොඑන්න අපිට කරන්න පුළුවන් හැමදේම අපි කරමු. මට අක්කලව නැති වුණා. මල්ලිව නැති වුණා. මගේ ලොකු අක්කට එයාගේ බලාපොරොත්තුව නැති වුණා. මගේ අම්මට හැමදේම නැති වුණා. මේක කාටවත් වෙන්න හොඳ නැහැ. මගේ යාච්ඤාව ඒක.. එච්චරයි දෙයියන්ගෙන් මම ඉල්ලන්නේ" 
ඇය කඳුළු පිසියි. අපට කදුළු නවතා ගැනීම අපහසුය. සමහර කදුළු අපේ ඇස් වලින් ගලා යා යුතුමය. වසර ගණනාවක ඇගේ වේදනාව ගලා යමින් ඇත. ඒ කඳුළු අපට සවිය දෙමින් ඇත. 
මේ රටට සාමයක් ඕනෑය. තුවාල සුවපත් වන සාමයක් ඕනෑමය. දේසපාලුවන් එය රැගෙන එන්නේ නැත. අපි කොහෙන් හෝ පටන් ගත යුතුය. කතෝලිකයා ළඟම සිටින බෞද්ධයාගෙන්ද, සිංහලයා ළඟම සිටින දමිළයාගෙන්ද, ගොවිගම ඈයින් ළඟම සිටින කරාවේ මිනිසුන්ගෙන්ද මෙය පටන් ගත යුතුය! 
රාජිණි අක්කා, නැවත මෙවන් දෙයක් සිදු නොවනු පිණිස මට කළ හැකි සියල්ලම කරන්නට මම ඔබට පොරොන්දු වෙමි!

මාතෘකා