රිතුපර්ණෝ ඝෝෂ්, බෙංගාලි සිනමා කිවිඳිය

 ඡායාරූපය:

රිතුපර්ණෝ ඝෝෂ්, බෙංගාලි සිනමා කිවිඳිය

ඇය ලංකාවෙ චිත්‍රපට රසිකයන් අතර ලොකුවට ජනප්‍රියයි කියලා මම හිතන්නෙ නැහැ. ඒත් අජේ දේව්ගන් එක්ක අයිෂ්වර්යා රායි රඟපාපු ඝෝෂ්  අධ්‍යක්ෂණය කරපු රේන්කෝට් (2003) ලංකාවෙ යම් තරමකට ජනප්‍රිය වුණා මතකයි. චිත්‍රපටි විසි එකක් අධ්‍යක්ෂණය කරපු ඝෝෂ්ගෙ  චිත්‍රපටි අතරෙ හින්දි චිත්‍රපටි තියෙන්නෙ දෙකයි. "ද ලාස්ට් ලියර් "කියන ඉංග්‍රීසියෙන් කරපු චිත්‍රපටියයි, හින්දි චිත්‍රපටි දෙකයි  හැරුනම ඇගේ අනෙක් සියලුම චිත්‍රපටි බෙංගාලි භාෂාවෙන් හදපුවා. මම  රිතුපර්ණෝට ආදරය කරන්න පටන්ගත්තෙ ඇගේ "චෝකර් බාලි" නැරඹුවට පස්සෙ. ඇය එහි අයිෂ්වර්යාව මිරිකලා තමන්ට අවශ්‍ය ස්ත්‍රී සාරය මනාව පෙරා ගන්නවා.  

බෙංගාලි සිනමාව කියපු ගමන් සත්‍යජිත් රායිව මතක් වෙන එක නතර කරන්න බැහැ. . රායිගෙ " චාරුලතා", " කංචන් ජුන්ගා", "ඝරේභයිරේ", "මහානගර්" වගේ චිත්‍රපටි වලින් අල්ලන බෙංගාලි මධ්‍යම පාංතික ජීවිතවල වර්ණ සහ රිද්මය ඝෝෂ් තවදුරටත් අල්ලගන්නවා. රායිගෙ චිත්‍රපටිවල තියන පිටතින් මහා ගැටුම් නැති ඒත් යම්  යම් ආධ්‍යාත්මික වටිනාකම් සහ ලලාසාවන් අතර ගැටුම නිසා  ඇතිවෙන අභ්‍යන්තර අර්බුධය  චලන රූපයට ගෙන ඒමේ විශිෂ්ඨත්වය ඝෝෂ්ගෙ චිත්‍රපටිවලත් විශිෂ්ඨ ලෙස  දකින්න පුළුවන්. ඝෝෂ් විසින් ලබාදුන්න සමහර සම්මුඛ සාකච්ජාවල රායිගෙ සිනමාව  තමන්ට බලපාපු හැටි සහ තමන් රායි රසිකයෙක් බව සඳහන් කරන්න අමතක කරන්නෙ නැහැ. ඝෝෂ්ගෙ මරණය පිළිබඳ පුවත වාර්තා කරන " ද හින්දු" පුවත්පත කියන්නෙ  සිනමාකාරියක් හැටියට රායිගෙ විශිෂ්ඨත්වය ආසන්නයට ඝෝෂ්ගෙ සිනමාව පැමිණ තිබූ බවක්.

