රාජාසන කතාව පරදවා ආණ්ඩු හැදීම

 ඡායාරූපය:

රාජාසන කතාව පරදවා ආණ්ඩු හැදීම

විශ්වාසභංගයෙන් ආණ්ඩුව ගෙදර යැවීමට බලාපොරොත්තුවූවන්ගේ විශ්වාසය භංග වූ නිසා අලුත් විශ්වාසයක් ඇති කරගෙන තිබේ. එනම් රාජාසන කතාවෙන් ආණ්ඩුව පරදවා නව ආණ්ඩුවක් හැදීමය. මැයි අට වැනිදා පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කරමින් ජනාධිපතිවරයා විසින් රාජාසන කතාව ඉදිරිපත් කරනු ලැබීමට නියමිතය. එහිදී ප්‍රකාශයට පත් කෙරෙන්නේ  යහපාලන ආණ්ඩුවේ ඉදිරි වැඩපිළිවෙළයි. 
යහපාලන    ආණ්ඩුවේ නායක දෙපළ පක්ෂ දෙකක් නියෝජනය කරති. 2015 සිට වත්මන දක්වා ක්‍රියාත්මක වූයේ දෙපාර්ශ්වයේ සම්මුතියෙන් ඉදිරිපත් වූ වැඩසටහනකි. විශ්වාසභංගය පරාජයට පත් වීමෙන් පසුව ජනපතිවරයා සහ අගමැතිවරයා එක්ව කළ සාකච්ඡාවේ ප්‍රතිඵලය වූයේ පූර්ණ කැබිනට් සංශෝධනයක් සිදු කරමින් ආණ්ඩුවේ කටයුතු ඉදිරියට ගෙන යෑමය. එම කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමට නියමිතය. රාජාසන කතාව පරාජය කිරීම පිළිබඳව ප්‍රවාදය ඉදිරියට එන්නේ ඒ අතරතුරය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19_46(2) අනුව එසේ කළ හැකි බව කියමින් ඒකාබද්ධයට නීතිමය ගැම්මක් දෙමින් සිටින නීතිඥ කථිකාචාර්ය ප්‍රතිභා මහානාමහේවා රෙජීමයේ පාලන සමයෙහි සියලු  කටයුතු සාධාරණීකරණය කිරීම සඳහා  නීතිය උපුටා පෙන්වූ අයෙකි. එය මෙහිදී අදාළ නොවේ. කවුරුන් කීවද වැදගත් වන්නේ එහි සත්‍යාසත්‍යතාවයි. 
ප්‍රතිභා මහානාම උපුටා දක්වන රාජාසන කතාව ඇතුළත් වන පාර්ලිමේන්තු  සම්ප්‍රදාය බ්‍රිතාන්‍යයෙන් උරුමවූවකි. බ්‍රිතාන්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇත්තේ මැග්නාකාර්ටා ආඥාව ඇතුළු ලිඛිත වගන්ති කිහිපයකි. සෙසු සියල්ල පවත්වාගෙන යනු ලබන්නේ සම්ප්‍රදායෙනි. එහෙයින් එය මූලික වශයෙන්ම අලිඛිත ව්‍යවස්ථාවකි. යටත් විජිත රටක් හැටියට බ්‍රිතාන්‍ය මොඩලයෙන් අප ඇතැම් දේවල් ගෙන ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතැම් කොටස් සකස් වී ඇත්තේ ඒ අනුවය. එහෙත් අපට ඇත්තේ මහපතරංග ජාතකය වැනි ව්‍යවස්ථාවකි. එයද 19 වැනි වරටත් සංශෝධනය විය. 20 වැනි සංශෝධනය සඳහා ඉල්ලීමක් ඉදිරිපත්ව ඇත. ව්‍යවස්ථාව ලොකු වූ තරමට සම්ප්‍රදායන් දියුණු වූයේ නැත. එනිසා විශාල සමාජ දේශපාලන අර්බුදයක් නිර්මාණය විය. බහුතර  කැමැත්තෙන් යහපාලන ආණ්ඩුව පත් කරන ලද්දේ එයට විසඳුම් සෙවීම පිණිසය. පාර්ලිමේන්තු  මැතිවර‍ණයට හත්ගව්වක් තිබියදී අමුඩ ගැසීමේ වුවමනාව ඇත්තේ මහජනයාට නොවේ. 
රාජාසන කතාව, කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම යනාදිය අපට ලැබුණු පාර්ලිමේන්තු  සම්ප්‍රදායට   අයත්ය. එම සම්ප්‍රදාය ආරක්ෂා කිරීමට අප සමත් ව තිබේද? පසුගිය විශ්වාසභංගයේදී ඊට පක්ෂව ඡන්දය දීමෙන්  ඇතැම් ඇමතිවරු එම සම්ප්‍රදාය  කඩ කළහ. ඉන් පසු ඉල්ලා අස්වීමට සිදු විය. නැවත වරක් ඇමති ධුර ලබා ගැනීමේ උත්සාහයකද ඔවුන් නිරත වනු පෙනේ. මෙය හාස්‍යජනක නරනාටකයකි. විළි ලැජ්ජා නැතිකම පිළිබඳ ප්‍රශ්නයකි. ඒ අනුව රාජාසන කතාවෙන් ආණ්ඩුව පැරදවීමේ එක් අරමුණක් වනුයේ අලුත් ආණ්ඩුවක් යටතේ ඇමතිධුර හෙබවීමය. මෙහි තවත් අරමුණක් තිබේ. එනම් වංචා දුෂණ සම්බන්ධයෙන් ළඟදීම ඒමට නියමිත පරීක්ෂණවලින් ගජමිතුරන් බේරා ගනිමින් තමනුත් බේරීමය. 
මෙහිදී රාජාසන කතාව පැරැද්දවීම සඳහා බහුතර ඡන්දයක් අවශ්‍ය වේ. එය කළ නොහැකි බව විශ්වාසභංගයෙන්ද පෙනිණි. බහුතරය ලැබුණා යැයි මොහොතකට සිතමු. ඉන්පසු බහුතර කැමැත්තෙන් ආණ්ඩුවක් පිහිටුවිය හැක්කේ කා හටද? එය අසාර්ථක වුව හොත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට සිදු වේ. මහමැතිවරණයකදී නැවත වරක් මතුවන ප්‍රශ්නය වනු ඇත්තේ බහුතර කැමැත්තෙන් ආණ්ඩුවක් පිහිටුවීමය. ආණ්ඩුව පරාජය කිරීමට උත්සාහ දරන පිරිස් මුහුණ දෙන අභියෝගය වනුයේ බහුතර කැමැත්ත ලබා ගැනීමය. දැනට ඔවුන්ට එවැනි පදනමක් නැත. මේ සියලු කරුණු සැලකූ විට පෙනී යනුයේ කිසිදු අනාගත සැලැස්මකට ඉඩ නොතබා රට අරාජිකත්වය කරා ගෙනයෑමේ  කුණාටුවක් නිර්මාණය කිරීමේ උත්සාහයක් පවතින බවය. මෙය බල වියරුවකි. අපරාධ චෝදනාවලින් ගැලවීමේ මාවත හඹා යෑමකි. ඒ හැර වෙනත් උතුම් අරමුණක් නොපෙනේ.

මාතෘකා