අපරාධකරුවන් ෙවනුෙවන් හැඬීම

 ඡායාරූපය:

අපරාධකරුවන් ෙවනුෙවන් හැඬීම

ඊයේ දින රූපවාහිනියේ විකාශනය වූ පුවතක් නැරඹුවෙමි. තෙල්දෙණිය උසාවිය ඉදිරිපිට සීයක පමණ පිරිසක් රැඳී සිටමින් උසාවියට ගෙන ආ සැකකරුවන් පිරිසක් උසාවියෙන් පිටතට ගෙන යන විට හඬනු දක්නට ලැබුණි. 
උසාවියට ගෙන ආවේ වෙනකවුරුවත් නොව මාස දෙකකට පමණ ප්‍රථමයෙන් මහනුවර ඇවිළුණ ජාතිවාදී ගින්නට සැකපිට අත්තඩංගුවට ගත් පිරිසය. උසාවිය ඉදිරිපිට සිටියේ ඔවුන්ගේ නෑදෑ හිතමිතුරන් සහ ගම් වාසීන්ය. 
බන්ධනාගාර බසයට නංවාගෙන නැවත සිරභාරයට රැගෙන ගියේ රැස්ව සිටි පිරිසගෙන් අයකුගේ දරුවකු විය හැක. එම අම්මාගේ තාත්තාගේ දුක කඳුළ අප හට හොඳාකාරවම වැටහේ. 
ඔවුන්ගේ වේදනාව අපහට වැටහේ. අවාසනාවට කරුණ නම් ජාතියේ නාමයෙන් ආගමේ නාමයෙන් තවත් දරුවන්ට පහර දෙමින් මරබිය ඇතිකරවද්දී එම වේදනාවම තවත් මවකට පියෙකුට උරුම වූ බව ඔවුන් හට නොවැටහීමයි. 
තමන්ට දැනෙන දරු දුක අනෙකාගේ දරුවන්ගේ ජීවිත අනාරක්ෂිත බව දැනෙන විට අනෙකාට දැනෙන බව නොවැහැටෙන්නේ මන්ද කියා මා දන්නේ නැත.   
එම බසය තුළ සිටින්නට ඇත්තේ උසාවි භූමිය තුළ හඬමින් සිටි කාන්තාවකගේ ආදරණීය සැමියා විය හැකිය. දරුවකුගේ තාත්තා විය හැකිය. 
ඔබේ සැමියා නිවසේ නැතිවීම යනු දරුවන්ගේත් ඔබේත් ආරක්ෂාව ගැන බරපතළ අනතුරක් බව අපි දනිමි. දරුවකුට පිය සෙනෙහස අවැසි බව අපි දනිමු. බිරිඳට තම ආදරණීය ස්වාමියාගේ රැකවරණය සෙනෙහස අවැසි බව අප දනිමු. ඒ ආදරය සෙනෙහස ඔබලාට අහිමි වීම ගැන අපද අවංකවම කම්පා වන්නෙමු. 
ඔබ අද සිටින තැනට පත්ව ඇත්තේ එදා ඔබේ ආදරණීය සැමියා ඔබේ දරුවන්ගේ ආදරණීය පියා ජාතියේ නාමයෙන් ආගමේ නාමයෙන් තවකෙකු වෙත අවි ආයුධ ඔසවා මරා දැමීමට ගිය නිසාවෙනි. 
ආගම ජාතිය වෙනස් වූවත් දැනෙන හැඟීම් එකම බව ඔබේ සැමියාට වැටහු‍ෙණ් නැත්තේ මන්දැයි නොදනිමි. ඔබේ සැමියා තැත් කළේ තවත් විශාල පිරිසකට ඔබ අද විඳින දුකට වඩා වැඩි දුකක් උරුම කරදීමටය. 
ඔබේ ආදරණීය සැමියා එම වරදට වරදකරුවකු නම් ඔහුට දඬුවම් ලබාදිය යුතු බව උසාවිය ඉදිරියේ හඬගා කිව යුත්තේ ඔබමය. 
ඒ අන් කිසිවක් නිසා නොව ඔවුන් එකතුවී අවුලවන්නට ගිය ගින්න රටවටා ඇවිලී ගියේ නම් හෙට ඔබේ දරුවා ද තුවක්කුවක් රැගෙන යුද්ධයට යන සෙබලකු වනු ඇති නිසාවෙනි.   
ආදරණීය අම්මේ තාත්තේ! ඔබේ දරුවා යම් වරදක් කර ඇත්නම් නීතියට අනුව දඬුවම් ලබාදීමට ඔබම ඉදිරිපත් වන්නේ නම් මැනවි. 
මන්ද යත් ඔවුන් උත්සාහ කළේ ඔබ අද විඳින දුක මේ මුලු රටේම අම්මලාට තාත්තලාට උරුමකර දීමටය. මොහොතක් සිතා බලන්න මීට වසර තිස් පහකට පෙර මෙරට ඔය වගේම ගින්නක් ඇවිළුණි. 
ජාතියේ නාමයෙන් ආගමේ නාමයෙන් සිය දහස් ගනන් තරුණ තරුණියන් මරා දමමින් ව්‍යාපාර ආයතන ගිණි තබමින් ඇති කළ ඒ ගින්න ඇවිලීයාමේ අවසානය අපට සිදුවූයේ වසර තිස් දෙකක යුද්ධයකට මැදි වීමටය. 
දහස් ගණනක් ජීවිත යුද්ධයට බිලි විය. බිලියන ගණන් වටිනා දේපල විනාශ විය. ඒ බිලි වූ ජීවිත අතර ඔබේ පවුලේ නෑ හිතමිතුරන් විය හැක. 
ඔබේ ආදරණීය පුතා, සැමියා හිතවතා කාගේ හෝ ඉගැන්නුම් බසකට යටවී සූදානම් වූයේ මේ රට නැවත එවැනි තැනකට ඇදගෙන යාමටය. 
ඒ වරදට ඔවුන් වරදකරුවන් නම් ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරවීමට බල කළ යුත්තේ ඔබමය.   

මාතෘකා