සිනමා රසිකයෙක් හැටියට මට හිතෙන්නෙ සමහර පැති වලින් ඇය රායිව පසුකර ගිය වගක්. ලෝක සිනමාවෙ රායි තැබූ හෙවනැල්ලෙන් ඇයව වැසී ගියාදෝ කියලත් වෙලාවකට හිතෙනවා. ඇගේ රූප රාමු අතිශය තියුණුයි. ජීවිතය සම්බන්ධව ඇගේ සිනමාව හරහා ඇය නොබියව ප්‍රශ්න කරනවා. මධ්‍යම පාංතික ජීවිතයේ පවුල සහ එහි  සම්බන්ධතා සඳහාදී ඇති අර්ථ සහ ඒවායේ වටිනාකම් ඇය බලවත්ව ප්‍රශ්න  කරන්නෙ ඇගේ සිනමාත්මක සංයමය බිඳ නොගෙන. ඇය රැඩිකල්. රැඩිකල් වෙන ගමන්ම ඇය සාම්ප්‍රදායකයි. කල්කටාවේ එදිනෙදා පවුල් ජීවිත, වැන්දඹු ගැහැනු ඇගේ නිර්මාණවල අපිට  මුණගස්සන්නෙ සරළ සිනමා රූප වලින්. ඒත් ඇය ඒ රූප වලින්ම ඒ ජීවිත වල ගැඹුරට අපිව බස්සලා උත්ප්‍රාසය මතු කරන්නෙ සංයමයකින්. ඒ මතුකරන උත්ප්‍රාසය රැඩිකල්. චෝකර් බාලි වල අහිංසක අසරණ වැන්දඹුවට ඇය අන්දන සුදු සාරිය නිතරම උරිස්සෙන් ලිස්සන්නෙ ඇගේ කල් ඉකුත් නොවුනු, එහෙත් කල් ඉකුත් වූ බවට වැන්දඹු බව හරහා නම් කරනු ලැබූ සිරුර සහ එහි සුපුෂ්පිත බව පෙන්නමින්.

මම මුලින් හිතාගෙන හිටියෙ ඇය උපතින්ම ස්ත්‍රියක් බව. ක්ලාසි විලාසිතා  සහිතවයි ඇය හැම වෙලාවෙම පෙනී හිටියෙ.  පස්සෙයි දැනගත්තෙ ඇය උපතින් පිරිමියෙක් බව. තවමත් බොහෝ තැන්වල රිතුපර්ණෝ ඝෝෂ් ගැන ලියවෙන්නෙ, කියවෙන්නෙ ඔහු හැටියට. ඒත් ඔහු පසුකාලීනව පෙනී හිටියෙ ස්ත්‍රියක් හැටියට.  කල්කටාවෙ නමක් දිනාගත්ත වෙළඳ දැන්වීම් ආයතනයක් වෙනුවෙන් වැඩකරලා සිනමාවට ආපු ඝෝෂ්   තමන් ස්ත්‍රියක් හැටියට ජීවත් වෙන්න තීරණය කරමින් හෝමෝන ප්‍රතිකාර සහ සමහර සැත්කම් සිදුකර ගන්නවා. ස්ත්‍රීත්වය සහ පුරුෂත්වය කියන දෙකම අත්විඳීම ඝෝෂ්ගෙ  සිනමා භාවිතාවට දැඩිව බලපාන්න ඇති කියලා මට හිතෙනවා.  බොහෝ  නිර්මාණකරුවන් අතින්වෙන ස්ත්‍රිය හුදු අහිමි උත්කර්ශනාත්මක ආශාවේ  වස්තුව හෝ පීඩිත ගොදුර ලෙස කියවා ගැනීමකට නොයා ඇයව ඇය ලෙසම, ඒ කිව්වෙ මනුස්සයෙක් ලෙස ඝෝෂ් තමන්ගෙ සිනමාව ඇතුලෙ කියවනවා. ඔහු සමකාමියෙක් වීම නිසා ස්ත්‍රිය ඔහුට මැජික්  එකක් නොවීමත් මීට බලපාන්න ඇති. ඝෝෂ්ගෙ ගොඩක් චිත්‍රපටිවල කේන්ද්‍රය ස්ත්‍රිය. ඒත් ඇය ස්ත්‍රීවාදී සිනමාකාරියක් නෙමෙයි. ඇය වෙනත් අධ්‍යක්ෂකවරුන්ගෙ චිත්‍රපටි  කිහිපයක් සඳහා රඟපෑමෙනුත් සම්බන්ධ වුණත් මට අනුව ඇගේ විශිෂ්ඨත්වය තිබුණෙ අධ්‍යක්ෂණයට. අවුරුදු හතලිස් නමයක කෙටි ජීවිතකින් පස්සෙ 2013 ඇය  නික්ම ගියත් නැවත නැවතත් රසවිඳින්න පුළුවන් නිර්මාණ කිහිමයක්ම අපට  දීලයි ඇය ගියෙ. 

ඒ නිසා ඝෝෂ් අමරණීයයි.

[ඉසුරු චාමර සෝමවීර]


 
 
 
රටේ අපරාධ රැල්ල අඩු කිරීමට කළ යුත්තේ ?