සුබ පැතුම්

 ඡායාරූපය:

සුබ පැතුම්

අවුරුදු සමය නිමාවිය. අනේකවත් සුබපැතුම්වලින් ගහනවූ තවත් සිංහල, දෙමළ අලුත් අවුරුද්දක් ලෙස මේ වසරද ඉතිහාසයට එක් විය. අවුරුදු සමය තුළ බොහෝ දෙනා එකිනෙකා හට  සුබ පතාගන්නා ලද අතර ඇත් එය අවංකවමද ඇතමුන් එය මූනිච්චාවටද කළහ. අනාදිමත් කලක සිටම අප එකිනෙකාට නොයෙකුත් අවස්ථාවන්හීදී සුබ පැතීමට පුරුදුව සිටිමු. ඉපදුණ දා පටන් මිය යන මොහොත දක්වා මිනිසාගේ ජීවිතයෙහි බොහෝ තැන්වලට මේ සුබ පැතීම නිරන්තරයෙන්ම එකතු වේ. 
උදෑසන අවදී වූ තැන් පටන් රෑ නිදියහනට යන තෙක්ම දවසේ නොයෙකුත් වේලාවන්හි " සුබ උදෑසනක්, සුබ දහවලක්, සුබ සැන්දෑවක්, සුබ රැයක් " ආදී අයුරෙන් අපි අනෙක් අය හට සුබපතා ගන්නා මිනිසුන් වෙමු.  උත්සව සමයේදීද මෙය ඒ ආකාරයෙන්ම වේ. සුබ අලුත් අවුරුද්දක්, සුබ තෛපෝංගල් දිනක‍්, සුබ නත්‍තලක් ආදී ලෙස මේ සුබ පැතීම ඇතැම් විට ආගමීකරණයටද ලක් වේ . 
අපට මෙලෙස සුබ පැතීමක් අවශ්‍ය වන්නේ ඇයිදැයි නුවණින් සිතා බැලිය යුතුව ඇත. සෑම දහමකටම අනුව මිනිසා උපතේ සිට මරණය කරා යන ගමනක නිරතව සිටී. සියලු සත්වයන් හට මෙය පොදුවූ කරුණකි. ජීවිතය කවදා කෙලෙසකින් කෙලවර වේදැයි කිසිවෙකු නොදනී. මේ නිසා මේ අවිනිශ්චිතතාව මත ඊළඟ මොහොත පිළිබඳව මිනිසාට  ඇත්තේ සැකයකි. උදාහරණයක් ලෙස උදෑසන "සුබ උදෑසනක් වේවා " යැයි සුබ පැතීමට කරුණ නම් ඊළඟ මොහොතේ කිසියම් අසුබ දෙයක් සිදුවීමට හැකි යැයි මිනිස් සිත තුළ තියනා අවිනිශ්චිත හැඟීමයි. සෑම වේලාවකම සුබ දේවල් පමණක්ම සිදුවෙනවා නම් අමුතුවෙන් කිසිවෙකු හට සුබ පැතීමට අවශ්‍ය නොවේ. මේ නිසා මිනිසා උදෑසන සිට එළඹෙන කාල වකවානු තුළදී අන් අය හට අනාගතය සඳහා නොයෙක් අයුරින් සුබ පැතුම් එක් කරයි . 
කෙනෙකුගේ උපන් දිනයකට සුබ පැතීමද එලෙසය. වසරක් පසුකොට තවත් වසරකට වයසින් එළඹෙද්දී ඒ වසර තුළ කුමන අකරතැබ්බයකට, නොසිතූ දෙයකට ලක්වේදැයි කිසිවෙකුට කිව නොහැකිය. එම නිසා කෙනෙකුගේ උපන් දිනය දාට සෙසු අය ඔහුට හෝ ඇයට සුබ උපන්දිනක් වේවායි සුබ පතති . එහෙත් එලෙස සුබ පතන්නෝ එහි සැබෑ තේරුම නොදනිති. පුරුද්දට මෙන් සුබ උපන් දිනක් වේවා යැයි පතති. එහෙත් ඒ සුබ පැතුම තුළ සැඟව ඇති යතාර්ථය නම් ඉදිරි වසර තවම එලඹී නොමැති නිසා ඒ වසර තුළ සිදුවිය හැකි කරදරවලින් අත්මිදේවා යැයි වෙනත් ලෙසකට පැවසීමයි. වර්තමානයේ නිකම්ම කට වචනයට " හැපී බර්ත්ඩේ " යැයි කියනා අය ඕනෑතරම් සමාජයෙහි ඇත . සමාජ ජාලා තුළට වන් කල මේ ප්‍රවණතාව තවත් ඉහළ යයි. කෙනෙකුට සුබ පතනවා නම් එය වචනය පමණක් සීමා නොකොට හදවතින් කළ යුත්තකි.  
නව වසර සදහා සුබ පැතීමද මීට දෙවැනි නොවේ. වසරක් තුළ රටක සිදුවූ සිදුවීම් රට වැසියෝ හොඳින් දනිති. සාමාන්‍යයෙන් මිනිසාට මතක තිබෙනුයේ තමන්ට සිදුවූ යහපත් දේවලට වඩා තමන්ට සිදුවූ අයහත් දේවල්ය. එම නිසා මිනිසා නිතරම අනාගතය දෙස අවිශ්වාසයයෙන්  බැලීමට පුරුදුව සිටී. මේ වසරට වඩා එළඹෙන වසර යහපත් එකක් වේ යැයි සිහින දකිති. මේ වසරෙහි සිදුවූ අයහපත් දෑ නව වසරේදීත් සිදුවෙතැයි යටි සිතෙන් බියෙන් පසුවෙති. එම නිසා වසරක් ගෙවී වසරක් උදා වෙද්දී "සුබ අලුත් අවුරුද්දක් වේවා" යැයි එකිනෙකාහට සුබ පතා ගනිති. ඇතැම් විට මිනිසා මේ ලොවට බිහිවූ දා පටන්ම මේ සුබපතා ගැනීම සමාජයට පැමිණියා විය හැකිය. කුමන කටයුත්තකදි උවද මෙලෙස සුබ පැතීමේ යටි අරුත නම් ඉදිරි කටයුතුවලට අසුබ දෙයක් අවැඩක් සිදු නොවේවා යයි සිතීමයි. මෙලෙස "සුබ පැතුම් " සමාජට පැමිණියා විය හැකිය . 
එලෙසම සුබ පැතුම් ජීවිතවලට එක් වන්නේ අප අපගේ ජීවිතයෙහි ඊලඟ මොහොත පිළිබඳව හරියට නොදන්නා නිසාද? මේ පිළිබඳව හොඳම උදාහරණය වන්නේ මංගල අවස්ථාවක සැවොම සුබ පතන්නේ " සුබ මංගලම් " කියාය. ඒ මනාළ යුවලගේ ඉදිරි ජීවිතය යහපත් ලෙසට ගතවීමටය. එහෙත් අවමංගල අවස්ථාවක කිසිවෙකු හෝ " සුබ  අවමංගලම් කියා සුබ පතන්නේ නැත. මන්ද යත් එතැන ඇත්තේ ජීවිතයක අවසානයක් නිසාය. තමන් අදහන ආගම අනුව "නිවන් සැප ලැබේවා , මොක් සුව ලැබේවා" යැයි කීවද ඒවා සුබපැතුම් නොවේ. මේ අනුව මේ සෑම සුබ පැතීමකම හරය වන්නේ ජීවත් ඉන්නා කාලයේදී ඉදිරිය පිළිබඳව ඇති අවිශ්වාසය මත ඉදිරියට පැමිණේයැයි අනුමාන කරන කරදරවලින් මිදේවා යැයි වෙනත් අයුරකින් අන් අයට පැවසීමකි. 

මාතෘකා